අපට වෙලා තියෙන්නේ බෙල්ලේ වැල දාගන්න – ඇවන්ට්ගාඩ් සේවකයෝ

රටේ කිසිදු නීතියකට අදාල නොවී නිසි ක්‍රමවේදයක්ද නොමැතිව ආන්දෝලනයකට ලක්වූ ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම නිසා එහි සේවය කළ 6000 කට අධික සේවකයන් පිරිසකගේ රැකියා අහිමි වී තිබේ. ලංකා ඊ නිව්ස් ඇතුළු විකල්ප මාධ්‍ය සහ සිවිල් සංවිධාන ඇවන්ට්ගාඩ් සමාගම ගැන තොරතුරු අනාවරණ කෙළේ එහි යම් අක්‍රමිකතාවයක් හෝ දූෂණයක් හෝ සිදුව ඇත්නම් ඒවා කළ වුන් සොයා දඬුවම් දීමට විනා ආයතනය හමුදාවට පවරා දී එහි සේවකයන්ගේ රැකියා විනාශ කිරීමේ අරමුණින් නොවුනද, තත්ත්වය දඩමීමා කරගත් රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග ආදීහු එම සමාගමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා දැක්වූවේ එම සමාගම කළ ව්‍යාපාරය තමන් අතට ගැනීමේ කූඨ අරමුණිනි.

 

දැන් සිදුව ඇත්තේ 6000 කට අධික සේවක සංඛ්‍යාවකයන් සහ ඔවුන්ගේ පවුල් මහපාරට වැටීමය. නීති විරෝධී අවි තිබුනේ නම් ඒවා නාවික හමුදාවට ගැනීමෙන් නීත්‍යාණුකූල වූයේ කෙසේදැයි පැහැදිලි කළ යුතුය. රාජිතලා කී නීති විරෝධී අවි  අල්ලා ගැනීමෙන් පසු කළ යුත්තේ ඒවා නඩු භාණ්ඩ ලෙස ගෙන ඇවන්ට් ගාඩ් අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමය. ඒ කිසිවක් සිදුනොකර සමාගමක් හමුදාවට පවරා ගැනීම නීති විරෝධී ය. උදාහරණයක් ලෙස ගත හොත් මුද්‍රණාලයක නීති විරෝධී ලියැවිල්ලක් අච්චු ගැසුවා කියා මුළු මුද්‍රණාලය සහ එම ව්‍යාපාරය හමුදාවට පවරා ගන්නවාද? ලියැවිලි අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් සේ සලකා ඊට සම්බන්ධ එහි සේවකයන්ට සහ මුද්‍රණාල අයිතිකරුට එරෙහිව නඩු පවරනවාද? මුද්‍රණාල හිමිකරුට යලි මුද්‍රණාල පවත්වාගෙන යාමට අවසර දෙනවාද? නැතිද? දඩ ගසනවාද? හිරේ දමනවාද? ආදිය තීරණය කරන්නේ අධිකරණය විසිනි.

මේ නිසා ‘ඇවන්ට් ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානය‘ නමින් සංවිධානයක් බිහිවී ඇති අතර එහි කැඳවුම් කරු වන කමල් ගමගේ මහතා පෙරේදා ජනමාධ්‍ය හමුවක් කැඳවමින් තමන් සහ දරුපවුල් පත්ව ඇති ඛේදනීය තත්ත්වය ගැන විස්තර කෙළේ මෙසේය.

“අද මෙහි රැස්ව සිටින විශ්‍රාමික රණවිරුවන්ගෙන් බොහොමයක් දෙනා 1983, 1984, 1985 සහ 1986 යන කාල වකවාණු වලදී මේ රටේ ත්‍රිවිධ හමුදාවන්ට බැඳුනු පිරිස් වේ. මෙන්න මේ කාලේ තමයි මේ රටේ යුද්ධය පටන් ගත්ත කාලේ. යුද්ධේ පටන් ගත්ත කාලේ හමුදාවන්ට බැඳුනු අය අපේ රට වෙනුවෙන් යුද්ධ කරන්නට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ අය මිසක්, සුව පහසුවෙන් තමන්ගේ රාජකාරි කරන්න නාමික (ceremonial) හමුදාවකට බැඳුනු උදවිය නෙවෙයි.

එතකොට මේ වසර 20 ක් 25 ක් හමුදා සේවයේ යෙදී සිට විශ්‍රාම ගත් අපේ රණවිරුවන් හමුදාවට බැඳිලා යුද්ධ කලේ, ඔවුන්ගේ මුළු ජීවිතයම කැප කළේ අපේ රටත්, රටේ ජනතාවත් වෙනුවෙන් මිසක් ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොවයි. එහෙම කලේ මේ ශ්‍රී ලංකාව ඒකීය රටක් හැටියට තියා ගන්නයි. එහෙම යුද්ධ කරලා තුවාල වෙලා එළියට ආව ඔවුන් අද ඔවුන්ගේ ප්‍රධාන යුතුකම හැටියට සලකන්නේ ඔවුන්ගේ දරු පවුල් රැකීමයි. ඔවුන්ගේ පවුල් හරියට රැක බලාගෙන ඒ අවශ්‍ය යුතුකම් ඉටුකරන්නනම් ඒ වෙනුවෙන් නිසි ක්‍රම වේදයක් තිබිය යුතුමයි.

මෙතෙක් කල් ඒ වගේ නිසි ක්‍රම වේදයක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් මේ රට තුල තිබුණා නම් තිබුණේ එකම එකයි. ඒ තමයි ආරක්ෂක සේවයක් හැටියට රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සේවයට යාම. ඒක එහෙම තියෙන කොට ඊට අමතරව ඔවුනට ඔවුන්ගේ පවුල් නිසි පරිදි නඩත්තු කරගෙන යන්නත්, ඔවුන්ගේ පවුල් වලට සුව පහසු ජීවිතයක් ලබල දීල, ඒ පවුල් වල දූ දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබල දීල ඒ අයගේ ජීවිත වලට ආලෝකයක් ලබල දෙන්නට පුළුවන් විදියේ රැකියාවක් ලංකාවේ බිහිවුන හොඳම ආයතනය තමයි ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම.

මේ විශ්‍රාමික රණවිරුවනුත් කැමතියි මේ රටේ අනෙකුත් පුරවැසියන් වගේ හොඳට ඉන්න, හොඳ ගෙයක් දොරක් හදා ගන්න, ඔවුන්ගේ දරුවන් හොඳ පාසැලකට යවල හොඳට උගන්වන්න, මේ වගේ බොහෝ දේවල් කරගන්නට බලාපොරොත්තුවක් මේඅය තුල තිබුණා. ඒ නිසා තමයි ලංකාවේ බොහොමයක් විශ්‍රාමික රණවිරුවන් ඇවන්ට් ගාර්ඩ් ආයතනයට ඇතුළු වෙලා රැකියාවක් කරගෙන හොඳට ජීවත් වෙන්න උත්සාහ ගත්තේ.

මේ විදියට රස්සාව කරගෙන, හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත රණවිරුවන් සුන්දර හෙට දවසකට අඩිතාලම දාගෙන ආපු අවස්ථාවක් තමයි අපි පසු කරගෙන ආවේ. අනේ එහෙම ලස්සන ජීවිතේකට අඩිතාලම දාගෙන එනකොටම මේ රට රැකගන්න ජීවිතේ පරදුවට තියල යුද්ධ කරලා බොහොම අමාරුවෙන් ජීවිතේ රැකගෙන හමුදාවෙන් එළියට ඇවිත් ඇවන්ට් ගාර්ඩ් එකේ රස්සාව කරපු ඔවුන්ගේ රැකියා අහිමිවෙලා යන්නේ අපේ රටෙත් ජාතියේත් අවාසනාවකට නේද?

මේ විදියට ඔවුන්ගේ රැකියා අහිමි වෙන්නේ ඇවන්ට් ගාර්ඩ් සමාගමේ වරදකින් නෙමෙයි. හරිහැටි කරුණු කාරණා නොදන්නා අතළොස්සක් දේශපාලනඥයන් ඔවුන්ගේ පටු අරමුණු, ආත්මාර්ථකාමී අරමුණු  ඉෂ්ඨ කරගන්න ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් හැටියටයි අපේ මේ ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සේවය කළ  වීරෝධාර විශ්‍රාමික රණවිරුවන්ගේ රැකියා අහිමි වෙන්නේ.

රටට ණය නැති, රටම ණයගැති මේ ශ්‍රේෂ්ඨ විශ්‍රාමික රණවිරුවන් අද මෙවැනි අවාසනාවන්ත තත්වයකට පත්කරලා, ඔවුන්ව මහ මඟට ඇදල දාල රටටම ණය කරවන්න උත්සාහ ගන්නේ කවුද? රටම විනාශ කරණ, ආත්මාර්ථකාමී, කුහක අදහස් වලින් ගහන තුන් හතර දෙනෙක් වන අධම දේශපාලනඥයන් පිරිසක් තමයි මේ සහගහණ අපරාධයට සම්මාදම් වෙන්නේ.

මේ විදියට රැකියා අහිමි වෙලා, ඒ විරෝධාර විශ්‍රාමික රණවිරුවන් මහ මගට වැටෙනකොට ඒ අය කොහොමද ඒ උදවියගේ විශ්‍රාමික අවධියේදී සැපවත් පවුල් ජීවිතයක් ගෙනියන්නේ? ඔවුන්ගේ දු දරුවන් පාසල් යවන්නේ? දු දරුවන්ට පාසලට යන්න ගමන් වියදම් දෙන්නේ? කෑම බීම දෙන්නේ? අනෙකුත් ක්‍රියාකාරකම් වලට වියදම් කරන්නේ? ටියුෂන් පන්ති යවන්නේ? පවුල නඩත්තු කරන්නේ?

ඒ විතරක්ද? ගෙයක් දොරක් හදාගන්න ගත්ත බැංකු ණය ගෙවන්නේ කොහොමද? බයිසිකලයක්, ත්‍රී වීල් එකක්, පොඩි කාර් එකක් වගේ මොකක් හරි යාන වාහන පහසුකමක් හදාගත්තාම ඒ වෙනුවෙන් ගත්ත ෆිනෑන්ස් එකේ වාරික ගෙවන්නේ කොහොමද? ඇවන්ට් ගාර්ඩ් එකේ රස්සාවෙන් මේ හැම දේම කලට වෙලාවට කරගෙන ආපු ඔවුන් මේවා ගෙවන්නේ කොහෙන්ද? කොහොමද? කොයි විදියටද? කවුද ඒවාට ඔවුන්ට සහන සලසන්නේ? ඔය පහුගිය දවස්වල ඇවන්ට් ගාර්ඩ් එකේ කාටවත් රස්සා නැති වෙන්නේ නැහැ කියල කියපු අයද දැන් අපිව මේ කරදර වලින් මුදවා ගන්නේ? ඒ ගොල්ලන් දැන් අපිට අපේ නැති වෙච්ච රස්සා දෙනවද? අපිට අපේ බැංකු ණය, ෆිනෑන්ස් වාරික මාසේ ගානේ ඇවිත් ගෙවල දෙනවද? ඔය බයිලා ගහන අය අපිව  ඇවිත් රැක බලාගන්න වද? මොකක්ද මේ කරපු හෙන ගහන වැඩේ තේරුම?

මේ විශ්‍රාමික රණවිරුවන් අවුරුදු 20 ගානක් මේ රට වෙනුවෙනුයි යුද්ධ කලේ. එහෙම නම් අපේ රටේ පුර වැසියන්ටත් සාධාරණ යුතුකමක් නැද්ද එච්චර කල් රට ජාතිය මේ තමුන්නාන්සේලා වෙනුවෙන් කැප කරපු විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න? තමුන්නාන්සේලාටත් වගකීමක් තියෙනවා, මේ රැකියා අහිමි වීම නිසා අපේ විශ්‍රාමික රණවිරුවන්ට වුන අසාධාරණය ගැන මේ රටේ හඬක් නගන්න.

අද මේ විශ්‍රාමික රණවිරුවන්ට අත්වූ ඛේදජනක ඉරණම හෙට මේ රටේ සන්නද්ධ සේවයෙන් විශ්‍රාම ලබන අපේ අනෙකුත් වීරෝධාර රණවිරුවන්ටත් උරුම නොවන්නේද? ආත්ම අභිමානයකින් යුක්තව විශ්‍රාමික රණවිරුවනට සිය විශ්‍රාමික ජීවිතයේදී රැකියාව කිරීමට, විශ්‍රාමික රණවිරුවෙන් වෙනුවෙන්ම, විශ්‍රාමික රණවිරුවෙකු විසින්ම  ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබූ ඇවන්ට් ගාර්ඩ් ආයතනය මෙසේ විනාශ කර පසුව එය අතළොස්සක් වූ කුහක දේශපාලනඥයන්ගේ හෙන්චයියන්ට ලබාදීමට පිඹුරුපත් දැනටමත් සකසා අවසන් නොවේද?

අද රැකියා අහිමිව සිටින අප මෙන්ම හෙට විශ්‍රාම යාමට නියමිත දහස් ගනන් රණවිරුවන් මේ රටේ ඉන්නවා. ඒ අය වෙනුවෙන් ඒ අයගේ විශ්‍රාම ජීවිතය සැපවත් කිරීම වෙනුවෙන් පිළියෙළ කල සාර්ථක ක්‍රම වේධයක් මේ රටේ තිබෙනවද? මේ වෙනකම් නෑ. නමුත් ඇවන්ට් ගාර්ඩ් එක කලේ ඒකයි. මේජර් නිශ්ශංක සේනාධිපති කළේ ඒකයි. නමුත් සුළු පිරිසකට ඒ දේ රිස්සුවේ නෑ. අන්න ඒ නිසයි නිශ්ශංක සේනාධිපතිවත් විනාශ කරලා අපිවත් පාරට බැස්සුවේ. මේක අමුම අමු කුහක කමක් නෙමෙයි නම් වෙන මොකක්ද? අපේ රටේ ජනතාව විසින් දැනගත යුතු පරම සත්‍යය එයයි.

ඇමෙරිකාව වගේ  රටවල නම් සෙබළුන් යුද්ධයට ගිහින් ආවහම ඔවුන්ව මාස ගණනක් තිස්සේ සමාජගත කරලා physiological sessions තියනවා. මොකද යුද්දේ මානසික පීඩනය දරාගෙන ඇවිල්ල එකපාරට සමාජයට යනකොට එක හුරු වෙන්න කාලයක් යනවා. ඒ වගේ දේවල් කරන්න ඇමෙරිකාව වගේ දියුණු රටවල ක්‍රමවේද සකස් කරලා තිබුනට අපේ රටේ එවැනි ක්‍රමවේද කිසිවක් නෑ. තියෙන්නේ කොහේ හරි ගිහිල්ල සිකියුරිටි කොම්පැනියක වැඩ කරන එක විතරයි. අන්න ඒ දේ නැති කරන්න තමයි මේජර් නිශ්ශංක සේනාධිපති ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් එක හැදුවේ. මේ රටේ හිටපු හමුදා නිලධාරියෙක් පසුව දේශීය ව්‍යාපාරිකයෙක් හැටියට ඉදිරියට ඇවිත් ගොඩනගපු ලෝක පුජිත ව්‍යාපාරයකට අද කණ කොකා අඬල. අපිව පාරට වැටිලා.

දැන් අපිට රැකියා අහිමි වෙලා අපිට යන එන මං නෑ. මේ අය මෙතැනට අද ඇවිත් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. හෙට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. අපි අද අන්ත අසරණ වෙලා. අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න වැලයි. මේ දේ ඔබට වෙලා ඔබේ රැකියා අහිමි වුනොත් ඔබටත් ඇත වෙන්නේ අද අපිට ඇත වෙලා තියෙන මේ කණගාටුදායක ඉරණමම නෙමෙයිද? පොඩි එකා කිරි ටික ඉල්ලලා අඬනකොට, බැංකුවෙන් ලීසිං කොම්පැනිවලින් වාරික ගෙවල නෑ කියල දිගින් දිගට වද දෙනකොට, ලයිට් බිල වතුර බිල ගෙවාගන්න විදියක් නැතුව මොකක්ද අපිට අන්තිමට වෙන්නේ? බෙල්ලේ වැල දාගන්න නෙමෙයිද? කවුද මේවට වග කියන්නේ?

අද තවමත් අපේ අසරණ කම පටන් ගත්තා විතරයි. ඉදිරියේදී අපේ අසරණකම දෝරේ ගලාගෙන යන්න පටන් ගනීවි. ජාතියක් සැනසු අපිව මෙවන් අපා දුකකට ඇද දමන්නේ ඇයි. අපේ තරුණ විය ඔබ වෙනුවෙන් කැප කර ඔබට මේ රටේ නිදහසේ ඉන්න සිටින්නට අවස්ථාව සලසා දුන් අප වැනි විශ්‍රාමික රණවිරුවනට මෙවන් අපරාධ නොකරන්නැයි අප වෙනුවෙන් ඔබේ හිතේ යම් තෙතමනයක් ඇත්නම් යම් හඬක් නගන්න අපත් සමග එකතු වන්න. අද රැකියා අහිමිව මහමගට වැටුණු අප වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරදෙන ලෙස රජය වෙත ඉල්ලීම්  කරන්න.“

cxs

 

මුලාශ්‍ර – lankaenews