මේ ආණ්ඩුව බලයට ගෙනා ජනතාව අමතක කර ධනපතීන්ගේ ඉල්ලීම් ඉටු කරලා

රට විවෘත ආර්ථිකයට තල්ලු කිරීමේ තුන්වැනි අදියරේ ආරම්භය ලෙස මෙවර අය වැය සැලකිය හැකි බව හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරුන්ගේ යුගවලදී කිරීමට නොහැකිවූ රට විවෘත ආර්ථිකයට තල්ලු කිරීම මෙවර ඉතා සැලසුම්සහගත ලෙස සිදු කර ඇතැයි ඒ මහතා පවසා සිටියේය.

1948 වසරට පසුව ඉදිරිපත් කළ දුප්පත්ම අය වැය මෙය බවත්, මෙම අය වැයෙන් මෙරට දුප්පත් ජනතාවට වඩා ඉහළ ආදායම් ලබන පැලැන්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බවත්, ඒ මහතා පෙන්වාදෙයි.

මෙවර අය වැය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සමාජවාදී ජනතා පෙරමුණ විසින්  අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

1977 දී සිරිමාවෝ මැතිණිය ජේ.ආර්ට ආණ්ඩුව බාරදෙන විට සියයට 24ක්වූ රටේ ආදායම පසුගිය ආණ්ඩු සමයේදී ක්‍රමයෙන් පහල වැටුණු බවත්, මෙසේ ආදායම අඩුවීම වැඩිපුර බලපාන්නේ මධ්‍යම පාන්තික ජනතාවට වඩා දුප්පත් ජනතාවට බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

මෙවර අය වැයෙන් වක්‍රබදු වැඩි කර ඇති බවත්, මෙය සම්පූර්ණයෙන් එජාප අය වැයක් බවත්, මෙය ජනාධිපතිවරයා අමාරුවේ දැමීම සඳහා ඉදිරිපත් කළ අය වැයක් දැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අවධානය යොමු කළ යුතු බවත්, ඒ මහතා පැවසීය.

දුප්පතාගේ වාහනය වූ ත්‍රීවිලරයේ මිල පවා වැඩි කරමින් මේ සිදුකරන්නේ ආණ්ඩුව බලයට ගෙනඒමට දායක වූ ජනතාව අමතක කර මහ ධනපති පංතියේ ඉල්ලීම් ඉටු කිරීම යැයිද ඔහු පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුවට එක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ මේ අය ධනපති‍යන්ගේ ශේෂ පත්‍රය වී ඇති බවයි.

දුප්පත් ජනතාව සම්පූර්ණයෙන් අමතක කරමින් ගෑස් හා භූමිතෙල් මිල පහත දමා ගැලවිජ්ජාවක් කර ඇති බවත්, ගොවි ජනතාව‍ සම්පූර්ණයෙන් අමතක කර පොහොර සහනාධාරය කපාදමා ඔවුන්ගේ ඉඩම් ද විදේශීකයින්ට බදු රහිතව මිලදී ගැනීමට අය වැයෙන් ඉඩපාදා ඇති බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

adaderana.lk