ආරක්ෂක ලේකම්ධූරයෙන් කරුණාසේන හෙට්ටිආරච්චි ඉවතට !

දැනට ආරක්ෂක ලේකම්ධූරයේ කටයුතු කරන ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි ළඟදීම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා හේතුවී ඇත්තේ කරුණාසේන හෙට්ටිආරච්චි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති තනතුර දැරූ අවධියේදී සිදුකරන ලදැයි කියන මිලියන ගණනක වංචාවක් හෙළිදරව්වීමයි.
මෙම වංචාවට සම්බන්ධ අනෙක් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ්භාරයට පත්කොට ඇති අතර, රජය අපහසුතාවයට පත් වෙතැයි සිතා කරුණාසේන හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ උපදෙස් පතා තිබේ.
තමන්ගේ පාසලේ මිතුරා වන කරුණාසේන හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කවර ප්‍රතිචාරයක් දක්වාවිදැයි සියලුම පාර්ශ්වයන් මේ වනවිට අවධානයෙන් පසුවේ. මෙම කරුණ ජනාධිපතිවරයාට සැළකළ පුද්ගලයාගෙන් ඔහු විමසා ඇත්තේ ‘කරූ මේ ගැන දන්නවාදැයි’ කියාය. අගමැතිවරයා මේ සම්බන්ධව කියා ඇත්තේ මෙය ජනාධිපතිවරයා විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් බවයි.
ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගාල්ල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුවූ මුල්‍ය වංචාවක් පිළිබඳව සියලු තොරතුරු අප සතුව තිබේ. අප ඒවා හෙලිකිරීමට ප්‍රථම කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්ෂක ලේකම්ධූරයෙන්, ‘මාරපන පූර්වාදර්ශය’ ගුරුකොට ගනිමින් රජය අපහසුතාවයට පත් නොකොට ගෞරවාන්විතව ඉල්ලා අස්වනු ඇතැයි අපි උදක් බලාපොරොත්තු වෙමු.
cf
lankanewsweb