මට සියදිවි නසා ගන්නයි වෙලා

ඉනෝකා සත්‍යාංගනීගේ නවතම සිනමාපටය වන “සින්ඩේ‍රල්ලා”ට අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට සිදුවිය. ඉනෝකා පවසන්නේ “සින්ඩේ‍රල්ලා” වෙනුවෙන් මුදල් සපයා ගැනීමට උකස් කළ ඇගේ ඉඩමක් පවා අවසානයේ සින්න වූ බවය. වසර කිහිපයකට පසු “සින්ඩේ‍රල්ලා” ප්‍රදර්ශනය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයට තවත් ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වී ඇත. ඒ “සින්ඩේ‍රල්ලා” හි ප්‍රධාන නළු නිළි දෙපළ වන අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇති වී තිබෙන විරසකයකි.
ඇත්තද මේ කියන කතාව?
ඔව්, කතාව ඇත්ත. “සින්ඩේ‍රල්ලා” අධ්‍යක්ෂවරිය විදිහට මට සියදිවි නසාගන්න වෙන විදිහේ තත්ත්වයකුයි දැන් ඇතිවෙලා තියෙන්නේ.
කොහොමද ඔය කියන විරසකය ගැන දැනගත්තේ?
“සින්ඩේ‍රල්ලා” අවසන් තේමා ගීතය රූගත කරන්න සූදානම් වෙද්දියි මම මේ කාරණය දැන ගත්තේ. අකලංක ජීවත් වෙන්නේ ප්‍රංශයේ. ඉතින් උපේක්ෂාගෙන් දින ලබා ගන්නවාට වඩා අකලංකගෙන් ලබාගන්න එක අමාරු නිසා මම මුලින්ම අකලංකට කතා කළා. අකලංක ගීතයේ රූගත කිරීමට මුලින්ම කල් ඉල්ලුවා. සති දෙකකට විතර පස්සේ කිව්වා උපේක්ෂා සමග එකට පෙනී ඉන්න ඔහුට අමාරුයි කියලා.
හේතුව?
අකලංකත් දැන් විවාහ වෙලා. කලින් ඒ දෙන්නා ගැන තිබුණු ප්‍රචාර හැමෝම දන්නවා කියලා වගේ විස්තරයක් තමයි කිව්වේ. ඔය ගැටලුව නිසා අකලංකට සමාන රූපයක් තියෙන තරුණයෙකුව රූගත කිරීම්වලට යොදාගන්නත් මම සූදානම් වුණා. නමුත් ඒකත් සාර්ථක වුණේ නැහැ.

උපේක්ෂා මේ ගැන මොනවද කිව්වේ?
උපේක්ෂා නම් කිව්වා වෘත්තීය කටයුත්තක් නිසා ඇයට ගැටලුවක් නෑ කියලා.
ඒ දෙන්නා අතරේ ඒ දවස්වල තිබුණේ ප්‍රේම සම්බන්ධයක්ද?
රූගත කිරීම කරන කා‍ලේ ඒ දෙන්නා අතරේ බොහෝම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. “සින්ඩේ‍රල්ලා” කියන්නේ ප්‍රේමනීය දර්ශන ගොඩාක් ඇතුළත් වන චිත්‍රපටයක්. ඉතින් ඒ වගේ කිට්ටුවෙන් ඇසුරු කරද්දී දෙදෙනෙක් අතරේ ආකර්ෂණයක් ඇති වීම ස්වභාවිකයි. ඒ දෙදෙනාම තරුණයි. අනෙක රූගත කිරීම් සිදුවෙන දවස්වල අකලංක විවාහ වෙලා හිටියෙත් නැහැ. උපේක්ෂාත් පළමු විවාහයෙන් වෙන්වෙලයි හිටියේ.
මේ විරසකය නිසා “සින්ඩේ‍රල්ලා” ප්‍රචාරක කටයුතු සාර්ථකව කරගෙන යන්න බැරි වේවිද?
එක චිත්‍රපටයකට පසුව අනෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ආකාරයට චිත්‍රපට දෙකක් විදිහටයි “සින්ඩේ‍රල්ලා” තිරගත වෙන්නේ. චිත්‍රපට දෙකම එක දිගට ප්‍රදර්ශනය කරන්න ඕනෑ නිසා ඒ වෙනුවෙන් මට අවුරුදු තුනක් චිත්‍රපට ‍පෝළිමේ බලාගෙන ඉන්න සිදුවුණා. දෙසැම්බර් මාසයේ “සින්ඩේ‍රල්ලා” ප්‍රදර්ශනය කරන්න දැන් දින ලැබිලා තියෙනවා. හැබැයි මේ දෙන්නට එකට පෙනී සිටින්න අමාරු නිසා ප්‍රධාන නළු නිළි දෙපළ සිටින එකම ප්‍රචාරක කටයුත්තක්වත් චිත්‍රපටය වෙනුවෙන් කරගන්න බැරි තත්ත්වයකුයි දැන් උදා වෙලා තියෙන්නේ.
c

කිෂාන් කනංකෙ