රනිල්ට ජනපතිකම අහිමි කළ 2005 ජනමත කොල්ලයේ අබිරහස

මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස තියුණු තරගයක නිරත වූ 2005 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ ජනමතය වෙනස් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයට
මුදල් ලබා දීමක් සිදු වූවාදැයි වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු එජාපයේ පසු පෙළ මන්ත‍්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

මෙම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ජය ගත්තේ බහුතර ඡන්ද 186,000 ක තරම් සුළු පරතරයකිනි. එල්ටීටීඊ සංවිධානය යාපනය, වන්නිය හා නැගෙනහිර පළාතේ ගෙන ගිය ඡන්ද වර්ජන ව්‍යාපාරය හේතුවෙන් ඡන්දදායකයන් තුන් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඡන්ද පොළට යෑමෙන් වැළකී සිටියහ. මෙම තත්ත්වය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය කෙරෙහි තීරණාත්මකව බලපෑ අතර යම් ලෙසකින් එම ජනතාවට නිදහසේ ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය ලැබුණේ නම් සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය වෙනස් වීමේ හැකියාවක් තිබිණි.

එල්ටීටීඊ සංවිධානය වෙත මුදල් ලබා දී මෙම ඡන්ද ප‍්‍රතිඵලය වෙනස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය කටයුතු කළ බව අභාවප‍්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රීපති සූරියආරච්චි මහතා 2007 ජූලි 21 වන දින පාර්ලිමේන්තුවේ දී මුල් වරට හෙළිදරව් කළේය. එහි දී ඔහු හෙළි කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ තමන් එල්ටීටීඊ සංවිධානයේ නියෝජිතයන් හමුවූ බවත් ජනාධිපතිවරණයට පෙර රුපියල් මිලියන 200 ක් හා ජනාධිපතිවරණයට පසුව වෙනත් විවිධ උපක‍්‍රම මඟින් බිලියන ගණනක මුදලක් ලබා දුන් බවත්ය. රාඩා නිවාස ව්‍යාපෘතිය ද එම ගනුදෙනුවේ දිගුවක් බව ද ඔහු විසින් එදා හෙළිකරන ලදී. (එම ප‍්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය Sripathy reveals money transactions with LTTE මැයෙන් යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත.)

පසුව මව්බිම පුවත්පත් ආයතනයේ හිමිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා තම නිවසට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව එම ස්ථානයේ සිටම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම ගනුදෙනුව සිදු වූ අයුරුත් ඊට සම්බන්ධ වූ පුද්ගලයන් ගැනත් හෙළිදරව් කිරීමක් කළේය. (එම ප‍්‍රකාශ ඇතුළත් වීඩියෝ පටය Mahinda Rajapaksa gave money to LTTE – Tiran – P1/ Mahinda Rajapaksa gave money to LTTE – Tiran – P2 මැයෙන් යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත.)

එහි දී මෙම ගනුදෙනුව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය නියෝජනය කරමින් සම්බන්ධ වූයේ එල්ටීටීඊ සංවිධානයේ වෙළෙඳ අංශයේ ප‍්‍රධානියකු වූ එමිල් කාන්තන් නමැත්තාය. මෙම එමිල් කාන්තන් හා ටිරාන් අලස් ව්‍යාපාරික සහකරුවන් ලෙස ද කටයුතු කර ඇත. 2002 වසරේ දී ඩයලොග් සමාගම උතුරු පළාතේ ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුවේ ද මේ දෙදෙනා විසිනි.

කෙසේ නමුත් මෙම ජනාධිපතිවරණ මුදල් ලබා දීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත්වූයේ ද රොස්මීඩ් පෙදෙස ටිරාන් අලස් මහතාගේ කාර්යාලය තුළදීය. ඊට බැසිල් රාජපක්ෂ මහතා, එමිල් කාන්තන් මහතා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා ටිරාන් අලස් මහතා සහභාගී වී තිබිණි. 2005 වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වූ සාකච්ඡාවලින් පසුව දෙපාර්ශ්වය අතර විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මිලියන 180ක මුදලක් හුවමාරු වී තිබේ. විශාල ගමන් මලූ කිහිපයක බහා ගෙනා අදාළ මුදල් ප‍්‍රමාණය බැසිල් රාජපක්ෂ මහතා එමිල් කාන්තන් මහතා වෙත තමන් ඉදිරියේම බාර දුන් බව ටිරාන් අලස් මහතා ප‍්‍රකාශ කළේය. එහෙත් පසුව විජේදාස රාජපක්ෂ මහතා හෙළි කළේ ජනාධිපතිවරණයට පෙර මිලියන 784ක මුදලක් මෙලෙස ලබා දී ඇති බවය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ලැබී තිබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදලින් අදාළ මුදල රුපියල් බවට මාරු කර මෙම ගෙවීම සිදු කරනු ලැබූ අතර එම මුදල් රැගෙන ආවේ එවකට ආණ්ඩුවේ හිටපු තවත් ප‍්‍රබල ඇමැතිවරයකු හා ව්‍යාපාරික ආයතනයක ප‍්‍රධානියකු විසිනි.

ඒ කෙසේ නමුත් පසුගිය දා ලන්ඩන් නුවර දී මෙරට රජයේ ප‍්‍රබල ඇමැතිවරු දෙදෙනකු හමුවූ එල්ටීටීඊ ඩයස්පෝරා නියෝජිතයන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පවසා ඇත්තේ එල්ටීටීඊ සංවිධානය මෙම මුදල් ලබා නොගත් බවය. එවකට එල්ටීටීඊ සංවිධානය දෙකඩ කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා කුමන්ත‍්‍රණ කිරීම නිසා ඔහුව පරාජය කිරීම සඳහා දේශපාලන තීන්දුවක් ගෙන තිබුණු බවත් ඡන්ද වර්ජනය සිදු කළේ ඒ වෙනුවෙන් බවත් ඔවුන් පෙන්වා දී ඇත. මෙම අනාවරණය හේතුවෙන් මෙම මුදල් ලබා ගත්තේ කවුරුන් විසින්ද යන ගැටලූව මතුව ඇත.

ඒ අනුව මෙම මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න ගැන සොයා බැලීමේ දී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාව රවී කරුණානායක මහතා පෙන්වා දී ඇති අතර ඊට අදාළ සාක්ෂි ගණනාවක් ද තමන් සතුව ඇති බවත් ඔහු පවසා ඇත.

මේ අතර මෙම මුදල් ගනුදෙනුවට සම්බන්ධ වූ ව්‍යාපාරික ආයතන ප‍්‍රධානියා ද මේ වන විට ඩුබායි හි සිටින එමිල් කාන්තන් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ නම් එම මුදල් අවසන් වශයෙන් ගියේ කා අතටද යන්න හෙළිදරව් කිරීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ.

එමෙන්ම මෙම මුදල් ගනුදෙනුවට දැක්වූ සහයෝගය මත, එක් හවුල්කරුවකුට විදේශ ඔත්තු සේවාවකින් විශාල මූල්‍යමය ආධාරයක් ද හිමිව තිබූ අතර එම මුදල් මාධ්‍ය ආයතනයකට ආයෝජනය කර තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පරීක්ෂණයක් පැවැත්වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් දැන ගැනීමට ලැබුණි.

xzs

– සුභාෂ් ජයවර්ධන