ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ උත්සවය ජනපති – අගමැති අතින්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 2,000කට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ඊයේ (17) අග්‍රාමාත්‍ය කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රට වේගයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට යන අවධියක රටින් පිට සේවය කරන විද්වතුන් සහ විශේෂඥයින් සමඟ එක්ව රට පෙරට ගෙන යාමට මෙම ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ශක්තියක් වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ජාතිවාදය නැති, ආගම්වාදය නැති ශ්‍රී ලංකාවක් බිහි කරන්නට අද හැමෝම එකතු වී ඉන්නා බවත් අප රට ගොඩනඟන්නට දායකත්වය ලබා දෙන ලෙස ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නා පිරිසගෙන් තමන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යතුමා සභාව අමතමින් මෙහිදී සඳහන් කළේය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර එහිදී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසුවේ ඉදිරි කාලය තුළ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටින සෑම පුද්ගලයෙකුටම එය ප්‍රදානය කිරීමට සිය අමාත්‍යාංශය කටයුතු කරන බවයි.