ගෝඨාභය ජනාධිපති කොමිසමට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළිත් බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. ඒ, රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

හිරු ප්‍රවෘත්ති අංශය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළා. මීට පෙර පසුගිය සැප්තැම්බර් 17 සහ 18 යන දිනවලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතල වංචා  සොයන ජනාධීපති කොමිසම වෙත පැමිණියා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න ද අද එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා සහ අද්මිරාල් ජයන්ත කොළඹගේ ද අද බරපතල වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතයි. ඒ, රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් සෝමතිලක දිසානායක බරපතල වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාදුන්නා.