ලංකාවේ අනාගතය සාගරය මතයි – අගමැති

පළමු කොට ම ගාලු සංවාදයේ ජාත්‍යන්තර සම්මේලනයේ 6 වැනි සැසිය වන 2015 සැසිවාරයේ සමාරම්භක දේශනය සඳහා මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාට කෘතඥතාව පළ කිරීමට අවසර පතමි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මේ උත්සවය සංවිධානය කරනුයේ ආරක්‍ෂක අමාත්‍යංශය සමග ඒකාබද්ධවය. ලෝකයේ සෑම දෙසින් ම පාහේ විශාල පිරිසක් සහභාගී වන මෙවැනි උත්සවාංගයක් සංවිධානය කිරීම සැබැවින්ම පැසසිය යුත්තකි. එබැවින් ආරම්භයේදීම මේ කර්තව්‍යයට උරදුන් සියලූ දෙනාට සුභ පතන්නෙමි.

හැඳින්වීම

මේ වසරේ තේමාව වන පුළුල් සාගර කලාපීය සහයෝගිතාවක් ඔස්සේ මුහුදු ආරක්ෂා කරගැනීම, අභියෝග හා ඉදිරි ගමන යන්න ඉතා කාලෝචිත තේමාවකි. එය ගෝලිය සාගර කලාපීය විනයක් උදෙසා පූර්ව අවශ්‍යතාවන් වන වැදගත් කරුණු වෙත අවධානය යොමු වූවකි. ගෝලිය ආර්ථිකයක් තුළ මුහුදු මගින් සිදු කැරෙන වෙළඳාම උපක්‍රමික තීරණ ගැනීම් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරයි.

ආරක්‍ෂිත මුහුදු යන සංකල්පයට සාගර නීතියේ මූලික සංකල්ප පිළිබඳ එකඟතාවකින් යුතු පදනමකින් සැකසුනු ස්ථාවර සාගර කලාපීය පාලනයක් අවශ්‍ය වෙයි. සාගර කලාපීය අධිකරණ බලය සම්බන්ධයෙන් ගත් කළ රාජ්‍යයක ස්වෛරී බලය ක්‍රියාවෙහි යෙදවීමේ නිදහසත් සාගරයේ යාත්‍රා කිරීමේ නිදහසත් අතර ගැටුමක් ඇති නොවීමට වග බලාගැනීමේ අවශ්‍යතාවක් ද වෙයි. එවැනි වාතාවරණයක් උදෙසා සාගර නීතියත් සාගර කලාපීය ආරක්ෂාවත් අතර මනා අන්තර් සබඳතාවක් අවැසිය. මේ අනුව වර්තමානයේ අප මුහුණ දෙන ගැටළුවලට තුඩු දෙන්නේ

වේගවත් ගෝලීය ආර්ථික සංවර්ධනය සහ වෙළඳාමටත් පරිසරයටත් එයින් ඇතිවන බලපෑම
ජාත්‍යන්තර අපරාධ හා මංකොල්ල වර්ධනය වීම.
ත්‍රස්තවාදය ව්‍යාප්තවීම සහ
අධිරාජ්‍යවාදයේ සියවස් දෙකක බලපෑම යටතේ ආසියානු රාජ්‍යයන්හි නාවික බලය නැගී සිටීම සිරවීම යනාදීයයි.

සාගර පාලනයේ වත්මන් නීතියේ මූලාරම්භය 1949 ජාත්‍යන්තර නීති කොමිසම දක්වා විහිදෙයි. උක්ත මාතෘකාව එකී කොමිසමේ න්‍යාය පත්‍රයෙහි පළමු වතාවට දිස්වූයේ ඒ වතාවේ ය. එකල ගෝලිය සාගර කලාපීය විනය රඳා පැවතුණේ ඇමරිකාව බ්‍රිතාන්‍යය සෝවියට් සංගමය හා ප්‍රංශය යන සුපිරි බලවතුන්ගේ නාවික හමුදාවල සහයෝගිතාව මත ය. අදාල ගිවිසුම් අත්සන් තැබෙන 1982 වන විට නාවික සුපිරි බලවතුන් වශයෙන් සිටියේ ඇමෙරිකාවත් සෝවියට් දේශයත් පමණි. බ්‍රිතාන්‍ය යුරෝපයේ නව කාර්ය භාරයකට සූදානම් වෙමින් ම තමන් වෙත ශේෂ වූ නාවික බලය ෆෝක්ලන්ත නාවික බල ඇණියෙන් ප්‍රදර්ශනය කළේය. සාගර නීතියේ බලාත්මක වන අවධිය වන විට සිටියේ එක් නාවික සුපිරි බලවතෙක් පමණකි. ඒ එක්සත් ජනපදය වූ අතර ඔවුන් ද ස්වකීය බලය අඩුකරගෙන තිබිණි. මේ සමඟ ආසියාකරයේ ඇති වූ රික්තය ජපානය චීනය ඉන්දියාව හා දකුණු කොරියාව යන නාවික බලය පුළුල් වෙමින් සිටි රටවල් විසින් පුරවන ලදී. මේ ආකාරයෙන් ගොඩනැගුණු නව පරිසරය සාගර බලය ප්‍රක්ෂේපණය; අවිහිංසක සාමකාමී යාත්‍රා කිරීම්වලට වෙරළාශ්‍රිත මෙහෙයුම්වලින් ඇති වන තර්ජන සහ මුහුදු කලාපය ප්‍රතික්ෂේප කිරීමේ මෙහෙයුම් ආදී ගැටළු පෙරමුණට රැගෙන ආයේය.

ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් සෝවියට් නාවික බලය ඉවත්කර ගැනීමටත් සමඟ විවෘත සාගරයේ ඇතිවන සටන්වල ස්ථානයට වෙරළාශ්‍රිත යුධ කටයුතු ආදේශවනු දක්නට ලැබිණ. මෙහිදී වෙරළබඩ රැකවළෙහි යෙදෙන පාර්ශ්වයට දියඹට යන වේදිකා තොටුපල සමඟ මුර සංචාර ඔත්තු බැලීම්, ගුවන් යානා නෞකා නාශක මිසයිල මෙන්ම මරාගෙන මැරෙන බෝට්ටු ආදී වශයෙන් ඒකරාශී වූ බහු ස්ථර ආරක්ෂක ක්‍රමවේදයක වාසිය ලැබිණ. මේ නිසා ගෝලීය නිශ්චිතතාව හා ස්ථාවරත්වය සහිත යුගයක් අවිනිශ්චිතතාවෙන් වැසී යමින් තිබිණ.

19 වැනි සියවසේදී කාර්මික විප්ලවයත් සමඟ ලොව පළමු නාවික බලවතා බවට පත් වූයේ මුහුදු කොල්ලකාර මූලාශ්‍රයකින් පැවත එන එක්සත් රාජධානියයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එක්සත් ජනපදය මේ තැන ගත්තේය. කෙසේ වෙතත් අද තර්ජනයට ලක්ව ඇත්තේ මේ විනයයි. මේ නීතියයි.

අත්ලාන්තික් සාගරයේ හා ආසියානු සාගර කලාපයේ ඇතිවූ පරස්පර ප්‍රවණතා මතින් ඈත මුහුදේ (ජාත්‍යන්තර මුහුදේ) නව විනය හැඩගැන්වී ඇත. සීතල යුධ සමයේ දී අත්ලන්තික් සාගරයේ බටහිර බලය පවත්වා ගන්නට නේටෝ සංවිධානය පටන් ගත්තේය. මෙය යුරෝපා සංගමය බිහිවීමට ද රුකුල් දුනි. ඉන්පසු ඔවුන්ගේ ප්‍රතිමල්ලවයා වූ සෝවියට් සංගමයේ බිඳවැටීම සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අත්ලාන්තික් සාගරයට ස්ථාවර ආරක්‍ෂක රෙජිමයක් ඇති වූ අතර එමගින් මුහුද ආරක්‍ෂිත විය.

මේ අතර දකුණු හා පෙරදිග අප්‍රිකාවේ සිට ඇමෙරිකානු මහාද්වීපයේ බටහිර වෙරළ දක්වා කලාපයේ විහිදුණු ආසියානු සාගර ඉන්දීය සාගර හා පැසිෆික් සාගර ඉසව්වෙහි මුහුදු බල තුලනයේ උඩු යටිකුරු වීමක් සිදුවෙමින් පවතී. වඩ වඩාත් ගෝලියකරණය වීම හා ආර්ථික පෙරමුණෙන් ලද ශීඝ්‍ර ප්‍රගතිය විසින් ආසියාව අනාගතය උදෙසා වැඩිම අවස්ථා සංඛ්‍යාවක් උදාකරන කලාපය බවට පත් කර ඇත.

මේ කලාපයේ ඇමරිකානු හා යුරෝපීය ආයෝජන
ආසියාවේ ආසියානු ආයෝජකයන් විසින් ඇමරිකානු භාන්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන
ආසියානු භාන්ඩ හා සේවා මත බටහිර වෙළඳපළෙහි රැඳී පැවතීම.
ආසියාවේ නැඟී එන මධ්‍යම පාන්තික වෙළඳපළ.
සිංගප්පූරුව හොංකොං ෂැන්ග්හයි සහ ටෝකියෝ ගෝලීය මූල්‍ය මධ්‍යස්ථාන වශයෙන් නැඟී සිටීම.
ගෝලීය දාමයේ වටිනාකම ඉස්මතුවීම.

යන මේ කරුණු ආසියාවත් බටහිරත් එකිනෙකා මත යැපෙන්නන් බවට පත් කර ඇත. මේ නිසා ඉන්දීය සාගර ආරක්‍ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා ඉන්දියා ආයතනය පෙන්වා දෙන අන්දමට වත්මන් ලෝකයේ වඩාත්ම වැදගත් වන්නේ ඉන්දීය සාගර වෙළඳ මාර්ග බව සඳහන් කිරීම තාර්කික ය. දෙවැනි ලෝක සංග්‍රාමයේදී පැසිෆික් කලාපයෙහි ඇමරිකානු නාවික හමුදාව ලත් ජයග්‍රහණයත් සමඟ ආසියානු සාගර කලාපයේ ඇමරිකානු බලය තහවුරු විය. පසුකාලීනව ස්ථාපිත වූ ඇමරිකානු ආර්ථික ආධිපත්‍යයත් සමඟ නැගෙනහිර ආසියාව ඇමරිකාව පැසිෆික් සාගර ජාතීන් හා ආසියාන් එක්තැන් කළ ආසියා පැසිෆික් ආර්ථික ප්‍රජාව බිහිවීමට මග පාදන ලදී. එසේම ඇමරිකාව සමග ඇති කරගත් ආර්ථික හා ආරක්‍ෂක ගිවිසුම් ඉන්දියාව ආර්ථික බලවතෙකු බවට පත් කළේය. මේ ක්‍රියාවලිය අතරතුර ප්‍රසාරණය වූ ආසියානු නාවික හමුදා ස්වකීය කාර්යභාරය ඇමරිකානු නාවික බල අධිකාරියෙන් කඩාගන්නට වීම වත්මන් අවිනිශ්චිතතාවයට හේතු විය. කලාපීය ස්ථාවරත්වය ගොඩනගනු වස් මේ තත්ත්වය පරීක්‍ෂාකාරී ලෙස කළමනාකරණය වැදගත් ය.

මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමෙහි සාර්ථක නාවික මෙහෙයුම් ආසියානු සාගර කලාපය තුළ දක්නට ලැබිණ. වර්ෂ 2004 නොවැම්බර් මාසයේ දී කලාපීය රටවල් අතර අත්සන් තබන්නට යෙදුණ ආසියාවේ නෞකාවලට එරෙහි කොල්ලකෑම් හා සන්නද්ධ මං පැහැරීම් මර්දනය කිරීමේ කලාපීය සහයෝගිතා ගිවිසුම් එවැන්නක් ඇති වූ පළමු අවස්ථාවයි. මෑතකදී සෝමාලියාවෙන් ඔබ්බෙහි මුහුදු මංකොල්ල පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනාව, අප්‍රිකානු කලාපය පිළිබඳ යුරෝපා සංගමයේ උපක්‍රමික වැඩ රාමුව සහ සෝමාලියා වෙරළට ඔබ්බෙන් මුහුදු මංකොල්ල පිළිබඳ ආමන්ත්‍රණ කණ්ඩායම යනාදී සංවිධාන ආසියානු සාගර කලාපයේ හා ඉන් පිටත නාවික හමුදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමෙහි ලා සාර්ථක ලෙස එක් රැස්කොට ඇත.

මෙකී ප්‍රයත්නවල සාර්ථකත්වය මත්ද්‍රව්‍ය ජාවාරමේ පටන් අනෙකුත් ආකාරවල ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීමේ සහයෝගිතාවක් ගොඩනැගීමට මග පාදයි. ගත වූ අවුරුදු කිහිපය තුළ අප්‍රිකානු මුහුදු මාර්ග හා දකුණු ආසියානු මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් ප්‍රමුඛ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ වැඩිවීමක් දක්නට ලැබීණ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට පෙරාතුව වඩාත් අවබෝධාත්මක උපක්‍රමයක් සැකසීමේ තදබල අවශ්‍යතාවක් පවතී.

මම මෙතන සඳහන් නොකරන අනිත් කරුණ ත්‍රස්තවාදයයි. හේතුව මෙය අද ඔබ සැම සාකච්ඡා කරන දෙයට වඩා බැහැර කරුණක් වීමයි.

මිනිස් ජාවාරම ජාතීන් අතර සහයෝගිතාවක අවශ්‍යතාව පෙන්වන තවත් අංශයකි. ආසියානු හා අප්‍රිකානු නාවික හමුදා අනෙකුත් පංගුකරුවන්ගේ ද සහාය ඇතිව ජාත්‍යන්තර ජාවාරම් හා අපරාධ මැඩලීම සඳහා වඩ වඩාත් සහයෝගිතා ඇති කර ගැනීම ආසියානු සාගර කලාපය තුළ ආරක්‍ෂාව ස්ථාවර කරනු වස් ඊට අවශ්‍ය වාතාවරණය සකසනු ඇත. ආසියානු සාගර කලාපය සඳහා පුළුල් ආරක්‍ෂක ක්‍රමවේදයක් අවශ්‍ය වන අතරම එක් එක් මුහුදේ අවශ්‍යතා වෙන වෙනම සලකා බැලිය යුත්තේය.

පැසිෆික් සාගර කලාපයේ බල අධිකාරියට ඇත්තේ කෙටි ඉතිහාසයකි. ආසියාව ඕස්ට්‍රේලියාව හා ඇමෙරිකාව අතර වෙළඳාම සංවර්ධනය වූයේ පසුගිය සියවසෙහිදීය. නැගෙනහිර ආසියානු ජාතීහු තිදෙනාම ස්වකීය නාවික හමුදා ආසියාවේ නවීණතම බලඇණි බවට පත් කරගන්නට පියවර ගත්හ. මෙකී නාවික හමුදා ඔවුන්ගේ බටහිර සමානයන්ට වඩා අවි ආයුද උපකරණවලින් පොහොසත් වේ.

චීනයේ නාවික බලය වර්ධනය වීමත්, චීන මුහුද ගොඩකිරීමේ ප්‍රයත්නත්, ජපානය හා චීනය අතර අළුයට සැඟව පැවැති ගිනි පුපුරු අවුළුවන්නට සමත් විය. කෙසේ වෙතත් අනෙක් අතින් චීනයේ නාවික හමුදාවට දිගුකාලීනව හෝ ඇමෙරිකානු නාවික බලයට සමවන්නට නොහැකිය. මේ බව 2015 චීන හමුදා උපක්‍රම පිළිබඳ ධවල පත්‍රිකාවන්ද පිළිගෙන ඇත. එහි කියා ඇත්තේ අනාගත ලෝක යුද්ධයක නිමිත්තක්වත් පෙනෙන්නට නැති බවයි. විවෘත මුහුදු ආරක්‍ෂාවේ සම්බන්ධයෙන් වර්ධනය වන උපක්‍රමික උනන්දුව මගින් හටගන්නා නව අවශ්‍යතා පිළිබඳව ද ධවල පත්‍රිකාව සඳහන් කරයි. මෙය පෙනී යන්නේ ඇමෙරිකා නාවික හමුදාවේ තීරණ ගැනීමේ හා මුහුදු පාලන අරමුණු ව්‍යර්ථ කිරීමේ වෑයමක් වශයෙනි. එබැවින් ඇමෙරිකාවත් සෙසු නැගෙනහිර ආසියානු ජාතීනුත් එවැනි පියවරක් වැළැක්වීම පිණිස පියවර ගනු ඇත.

ඉන්දීය සාගරය ආශ්‍රිත ගැටළු වඩාත් සංකීර්ණය. වසර 3000 කට අධික පැහැදිලි ඉතිහාසයක් ඇති ඉන්දීය සාගරය 17 වන සියවස තෙක්ම ලෝකයේ ධනවත්ම කලාපය විය. රුවල් යාත්‍රාවල ස්වභාවයක් මේ කලාපයේ නාවික බලවතකු බිහිවීමේ හැකියාවට සීමා පැණවිය. කාර්මික විප්ලවයක් වාෂ්ප නෞකා තාක්‍ෂණයක් සමග සමස්ත ඉන්දීය සාගර කලාපයම 19 වැනි සියවස වන විට බ්‍රිතාන්‍යයන්ගේ තෝතැන්නක් බවට පත් කළේය. එමෙන්ම සූවස් ඇළ ඔස්සේ යුරෝපයත්, ආසියාවත් අතර මුහුදු මාර්ගික සබඳතාවක් ගොඩනැගිණ.

අද ලෝකයේ බහාලූම් මගින් ප්‍රවාහනය කෙරෙන වෙළඳ භාණ්ඩවලින් අඩකටත් වඩා ගමන් කරන්නේ ආසියානු මුහුදු මාර්ග ඔස්සේය. ලෝකයේ හයිඩ්‍රොකාබන් වෙළඳාමෙන් අඩක් තුනෙන් දෙකත් අතර කොටසක් ද ලෝකයේ තොග භාණ්ඩ නැව්ගත කිරීම්වලින් තුනෙන් එකක් ද ඉන්දීය සාගරය හරහා ගමන් ගනී. තෙල් හා ස්වභාවික ගෑස් නිධියක් වශයෙන් තිබෙන වටිනාකමට අමතරව ලෝක ආර්ථිකයේ එන්ජිම පණගන්වන ගල් අඟුරු හා තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ගය වන්නේ ද ඉන්දීය සාගරයයි. ඉන්දීය සාගරය සලකා බලන කළ නාවික කටයුතු පංගුකාරයන්ගෙන් වැඩිදෙනා කලාපයෙන් බාහිර පුද්ගලයන් ය. ස්වකීය ආර්ථිකයට පහර වැදෙන හෙයින් ඉන්දීය මුහුදු මාර්ගික වෙළෙඳාම ආරක්‍ෂාව පිළිබඳව යුරෝපා සංගමයත්, චීනය ජපානය හා දකුණු කොරියාවත් බෙහෙවින් උනන්දු වෙති. ආසියාව හා නැගෙනහිර අප්‍රිකාවේ තානාපති සබඳතා කෙරෙහි චීනය දක්වන මුදු පිළිවෙතත් හම්බන්තොට වැනි නව වරාය ඉදිකිරීමත් මුතු දාම ප්‍රතිපත්තියත් ඉන්දීය සාගරය තුළ චීනයේ බලය පතුරුවාලීමේ දිගුකාලීන සැකසුමේ ප්‍රතිඵලයන් වේ. එසේම ආසියා පැසිෆික් හා ඉන්දීය සාගර කලාපය පිළිබඳ ඇමෙරිකා ඉන්දියා උපක්‍රමික දැක්ම සම්බන්ධයෙන් ද චීනය විමසිල්ලෙන් පසුවෙයි.

ඉන්දීය සාගර කලාපයේ අනෙක් විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය නිසා මෙකී සීමිත මුහුදු ප්‍රදේශවලට එල්ලවන ආරක්‍ෂක තර්ජනයයි. මෙහිදී වඩාත්ම අනතුරුදායක ප්‍රදේශ වන්නේ ගෝලීය ආර්ථිකයට අවශ්‍ය පොසිල ඉන්ධන සපයන ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝරමස් සමුද්‍ර සන්ධියත් බැබ් එල් මැන්ඩෙප් සමුද්‍ර සන්ධියත් ය.

මේ තත්ත්වයන්ට එරෙහිව ඉන්දීය සාගරයේ නාවික කටයුතුවල නිදහස සම්බන්ධයෙන් සියලූම පාර්ශ්වයන් එකතු කරගත් පුළුල් සාකච්ඡාවක් අවශ්‍යය. ඉන්දීය සාගර කලාපයේ වෙරළබඩ ජාතීන් ඉතිහාසයේ පෙර සිටම කිසියම් තනි ජාතියකට කලාපයේ නාවික බලය හිමිවීමට එරෙහිව කටයුතු කොට ඇත. එබැවින් කලාපීය රටවල් සියල්ලම ඉන්දීය සාගරය තුළ තමන්ට නිදහසේ යාත්‍රා කිරීමට ඇති අයිතිය තහවුරු කරගන්නට එක්සත්ව කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව එක්සත් ජනපද නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳ යථාර්ථය පිළිගන්නා අතර ඉන්දීය සාගරය තුළ යාත්‍රා කිරීමේ නිදහස තහවුරු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම උදෙසා වෙරළබඩ ජාතීන් ඇමෙරිකාව ද ඇතුළත් කරගත යුතු බවද පිළිගනී.

ඉන්දියන් සාගරය තුළ නාවික හමුදා බල ඇණි තුනක් අනිවාර්යෙන්ම ආරක්‍ෂක කටයුතුවල නිරත විය යුතුයි කියා මා සිතනවා. ලංකාවට මෑතක දී මුහුණ පෑ දුෂ්කරතම අභියෝගය වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ගෙන ආ යෝජනාවයි. එහෙත් අප ඉන් ජයග්‍රහණය කළා. අවසානයේ දී පසුගිය සැසි වාරයේ ලංකාව තවත් ජාතීන් රාශියක් සමඟ සම සහයෝගීතාවයක් ඇති කර ගනු ලැබුවා. මෙම නව ව්‍යවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත් කළා.

ඉන්දීය සාගරය මධ්‍යයෙහි වූ ශ්‍රී ලංකාවේ උපක්‍රමික පිහිටීම අසහාය වේ. අපේ කුඩා දිවයිනේ පැවැත්මට නාවික ප්‍රවාහන ය මත පදනම් වෙළඳාම ඉතා වැදගත්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජයේ ආර්ථික සංවර්ධන උපක්‍රමය ද්වි පාර්ශ්වික වෙළඳාම සහ ඉන්දියා, පාකිස්තාන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් යුරෝපා සංගමය හා චීනය අතර පවතින ආර්ථික ගිවිසුම් කෙරෙහි උනන්දු වූවකි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ සාකච්ඡා ඇරඹීමට ද සැකසුම් කොට ඇත. එසේම ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ රටවල් සම්බන්ධ කරන වෙළඳ කේන්ද්‍රය වශයෙන් ස්ථානගත වීමට ද උනන්දුවෙයි. එබැවින් ආරක්‍ෂිත මුහුදක් හා ඉන්දීය සාගරය සුරැකීම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට බෙහෙවින් වැදගත් වෙයි. අපගේ විශේෂ උනන්දුව යොමුවන්නේ

(අ)    අංශක අටේ මාර්ගය, අංශක එකහමාරේ මාර්ගය, මාලදිවයිනේ අවට නිරක්‍ෂ මාර්ගය, සහ
(ආ)    අංශක නවයේ මාර්ගය, මලක්කා සමුද්‍ර සන්ධියට සුන්ඩා සමුද්‍ර සන්ධියට හා ලොම්බොක් සමුද්‍ර සන්ධියට යොමුවූ අංශක දහයේ මාර්ගය යනාදිය ට වේ.

ඉතිහාසයේ පටන් ම ශ්‍රී ලංකාව බෙංගාල බොක්ක සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයද එම ප්‍රදේශයට විහිදෙයි. එමෙන්ම අප අවට මුහුදේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමටත්, ජාතීන් අතර අපරාධ හා පුද්ගල ජාවාරමට එරෙහිවීමටත් අපි කැප වන්නෙමු. මේ නිසා මුහුද යනු අපේ රටේ ආරක්‍ෂාවෙහි උපක්‍රමික කොටසකි. අභ්‍යන්තරික සාධක නිසා දේශීය ආරක්‍ෂාව ගොඩනැගීම උදෙසා සම්පත් විශාල වශයෙන් වැයකෙරෙන මුත් සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් යොමුව සීමා විය. මෙකී සංදර්භය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු දියේ මෙහෙයුම් හැකියාව වර්ධනය කිරීම හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂකයන්ගේ ශක්තිය වැඩි කිරීම කෙරෙහි රජයේ අවදානය යොමු වෙයි. එසේම නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ශක්තිය එකමුතු කිරීමට ඇති හැකියාව ද සොයා බලනු ලැබේ. මීට අමතරව අපේ මුර සංචාර හා නිරීක්‍ෂණ විපරම් සඳහා ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා ශක්තිය එකමුතු කොට යොදා ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇත. එසේම අපගේ අවධානය යොමු වන කරුණු අතර,

(අ)    සාගර කලාපීය අවකාශ සැලසුම් සංවර්ධනය
(ආ)    සාගර කලාපීය උපක්‍රමයක් සංවර්ධනය කිරීම
(ඇ)    සාගර කලාපීය ආරක්‍ෂක උපක්‍රමයක් සැකසුම් කිරීම යනාදිය ද වෙයි. මේ සියල්ල අභ්‍යන්තරිකව ම එකිනෙකට සම්බන්ධය. එසේම රටේ පොදු සාගර කලාපීය ප්‍රතිපත්තියේ අනුශාංගික කොටසකි.

ඇතැම් තීරණවල විපාකය වූයේ නැවතත් කුඩා නාවික හමුදාවක් සෑදීමේ ඩී.ඇස්. සේනානායක ප්‍රතිපත්තිය දක්වා පසු බැසීමකි. ඔහුගේ ආසන්නම අනුප්‍රාප්තිකයා විසින් අනුගමනය කරනු ලැබුවද එය ඉන්දීය සාගරයේ සාම කලාපයක් ප්‍රවර්ධනය කිරීමේ පිළිවෙත ආපසු හැරවීමක් විය. පසුකාලීනව දිගින් දිගටම පැවැති ත්‍රස්තවාදය රජයේ අවධානය ගොඩබිම ආරක්‍ෂාව කෙරෙහි පමණක් යොමු කරවන්නට සමත් විය. දැන් වෙනසක් සිදු කළ යුතුය. දැනට අවධානය යොමු වන කරුණු අතර,

(අ)    මුහුදු මාර්ගයෙන් මලක්කා සහ ඉන්දුනීසියා සමුද්‍ර සන්ධි දක්වා නිදහසේ යාත්‍රා කිරීමේ අයිතිය තහවුරු කරනු පිණිස වූ අපගේ වගකීම සෙසු පාර්ශ්ව සමග ඒකාබද්ධව ඉටුකරනු වස් කුඩා නාවික හමුදාවක් ස්ථාපිත කිරීම.
(ආ)    නාවික හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගුවන් නිරීක්‍ෂණ ඔත්තු බැලීමේ කටයුතු එකතු කිරීම.
(ඇ)    ජාත්‍යන්තර සාම සාධක කර්තව්‍යයන්ට උරදීම පිණිස හමුදා ඛණ්ඩ හා පොලිස් ඒකක යොදා ගනිමින් වෙනම සාම සාධක හමුදාවක් ඇති කිරීම.
(ඈ)    ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රතිසංවිධානය හා පුහුණුකිරීම යනාදිය වෙයි.

අයවැය මත අමතර පීඩනයක් ඇති නොවනු පිණිස අනුමත ඕනෑම සැලසුමකට අවශ්‍ය මූල්‍ය සම්පත් ක්‍රමානුකූලව පියවරින් පියවර සම්පාදනය කළ යුතුය. මේ රජය ශ්‍රී ලංකාවේ සෑම වරායක්ම වානිජ නාවික කටයුතු සඳහා විවෘත කළ යුතුය යන ස්ථාවර ප්‍රතිපත්තිය තහවුරු කිරීමට කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ කිසිදු විදේශීය නාවික කඳවුරක් නොවනු ඇත.

ඉන්දීය සාගරයේ බහුපාර්ශ්වීය පදනමක් මත සකස් වූ අනෝන්‍ය වශයෙන් වාසිදායක ආරක්‍ෂක සැලසුමක් නොමැත. එසේම ඵලදායි අර්ථවත් බහුපාර්ශ්වීය පාලන ව්‍යුහයක් ද නැත්තේය. ආසියා පැසිෆික් කලාපය මෙන් මෙය ආර්ථික වශයෙන් එකට ඈඳුණු කලාපයක් ද නොවේ. නේටෝ කලාපීය සංවිධානයක් තරමට ප්‍රතිඵල ගෙනදෙන්නක් නොවේ. කොචි සහ පර්ත් ප්‍රකාශන සම්බන්ධයෙන් ද අර්ථවත් ප්‍රගතියක් නොමැත. මේ අඩුව පුරවන්නේ නොමැතිව  ඉන්දීය සාගරයේ කලාපීය ආරක්‍ෂාව සහතික කළ නොහැකිය. ඉන්දීය සාගර කලාපීය ආරක්‍ෂක ගැටලූ විසඳාගනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සමන්විත බහුපාර්ශ්වික සංවාද මණ්ඩපයක් පිහිටුවීමේ කර්තව්‍යයෙහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව කැමැතිය. අසීරු ස්ථාන පාලනය හා සාගර කලාපීය ආරක්‍ෂක සැකසුමක් වැනි කරුණු එහිදී සලකා බැලිය හැකිය. සමූහවාචී ප්‍රවේශයක් සහිත එවැනි සංවාද මණ්ඩපයකින් විශේෂයෙන් ඉන්දීය සාගරයටත් පොදුවේ ඉන්දු පැසිෆික් කලාපයටත් බලපාන ගැටලූ රාශියක් පිළිබඳ අවධානය යොමු කෙරෙන කාලීන හා අදාළ යාන්ත්‍රණයක් සඳහා මඟපෑදෙනු ඇත. මේ ක්‍රියාවලිය ආයතන ගත කළහොත් එමගින් ශ්‍රී ලංකාවටත් අනෙකුත් පාර්ශවකරුවන්ටත් වැදගත් වන ඉසව් ගණනාවක අනෝන්‍ය උපකාරී සහයෝගිතාවක් සඳහා අවස්ථාව සලසනු ඇත.

කිසිදු රටකට තමන් කොතරම් දියුණු හා ශක්තිමත් වූවත් සාගර කලාපීය ආරක්‍ෂක තර්ජන සම්බන්ධයෙන් තනිවම වගබලාගන්නට නොහැකි බව පැහැදිලිය. සාගර කලාපීය ආරක්‍ෂක ප්‍රශ්න හා තර්ජන ඵලදායී ලෙස ආමන්ත්‍රණය කරන්නට නම් අපට නිරනුමානවම ගෝලීය වශයෙන් සිතන්නටත් සමුහ වාචීව වැඩකරන්නටත් සිදුවෙයි.

මෙහි පැමිණ සිටින නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලූදෙනාත් අදාළ ආයතනවල නියෝජිතයිනුත් උක්ත කාරණය සම්බන්ධයෙන් මනාව දැනුම්වත් බව මම දනිමි. ඔවුන් අද මෙහි රැස්ව සිටින්නේද ඒ පිළිබඳව තමන්ගේ කාර්යයන් ඉටු කිරීමටය.

අපේ අනාගතය රඳා පවතින්නේ සාගර අවකාශයෙහි ය. සාගරයට අදාළව පවත්නා නීති රීති රෙගුලාසිවලට යටත්ව ඉදිරියට යන්නට අපට නොහැකි නම් හා නිදහසේ යාත්‍රා කිරීමට ඇති අයිතියට ගරු කරන්නට අප අසමත් වන්නේ නම් ද අවබෝධාත්මක සහයෝගීතා සඳහා දායක නොවන්නේ නම් ද අප මේ සැසියෙහි දී සාකච්ඡා කරන ගැටලූවලට විසඳුම් නොමැත.

ඉදිරි දින දෙක තුළ මේ සැසිවාරයේදී රැස්ව සිටින වැදගත් පිරිස අතර ඇති වන සාකච්ඡා ගෝලීය ප්‍රජාව මුහුණපාන ගැටලූ සම්බන්ධයෙන් යම් ආලෝකයක් සලසනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි. අපේ සියලූ ජාතීන් අපට බලපාන ගැටලූ ආමන්ත්‍රණය කිරීම උදෙසා වඩාත් පුළුල් සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාවෙන් අනූන බව ඔබට පසක්වනු ඇතැයි මට විශ්වාස ය.

ඔබ සියලූ දෙනාටම ඉතා සාර්ථක සම්මන්ත්‍රණයකට ආසිරි පතමි.

xde

සැමට ස්තුතියි.