ලන්ඩනය කැළඹූ ඩයනාගේ ලේලිය…

‘එංගලන්තයේ රෝස කුසුම’ ලෙස කවුරුත් දන්නා ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව එවැනි ‘ඉස්තරම්’ කුමරියක් හමුවනතුරු දශක දෙකකට ආසන්න කාලයක් බලා සිටි බ්‍රිතාන්‍ය මාධ්‍යයට දැන් සිත් කුල්මත් කරවන රුවක් ඇති කුමරියක් ගැන කතා මල්ලක් ලැබී ඇත. ඒ අන් කිසිවකු හෝ නොව ඩයනා කුමරියගේ සුන්දර ලේලිය කිටී ස්පෙන්සර් ආර්යාව ගැනය. ඕ ඩයනා කුමරියගේ ලේලිය වන්නේ ඇගේ පියා චාල්ස් ස්පෙන්සර් ඩයනාගේ බාල සොයුරා වන නිසාය.

ලබන දෙසැම්බරයේ 28 වැනිදාට 24 වැනි වියට පා තබන සුරූපි කිටී ආර්යාව ඩයනා කුමරිය මෙන්ම ඉතා රසවත් කතා ගොන්නක හිමිකාරිනියකි. එහි අලුත්ම කතාව වන්නේ සුප්‍රකට ‘ටැට්ලර්‘ සඟරාවේ දෙසැම්බර් කලාපයේ කවරයේ ඡායාරූපයට පෙනී සිටිමින් ඇය මෑතකදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවය. කිටී ස්පෙන්සර් ආර්යාව ටැට්ලර් ඡායාරූප පළහිලව්ව නිසා සිය පියා සමග ආරවුලක් ද ඇතිකර ගත්තාය. ඒ කෙසේවෙතත් ඇය ස්වෝත්සාහයෙන්ම ජනප්‍රිය වීමට වෙර දරන බවක් පෙනෙන්නට ඇතැයි කවුරුත් කියති.

විලියම් හා හැරී කුමරුවන්ගේ මේ සුන්දර ඥාතී සොයුරිය මාධ්‍ය අතර හොලිවුඩ් නිලියක මෙන් ජනප්‍රියත්වයට පත්වීම ගැන ඇගේ පියා චාල්ස් ස්පෙන්සර් නම් පසුවන්නේ නොසතුටිනි. ඔහුගේ ආදරණීය සොයුරිය ඩයනා කුමරියට අවසානයේ දී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ මේ අසීමිත ජනප්‍රියත්වය නිසා බැව් ඔහුට අමතක නැත. සිය දියණියටත් එවැනිම ඉරණමකට ගොදුරුවීමට සිදුවනු ඇතැයි ඔහු අනියත බියකින් පසුවන්නේය. ඊටත් මහ බ්‍රිතාන්‍යයේ 9 වැනි අර්ල්වරයා ලෙසින් සිය ගෞරවාභිමානයට පවුලේ ‘ලොකු දෝණි’ ගේ මේ අකීකරු හැසිරීම කිසිසේත්ම ගැලපෙන්නේ නැති බව ඔහු කියයි.

කිටී ආර්යාව හා හා පුරා කියා කාගෙත් අවධානයට දිනාගත්තේ විලියම් කුමරු සහ කේට් කුමරියගේ විවාහ මංගලෝත්සවය දිනයේදීය. එදින ඇය පැමිණ සිටියේ ඇගේ බාල නිවුන් සොයුරියන් වන අමේලියා සහ එලිසා සමගය. කිටී ආර්යාවගේ දුටුවන් මන් මත් කරවන රූ සපුවත්, වැඩිපුර පිටට නොපෙන්වන මඳ සිනහවත් කෙනකුට බලා සිටින්නට ආසා හිතෙන දසුනක් බවට පත්වූයේ එදායින් පසුවය.

‘ටැට්ලර්’ සඟරාවේ කවරයේ ඡායාරූපයට අමතරව කිටී ආර්යාවගේ සිත් ඇදගන්නා සුලු ඡායාරූප මාලාවක්ම සඟරාවේ ඇතුළත තිබේ. ඒවා ඉතා සරාගී පෙනුමැති ඡායාරූප බැව් බැලූ බැල්මටම පෙනේ. මේ පළහිලව්වෙන් කෝපයට පත්වී සිටින්නේ කිටී ආර්යාවගේ පියා පමණක් නොවේය. ඇගේ බාල සොයුරියක වන අමේලියා ද කේන්ති ගත්තාය. ඡායාරූප සඳහා ටැට්ලර් සඟරාවේ උදවිය සිය සොයුරියට ඇඳුම් සකස්කොට ඇත්තේ වුවමනාවෙන්ම නිතඹ සහ ළපැත්ත හොඳින් කැපී පෙනෙන ආකාරයට බවත්, ඒවා කිසි කමකට නැති ඇඳුම් නිර්මාණ බවත් කියමින් ඇය සඟරාවේ කාර්ය මණ්ඩලය දැඩි ලෙස විවේචනය කළාය.

එහෙත් කිටී කුමරිය නම් ඒවා ගැන සිතන්නේ නැති තරම්ය. ඩයනා කුමරිය මෙන්ම ලැබෙන සෑම අවස්ථාවක දීම ලොව පුරා විනෝද සවාරියේ යන ඇය ඒ ඇතැම් සංචාරවල දී අඳින පළඳින ඇඳුම් නිර්මාණ ඊටත් එහාය. පසුගිය මාස 7ට ලොව පුරා සංචාර 7ක නිරතවූවාය. ඒ ඇතැම් සංචාරවල දී ඇය හැඳ සිටි ඇඳුම් රාජකීයත්වයට කිසිසේත්ම නොගැලපෙන අඩ නිරුවත් ඒවාය.

එංගලන්තයේ රාජකීය පවුලට නොහොබිනා ක්‍රියාකාරකම් ලෙස ඇතැමුන්ගේ ගැරහුමට ලක්වූවත් කිටී ආර්යාව ඒවා කණකට ගන්නේ නැත. ලන්ඩන් නුවර ඇගේ පා නොතැබුණු රාත්‍රී සමාජශාලාවක් නැති තරම්ය. සිය සමීපතම මිතුර මිතුරියන් වට කරගෙන ලන්ඩනයේ රාත්‍රී ජීවන රටාව සිත් සේ විඳ ගන්නා ඇය රත්ලන්ඩ් හී ආදිපාදවරයාගේ 22 හැවිරිදි දියණිය වයලට් ආර්යාවත් ඊට එකතු කරගනී. මේ දෙදෙනාත් වයලට් ආර්යාවගේ බාල සොයුරිය ඇලිසුත් ලන්ඩනයේ මේෆෙයාර් හී ලෝලොස් වැනි බාර්වලත්, යුරෝපය පුරා නොම්මර එකේ රාත්‍රී ප්‍රියසම්භාෂණවලත් නිතර දකින දසුනක් බවට පත්වී ඇත.

බ්‍රිතාන්‍ය රාජකීයත්වයට අභියෝග කරන කිටීගේ මේ ක්‍රියා කලාපයත්, අසීමිතව මාධ්‍ය අවධානය දිනා සිටීමත් හැම අතින්ම ඩයනා කුමරියට සමාන බවට කවුරුත් කියද්දී කිටී ආර්යාව ඉන් දැඩි සතුටක් ලබන බව ඇගේ මිතුරියන් කියති.

කිටී තමයි දැන් ලන්ඩනයේ වඩාත්ම කැපී පෙනෙන කාන්තාව. ඇය ඉතා උණුසුම් විනෝදකාමී චරිතයක්.‘ ඇගේ මිතුරියන් එසේ කියති.

අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි රැසකම වැඩිම අවධානයට ලක්වූ රජ කුමරිය බවට දැන් පත්වී සිටින්නේ ද කිටී ආර්යාවය. ඇගේ ‘ඉන්ටග්‍රෑම්’ වෙබ් පිටුවේ නිත්‍ය අනුගාමිකයන් පිරිස දැන් දසදහසකට වැඩිය. ප්‍රියසම්භාෂණයකට සහභාගිවීමෙන් පසුව සිය කොණ්ඩා මෝස්තරකරුට, ඇඳුම් නිර්මාණයට කළ පුද්ගලයාට, රූපලාවන්‍ය ශිල්පියාට සහ සම්භාෂණයට ආරාධනා කළ අයට ස්තූතිය පළ කිරීම ඇය දෛනිකව කරනු ලබන්නකි. එවැනි පුරුදු ඩයනා කුමරියටත් තිබූ බැව් පැවසේ.

‘හැමෝම මාව ඩයනා නැන්දාට සමාන කරද්දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම ආඩම්බරයක්. ’ ඇය එසේ කියන්නීය.

ඩයනා කුමරිය මිය යනවිට කිටීට යාන්තම් අවුරුදු 6කි.

‘අවාසනාවකට වගේ මට ඩයනා නැන්දා ගැන තියෙන්නේ ඉතා කුඩා මතකයක් විතරයි. මොකද එයා අපිව දාලා යද්දී මම ගොඩක් පොඩි කෙල්ලෙක් නිසා.’

ඩයනා කුමරියගේ බාල සොයුරු චාල්ස් විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපන ශිල්පිනියක වූ වික්ටෝරියා ලොක්වුඩ් සමගිනි. කිටී උපන්නේ ඩොලර් මිලියන 154ක වත්කමක් සහිත ස්පෙන්සර් පවුලේ වැඩිමලා ලෙසිනි. ස්පෙන්සර් පවුල 1995 දී එංගලන්තයේ පදිංචිව හැරදමා දකුණු අප්‍රිකාවට යද්දී කිටීට අවුරුදු 5කි. දකුණු අප්‍රිකාවේ ඔවුන් පදිංචි වූයේ අක්කර ගණනාවක වතුයායක් මැද ජීවන රටාවට එහෙම පිටින්ම වෙනස් පසුබිමක් සහිත කේප් ටවුන් හී ජනාකීර්ණ පළාතකය.

ඩයනා කුමරිය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ ඊට වසර දෙකකට පසුවය. ස්පෙන්සර් පවුලේ කරදර ආරම්භ වූයේ එලෙසිනි. කිටී සහ ඇගේ බාල සොයුරියන් ද, සොයුරා ද දැඩි මානසික පීඩාවකට ඇද දමමින් ඊට වසරකට පසුව ඔවුන්ගේ මාපියන් දික්කසාද වූහ. එය එංගලන්තයෙත්, දකුණු අප්‍රිකාවෙත් මාධ්‍ය අතර වැඩි ප්‍රසිද්ධියක් ලැබුණු දික්කසාදයකි. සල්ලාල ජීවන රටාවකට යොමුවූ කිටීගේ පියාත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් මානසික රෝගියකුවී සිටි ඇගේ මවත් දික්කසාද වීමෙන් කුඩා වියේ පසුවූ කිටි ඇතුළු දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වූහ.

‘පොඩි වුණාට ඇත්තටම අම්මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා කියලා මම දැනහිටියා. ඒත් වාසනාවකට ඉතා උනන්දුවෙන් අපි වෙනුවෙන්ම උපදේශන සේවා පිහිටෙන් ඇය කාලයක් යද්දී යථා තත්ත්වයට පත්වුණා. අම්මා ඇත්තටම අපේ අධ්‍යාපනය වෙනුවෙන් සෑහෙන්න කැපවුණා. අපිට කවදාවත් ගෙදර කැරැලි ගහන්න ඕන වුණේ නෑ. මොකද අම්මා අවංකවම අපේ හැමදේටම ඉදිරිපත්වුණු නිසා. අපිට ඕනම දෙයක් අම්ම එක්ක කියන්න පුළුවන් තත්ත්වයකුයි තිබුණේ. ඒක කොච්චර එකක්ද..කවුරු මං ගැන මොනව කිව්වත් ඇත්තම කියනවානම් අම්මා නිසාම මම කවදාවත් දුම්වැටියක්වත් අල්ලලා නෑ.’

දික්කසාදයෙන් පසුව කිටීගේ පියා හිටපු ගුරුවරියක වූ කැරොලින් ෆ්‍රොඩ් සමග විවාහ විය. වැඩි ආයුෂ නොතිබූ ඒ විවාහය 2010 වසරේ කෙළවර වෙද්දී ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටි අතර ඊළඟ වසරේ කැනඩා ජාතික කැරන් ගෝර්ඩ්න් සමග තුන්වැනි වරටත් විවාහ වූ කිටීගේ පියාට ඒ විවාහයෙන් තවත් දියණියකි. ඒ අතරතුර කිටීගේ මව වික්ටෝරියා ජොනතන් එයිට්කන් නමැති පුද්ගලයකු සමග පෙමින් වෙලී සිටියාය. 2003 දී ඇය පුතකු ලැබුවාය. කුඩා සැමුවෙල්ට අවුරුදු 2ක් ගතවෙද්දී වික්ටෝරියා සහ ජොනතන් විවාහ දිවියට ඇතුළත් වූහ. එහෙත් ඒ විවාහය 2009 දී බිඳ වැටිණි. ඉන් පසුව කිටී සහ ඇගේ සොයුරු සොයුරියන් මව සමග කේප්ටවුන් නුවර ජීවිතය ගෙවන්නට වූහ. කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය, දේශපාලනය සහ මනෝවිද්‍යාව හැදෑරූ කිටී කුමරිය ඊට දෙවසරකට පසුව නැවත එංගලන්තයේ පදිංචියට ආවාට පසුව ලන්ඩන් නුවර රිජන්ට් විදුහලේ දී ව්‍යාපාර කළමනාකරණය සඳහා ගෞරව උපාධියක් ලැබුවාය.

කෙළිලොල් ජීවන රටාවකට හුරුවී සිටින මේ සුරූපී කුමරියට තරුණයන්ගේ පෙම් ඇරියුම්වල නිමාවක් නම් පෙනෙන්නට නොමැත. රාජකීය පවුලේ කිට්ටුම ඥාතීන් ලෙස ගරු ගාම්භීරත්වයෙන් යුතුව ජීවත්වීම වෙනුවට කිටී ආර්යාව තෝරාගත් ජීවන රටාව ඇගේ ජනප්‍රියත්වය වැඩි කරවූ එකකි. එමෙන්ම නිදහසේ ප්‍රේමයේ පහස භුක්ති විඳීමේ වාසනාවත් ඇයට හිමිවී තිබේ. නැවත ලන්ඩනයේ පදිංචියට පැමිණියාට පසුව ඇය සමර්සෙට් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩක 31 හැවිරිදි නික් කොම්ප්ටන් හා පෙමින් බැඳුනාය. එහෙත් ඊට වැඩි ආයුෂ තිබුණේ නැත. අනතුරුව ඕ ඇගේ පියා පදිංචිව සිටින බටහිර ලන්ඩනයේ සුපිරි මන්දිරය ඉදිරිපස ඇයටම කියා මහල් නිවසක කොටසක් මිල දී ගෙන තනිව එහි පදිංචි වූවාය. ඊළඟට ඉතාලි ජාතික ධනවත් දේපළ ව්‍යාපාරිකයකු වූ 44 හැවිරිදි නිකෝලෝ බැරැටයිරි සමග පෙම් සම්බන්ධයක් ගොඩනගා ගත් කිටී ආර්යාව වසරකට පසුව ඒ පෙම් පළහිලව්වට නැවතීමේ තිත තැබුවාය.

මීට සති කිහිපයකට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිවාඩුවක් ගත කරමින් සිටියේ එරට කාලගුණ විශේෂඥයකු වූ 35 හැවිරිදි ජේම්ස් ටොබින් සමගය. දෙදෙනා උමතුවෙන් මෙන් එකිනෙකාට ආදරය කරන බවක් ඒ දිනවල ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළත් දැන් ඒ සම්බන්ධයත් නැති බව කිටී ඊයේ පෙරේදා ‘ටැට්ලර්’ සඟරාවට කීවාය.

‘මට හිටියේ පෙම්වතුන් දෙන්නෙක් විතරයි.’

කිටී කුමරියගේ මාපියන් දික්කසාදයෙන් පසුව යළි යළිත් විවාහවූවත් සිදුවී ඇත්තේ ඔවුන්ගේ පවුල ‘ලොකු’ පවුලක් වීමත් ඊට අලුත් සාමාජික සාමාජිකයන් එක්වීමත් පමණි. පසුගිය ජූලි මාසයේ ස්පෙන්සර් පවුලේ ප්‍රියසම්භාෂණයක් පැවැත්විණි.

‘තාත්තගේ දෙවැනි කසාදේ ළමයි හරි අම්මගේ දෙවැනි කසාදේ ළමයි හරි කියලා අපි කා ගැනවත් හිතන්නේ නෑ. අපි හැමෝම කවදත් එක පවුලේ සහෝදර සහෝදරියෝ..එච්චරයි..’ කිටී එසේ කීවාය. හෙට අනිද්දා එළැඹෙන නත්තල සැමරීමට ඇය සැලසුම් කොට ඇත්තේ කේප්ටවුන් නුවර තවමත් පදිංචිවී සිටින ඇගේ මව සහ නිවුන් සොයුරියන් සමගය.

‘හොඳ මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි. හිත දෙන්න කාව හරි හොයාගන්නවා කියන එක ඊටත් වඩා අමාරුයි.’ ඇය කියන්නේ පෙම්වතුන් ගැනය.

එහෙත් නත්තලට පෙර ඇය නැවත පෙම්වතියක වනු ඇතැයි කිටී ආර්යාවගේ සමීප මිතුරියන් කියති.

‘ඩයනාගේ ලේලිට මොන අඩුවක් ද…?’ කතාව ඇත්තය.

london-01 london-02 london-03 london-04 london-05 london-06 london-07 cde

සටහන ෆවුස් මොහොමඩ්