නිදහස් පක්ෂය පරණ සෙල්ලම අලුත් විදිහට කරන්න හදනවා

යහපාලන ආණ්ඩුවක් බිහිකිරීම සදහා බොහෝ සේ ඈප කෑප වී කටයුතු කල පිරිස් කොතෙකුත් සිටියදී, හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය යලිත් තහවුරු කිරීම සඳහා ක්‍රියා කළ අයම රාජ්‍ය ආයතන වල ඉහල තනතුරු වලට පත්කිරීමෙන් රටට දී ඇත්තේ වැරදි ආදර්ශයක් බව නිපුණතා සංවර්ධන හ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි මගින් දන්වා යවා ඈත.

රංගේ බණ්ඩාර මහතා එවැනි ලිපියක් පසුගිය සිකුරාදා (20) ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යොමු කර ඇත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති සමහර ආයතන වල සභාපති, උපසභාපති තනතුරු වලට පුද්ගලයන් පත්කිරීමේදී 2015 අගෝස්තු 17 වැනිදා මහමැතිවරණයෙන් පසු අගමැතිවරයා හා ජනධිපතිවරයා ඇතිකරගත් සම්මුතිවාදය නොසළකා එම පත්වීම් සිදුකර ඇති බව දැන්වීම සඳහාය.

එම තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී තමන් විසින් යෝජනා කළ සුදුසුකම් සහිත කිසිවෙකුට හෝ පත්වීම් ලැබී නැති බවත්, පත් කළ අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය නැවත ගෙන ඒම සඳහා උරදුන් අය බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා, මතුවී ඇති තත්වය සැළකිල්ලට ගෙන අගෝස්තු 17 වැනිදා බිහිකළ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරය වෙත යවන ලද ලිපි පහත දැක්වේ.

2015.11.20

අතිගරු ජනාධිපති,
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,

2015 ජනවාරි මස 08 වන දින පවත්වන ලද ජනාධිපතිවරණයේදී ඔබතුමා පොදු අපේක්ෂක වශයෙන් කටයුතු කරද්දී එම මැතිවරණ ව්‍යාපාරය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය හා වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයන්හී ඔබතුමා සහභාගී වූ ප්‍රධාන රැස්වීම් දෙකෙන් අනතුරුව කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ දැනුම්දීම හා මැදිහත්වීම අනුව ඔබතුමාගේ නිල නිවසේදී දිනක උදෑසන මම ඔබතුමා මුණගැසුනෙමි.

එම කෙටි සම්මුඛ සාකච්ඡාවේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ පැවති රැස්වීම් දෙක පිලිබඳව ඔබතුමාගේ තිබූ අපැහැදීම පිළිබඳවත් ඒගැන ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ද ඔබතුමා සමග සාකච්ඡා කළෙමි. ඉන්පසු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව හා පුත්තලම මැතිවරණ රැස්වීම් පිළිබ ඳව සම්පූර්ණ වගකීම මා විසින් භාරගත් අතර ජනාධිපතිවරණය වෙනුවෙන් ආණමඩුවේ හා පුත්තලමේ පැවති ජනරැළි ඉතාමත් සාර්ථකව සංවිධානය කර පැවැත්වීමට කටයුතු කළෙමි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් විසින් සිදුකරන ලද නොයෙකුත් අකටයුතුකම් මැද්දේ එම ජනරැළි ඉතාමත් සාර්ථකව පවත්වා ජනපතිවරණයේ දී පුත්තලම ජයග්‍රාහී දිස්ත්‍රික්කයක් බවටද පත් කළෙමි.

2015 අගෝස්තු 17 දින පැවති මහමැතිවරණයෙන්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මා විසින් මෙහෙයවනු ලැබුවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ලාභියා බවට පත්වෙමිනි.

අමාත්‍ය මණ්ඩලය පත්කිරිමේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්කිරිමට ඔබතුමන් විසින් කටයුතු කරනු ලැබූ අතර එයට මාගේ ප්‍රශංසාව පිරිනමමි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි.ලං.නි.පය  පිහිටුවාගනු ලැබුවේ සම්මුතිවාදී ආණ්ඩුවකි.

අමාත්‍ය මණ්ඩලය පත්කිරිමේදී ඔබතුමන් විසින් සියලු දෙනාට දැනුම් දෙනු ලැබුවේ අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති, උපසභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල වැනි උසස් තනතුරු සඳහා පත්කිරිමේදී ජනාධිපති හා අගමැතිවරයාගේ විශේෂ කමිටුවක් මගින් නිර්දේශ කරනු ලබන අය පමණක් අදාල උසස් තනතුරු වලට පත්කරන බවයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති සමහර ආයතනයන්හී සභාපති, උපසභාපති හා අධ්‍යක්ෂවරුන් වැනි නිලතලවලට පුද්ගලයන් පත්කිරිමේදී ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ ජීව දත්ත සමග මාගේ නිර්දේශය ඇතුළත් නම් කිහිපයක් ද අදාල කමිටුවේ වගකිවයුතු නිළධාරීන් වෙත යැවීමට මා කටයුතු කළෙමි.

මේ වන විට අපගේ අමාත්‍යාංශය යටතේ ඇති සමහර ආයතන වල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කර අවසන්ය. එහෙත් මා විසින් යෝජනා කරන ලද කිසිඳු පුද්ගලයෙකු, කිසිඳු තනතුරක් සඳහා පත්කර නොමැති බව ඔබගේ අවධානයට යොමු කරමි.
වයස අවු.70 ඉක්මවූ පුද්ගලයින් සභාපති හෝ වෙනත් උසස් තනතුරුවලට පත් නොකරන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනගන්නට ලැබුණු නමුත් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියෙහි (NAITA) සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ 1944 අගෝස්තු මස 08 දින උපත ලද දැනට වයස අවු.71ක ඉක්මවූ පුත්තලමේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන යූසස් පීරිස් මහතාය. ඔහුගේ පත්කිරිම ජනාධිපති කාර්යාලය විසින් ගත් මූලික සිද්ධාන්තයම බිඳ දමා ඇති බව පවසනු කැමැත්තෙමි.

එමෙන්ම වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇති විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා හා උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතීඥ සුගත් හඳුන්ගේ මහතා ද ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අය නොව, හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ අය බව කණගාටුවෙන් යුතුව පෙන්වා දෙමි.
විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් නාවල, නාරහේන්පිට පාර, වෙදපන්සල ඉදිරිපිට පවත්වාගෙන යන ලද විශේෂ මෙහෙයුම් මැදිරිය භාරව සිටි තැනැත්තාය. මෙම මෙහෙයුම් මැදිරියේ විශ්‍රාමික හිටපු ආරක්ෂක නිලධාරීන් 200කට අධික පිරිසක් සේවය කළ අතර ඔවුන් වෙනුවෙන් ලක්ෂ ගනනින් වැටුප්  ගෙවන ලද්දේ මේ දිනවල මහත් කතාබහට ලක්ව ඇති ඇවන්ගාඩ් සමාගම විසින් බව මාධ්‍යවලද විස්තර පලවිය.
වෘත්තීය පුහුණු අධිකාරියේ උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතිඥ සුගත් හඳුන්ගේ මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් “ආයුරක්ඛන්තු ආවඩා” නම් ගීතයේ පසුබිම් ගායකයා බවටද තොරතුරු ඇත.

යහපාලනය හා සම්මුතිවාදී පාලනයක් ඇතිකිරිම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් උරදුන් සුදුසුකම් ඇති විශ්‍රාමික නිළධාරීන් දහස් ගණනක් සිටියදී, යහපාලනය හා සම්මුතිවාදි පාලනයක් ඇතිවීම වලකා හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය තහවුරු කිරිම සඳහා නීතිවිරෝධිව කටයුතු කළ මෙවන් දූෂිත නිලධාරීන් උසස් තනතුරුවලට පත්කිරිම තුළින් රටට දී ඇත්තේ වැරදි ආදර්ශයක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මේ තත්වය යහපාලනය වෙනුවෙන් උරදුන් අයගේ දැඩි කළකිරිමට ද හේතුවී ඇති බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමි.

මෙම සිදුවීම්වලට අනුව පෙනී යන්නේ යහපාලන හා සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකිරිම සඳහා ඇප කැපවු අප සියලුදෙනා විසින් ප්‍රතික්ෂේප කළ පැරණි ඒකාධිපති පාලන තන්ත්‍රය තහවුරු කිරිම සඳහා නීතිවිරෝධිව උරදුන් පිරිස් යලි බලයට ගෙන ඒමදැයි සිතිය හැකිය.

මතුවී ඇති මෙම තත්වය සැලකිල්ලට ගෙන සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියට ගෙනයෑම සඳහා මුලින් ඇතිකරගත් එකඟතාවයට අනුව කටයුතු කිරිම ඉතා හදිසි, වැදගත් කාරණයක් බැවින් මෙය ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා යොමුකරමි.
මෙයට විශ්වාසී වූ,

පාලිත රංගේ බණ්ඩාර
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය

අගමැතිවරයාට යවන ලද ලිපිය.

2015.11.20
ගරු අගමැති,
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අග්‍රාමාත්‍ය කාර්යාලය,
අරලියගහ මන්දිරය, කොළඹ.
ගරු අගමැතිතුමනි,

පසුගිය 2015 ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයේ දී හා 2015 අගෝස්තු මස 17 දින පැවති මහමැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින් සිදුකරන ලද දහසකතුත් එකත් කඩාකප්පල් ක්‍රියා මැද අභීතව පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රාහී දිස්ත්‍රික්කයක්  බවට පත්කර ගැනීමට මා උරදුන් බව ඔබතුමන් හොඳින් දන්නා කාරණයක් බව සිහිපත් කරමි.

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජයග්‍රහණය තහවුරු කර පසුව පැවති මහමැතිවරණයෙන්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මා විසින් මෙහෙයවනු ලැබුවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ලාභියා බවට පත්වෙමිනි.

අමාත්‍ය මණ්ඩලය පත්කිරිමේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්කිරිමට ඔබතුමන් හා අතිගරු ජනාධිපතිතුමන් විසින් කටයුතු කරනු ලැබූ අතර එයට මාගේ ප්‍රශංසාව පිරිනමමි.

මෙම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු විශේෂයෙන් ඔබතුමන් හා අතිගරු ජනාධිපතිතුමන් ගේ එකඟත්වයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි.ලං.නි.පය එක්ව පිහිටුවාගනු ලැබුවේ සම්මුතිවාදී ආණ්ඩුවකි. එම සම්මුතිවාදී ආණ්ඩුවෙන් බලාපෙරොත්තුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක අතර සමගියක් ගොඩනගා යහපත් පාලන තන්ත්‍රයක් මෙරට ඇතිකර පවතින ප්‍රධාන ගැටළුවලට විසඳුමක් ලබා දීමයි.

මහමැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩලය පත්කිරිමේදී ඔබතුමන් හා ගරු ජනාධිපතිතුමන් විසින් සියලු දෙනා හට දැනුම් දෙනු ලැබුවේ අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති, උපසභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල වැනි උසස් තනතුරු සඳහා පත්කිරිමේදී ජනාධිපති හා අගමැතිවරයාගේ විශේෂ කමිටුවක් මගින් නිර්දේශ කරනු ලබන අය පමණක් අදාල උසස් තනතුරු වලට පත්කරන බවයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති සමහර ආයතනයන්හී සභාපති, උපසභාපති හා අධ්‍යක්ෂවරුන් වැනි නිලතලවලට පුද්ගලයන් පත්කිරිමේදී ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ ජීව දත්ත සමග මාගේ නිර්දේශය ඇතුළත් නම් කිහිපයක් ද අදාල කමිටුවේ වගකිවයුතු නිළධාරීන් වෙත යැවීමට මා කටයුතු කළෙමි.

මේ වන විට අපගේ අමාත්‍යාංශය යටතේ ඇති සමහර ආයතන වල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කර අවසන්ය. එහෙත් මා විසින් යෝජනා කරන ලද කිසිඳු පුද්ගලයෙකු, කිසිඳු තනතුරක් සඳහා පත්කර නොමැති බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි.

වයස අවු.70 ඉක්මවූ පුද්ගලයින් සභාපති හෝ වෙනත් උසස් තනතුරුවලට පත් නොකරන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනගන්නට ලැබුණු නමුත් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියෙහි (NAITA) සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ 1944 අගෝස්තු මස 08 දින උපත ලද දැනට වයස අවු.71ක ඉක්මවූ පුත්තලමේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන යූසස් පීරිස් මහතාය. ඔහුගේ පත්කිරිම ජනාධිපති කාර්යාලය විසින් ගත් මූලික සිද්ධාන්තයම බිඳ දමා ඇති බව පවසනු කැමැත්තෙමි.

එමෙන්ම වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇති විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා හා උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතීඥ සුගත් හඳුන්ගේ මහතා ද යහපාලන ආණ්ඩුවක් බිහිකිරිම වෙනුවෙන් ක්‍රියා කළ අය නොව, හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ අය බව කණගාටුවෙන් යුතුව පෙන්වා දෙමි.
විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් නාවල, නාරහේන්පිට පාර, වෙදපන්සල ඉදිරිපිට පවත්වාගෙන යන ලද විශේෂ මෙහෙයුම් මැදිරිය භාරව සිටි තැනැත්තාය. මෙම මෙහෙයුම් මැදිරියේ විශ්‍රාමික හිටපු ආරක්ෂක නිලධාරීන් 200කට අධික පිරිසක් සේවය කළ අතර ඔවුන් වෙනුවෙන් ලක්ෂ ගනනින් වැටුප්  ගෙවන ලද්දේ මේ දිනවල මහත් කතාබහට ලක්ව ඇති ඇවන්ගාඩ් සමාගම විසින් බව මාධ්‍යවලද විස්තර පලවිය.
වෘත්තීය පුහුණු අධිකාරියේ උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතිඥ සුගත් හඳුන්ගේ මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් “ආයුරක්ඛන්තු ආවඩා” නම් ගීතයේ පසුබිම් ගායකයා බවටද තොරතුරු ඇත.

යහපාලනය හා සම්මුතිවාදී පාලනයක් ඇතිකිරිම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් උරදුන් සුදුසුකම් ඇති විශ්‍රාමික නිළධාරීන් දහස් ගණනක් සිටියදී, යහපාලනය හා සම්මුතිවාදි පාලනයක් ඇතිවීම වලකා හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය තහවුරු කිරිම සඳහා නීතිවිරෝධිව කටයුතු කළ මෙවන් දූෂිත නිලධාරීන් උසස් තනතුරුවලට පත්කිරිම තුළින් රටට දී ඇත්තේ වැරදි ආදර්ශයක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මේ තත්වය යහපාලනය වෙනුවෙන් උරදුන් අයගේ දැඩි කළකිරිමට ද හේතුවී ඇති බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමි.

මෙම සිදුවීම්වලට අනුව පෙනී යන්නේ යහපාලන හා සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකිරිම සඳහා ඇප කැපවු අප සියලුදෙනා විසින් ප්‍රතික්ෂේප කළ පැරණි ඒකාධිපති පාලන තන්ත්‍රය තහවුරු කිරිම සඳහා නීතිවිරෝධිව උරදුන් පිරිස් යලි බලයට ගෙන ඒමදැයි සිතිය හැකිය.

මතුවී ඇති මෙම තත්වය සැලකිල්ලට ගෙන සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියට ගෙනයෑම සඳහා මුලින් ඇතිකරගත් එකඟතාවයට අනුව කටයුතු කිරිම ඉතා හදිසි, වැදගත් කාරණයක් බැවින් මෙය ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා යොමුකරමි.
මෙයට විශ්වාසී වූ,

පාලිත රංගේ බණ්ඩාර
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය

Feetured

 

lankaenews.com