ඇමති දුමින්ද ගැන ඔබ නොදත් දේ

අපේ පවුලේ පිරිමි දරුවොම හතර දෙනෙක්. දුමින්ද තමයි පළමුවැනියා. දැන් මුළු රටම පුතාව දන්නෙ දුමින්ද කියලා වුණාට අපිට නම් පුංචි කාලෙ ඉඳලම එයා දුමී. එක් දහස් නවසිය හැත්තෑ නවයේ මාර්තු විසිහත් වැනිදා අනුරාධපුර ඉස්පිරිතාලෙදි පුතා උපන්නේ. ඉපදෙනකොට සුදුම සුදු පාටයි. මගේ පාර්ශ්වයෙන් පුතා තමයි පවුලේ පළමුවැනි දරුවා. ඒ වෙනකොට බර්ටිගෙ නංගි කෙනෙක් විවාහ වෙලා එයාට දුවෙක් හිටියා. එහෙම බැලුවාම බර්ටිගෙ පැත්තෙනුත් පළමුවැනි පුතා. ඒ නිසා මගේ පවුලේ අයගෙනුත් බර්ටිගෙ පවුලේ අයගෙනුත් දුමීට ලොකු ආදරයක් ලැබුණා.

පුංචි කාලෙ පුතා හරිම කීකරු දරුවෙක්. පුංචි පුංචි දඟ වැඩ කරන වෙලාවලුත් තිබුණා. හැබැයි කවදාවත් කරදරයක් වෙන තරමේ දඟ වැඩ නම් කරලා නැහැ. අනුරාධපුර හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ පෙර පාසලට තමයි පුතා ගියේ. පළමුවැනි දවසෙ නම් ඇඬුවා. ඊට පස්සෙත් මොන්ටිසෝරියෙ නවත්තලා එන්න බැරිව අඬපු දවස් තිබුණා. බර්ටිගෙ නංගිගෙ දුව ගියෙත් හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට. දුමී ඒ දුවත් එක්ක හරි යාළුයි. අපේ ගෙදර ඉඳලා නංගිලාගෙ ගෙදරට යන්න කලින් මොන්ටිසෝරිය හමු වෙනවා. ඒත් පුතා කවදාවත් මුලින් මොන්ටිසෝරියට යන්නෙ නැහැ. වටේ පාරෙන් නංගිලගෙ ගෙදරට ගිහින් අක්කා මොන්ටිසෝරියට ගිහින් නම් තමයි මෙයා යන්නේ. අක්ක ගිහින් නැත්නම් පුතත් අඬලා හරි නවතිනවා. මොන්ටිසෝරියේදිත් පුතාට අක්කාව ඕනි. දෙන්නා හිටියේ පන්ති දෙකක. පුතා නිතරම පොත් බෑග් එකත් අරගෙන අක්කගෙ ළඟට දුවනවා කියල ගුරුවරියන් මාත් එක්ක කියන්නෙ හිනා වෙවී.

ඔය කාලෙ වෙනකොට මම ගණිත ගුරුවරියක් විදියට හතරැස්වල විද්‍යාලයෙ සේවය කළේ. මාස කිහිපයක් මම පුතාව හතරැස්වල විද්‍යාලයටත් එක්කරගෙන ගියා. එතැන යම් විශේෂත්වයක් තියෙනවා. දුමීගෙ තාත්තා මගේ මහත්තයා බර්ටි ඉගෙනගෙන තියෙන්නෙත් හතරැස්වල විද්‍යාලයේ. ඒ විතරක් නොවෙයි හතරැස්වල විද්‍යාලයෙ පළමුවැනි ශිෂ්‍යයත් බර්ටි. හතරැස්වල විහාරස්ථානය මුල් වෙලා එහි විහාරාධිපති හාමුදුරුවො තමයි ඉස්කෝලෙ ආරම්භ කරල තියෙන්නෙ. ඒකට ඇතුළත් කරල තියෙන පළමුවැනි ශිෂ්‍යයා තමයි බර්ටි.

හතරැස්වල විද්‍යාලයට මාස කිහිපයක් ගිහින් පළමුවැනි වසරට අපි පුතාව ඇතුළු කළේ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට. වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට තිබුණේ අපේ නිවෙසේ ඉඳන් පයින් යන තරමේ දුරක්. මමත් ඉස්කෝලෙ යන නිසා ගොඩක් වෙලාවට පුතාව ඉස්කෝලෙ එක්කරගෙන ගියෙ මගෙ අම්මා. දුමීගෙ ආච්චි අම්මා. අම්මා පුතා ඉස්කෝලෙට එක්කරගෙන ගියාම පුතා කරන්නෙ ඉස්කෝලෙ කොට තාප්පයට අත් දෙක තියාගෙන ආච්චි අම්මට කතා කරන එක. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මාව එක්කරගෙන යන්න ඔයා එනව නේද?…. ඔයා එනව නේද?…. ඔයා එනව නේද?… කිය කිය අහනවා. එතකොට ආච්චි අම්මා ඔව් පුතේ මම එනවා කියලා පුතාගෙ හිත හදලා සනසලා තමයි එන්නෙ. ඊට පස්සෙ අන්තිම පීරියඩ් එකේ පුතා කරන්නෙ කොට තාප්පෙ ළඟට ඇවිත් එහා පැත්තෙ තියෙන ගහ යට දිහා බලන එක. අම්මා ගිහින් පුතාට ඉස්කෝලෙ ඇරෙනකම් නැවතිලා ඉන්නෙ එතැන. ඉස්කෝලෙ ඇරෙන්න ළංවෙනකොට පුතාගෙ හිත තියෙන්නෙ පන්තියෙ නෙවෙයි. එයාව එක්කරගෙන යන්න ආච්චි අම්මා ඇවිත්ද කියලා.

පුතා ආච්චි අම්මට හරි ආදරෙයි. ඒ ආදරේ මගේ අම්මා මිය යන තෙක්ම පුතාලගෙ හිතේ තිබුණා. දුමීයි එයාගෙ මල්ලිලයි ලොකු මහත් වුණාට පස්සෙත් ආච්චි අම්මා ළඟදි එයාලා පොඩි දරුවෝ වගෙයි. මගේ අම්මා සාමාන්‍යයෙන් ලිප්ස්ටික් කියුටෙක්ස් වගේ දේවල් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. පුතාල කරන්නේ ආච්චි අම්මව අල්ලගෙන ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාන එක. එතකොට මට කියනවා බලන්න මේ දරුවෝ කරන දේ කියලා. ඒක අම්මා කවදාවත් කරදරයක් විදියට සැලකුවේ නැහැ. ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා ඉවරවෙලා දුමී මගෙ ළඟට දුවගෙන ඇවිත් කියනවා බලන්න අම්මෙ අපි ආච්චි අම්මව තරුණ කළා කියලා. අම්මා මිය ගිය දවසට කලින් අන්තිම දවස් කිහිපයේ ඇඳට වෙලාම තමයි හිටියේ. ඒ දවස්වල දුමී පාර්ලිමේන්තු දවස්වලට පාර්ලිමේන්තුවට යන්න කලින් ආච්චිගෙ ඇඳට වෙලා ටික වෙලාවක් ආච්චි අම්මව තුරුලු කරගෙන ඉඳල තමයි යන්නේ.
දුමී මල්ලිලත් එක්ක ආච්චි අම්මා නාවලත් තියෙනවා. මගේ අම්මා සාමාන්‍යයෙන් රත්තරන් බඩුවලට ආස කෙනෙක් නෙවෙයි. එයාට තිබුණු රත්තරන් බඩුවලටවත් එයා එච්චර කැමැති වුණේ නැහැ. පුතා පාර්ලිමේන්තු ගියාට පස්සෙ ආච්චි අම්මගෙන් ඇහුවා මොනවද ඕන කියලා. රත්තරන් බඩුවලට ආස නැති අම්මා කිව්වා මට මුද්දක් ඕනි කියලා. දුමී එයාගෙ පළමුවැනි පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුපෙන් ආච්චි අම්මට මුද්දක් ගෙනත් දුන්නා.

වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වුණාට පස්සෙ අපි දුමීව ඇතුළත් කළේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට. ඒ වෙනකොට අනෙක් පුතාල තුන් දෙනත් අපේ පවුලට එකතු වෙලා. මේ හතර දෙනාගෙ පුංචි පුංචි රණ්ඩු තිබුණත් කවදාවත් තරහවෙන තරමට රණ්ඩුවෙලා නැහැ. පුංචි කාලෙ ඉඳලම හතර දෙනාම හරිම එකමුතුයි. තාත්තා පුතාලට පුදුම ආදරයක් තිබුණේ. දේශපාලන කටයුතු නිසා මහත්තයට පුතාලා එක්ක ගොඩක් ලොකු කාලයක් නම් ගත කරන්න බැරි වුණා. ඒත් දරුවො එක්ක ඉන්න වෙලාවට මහත්තයත් පුංචි දරුවෙක් වගෙයි. පුතාලත් එක්ක සෙල්ලම් කරනවා. කරේ තියාගෙන යනවා. ඔය දේවල් හින්දා පුතාල තාත්තට වැඩිය බය නැහැ. මට නම් බයයි. මොකද හතරදෙනා එක්ක දඟ වැඩ කරද්දි මගෙන් තමයි ගුටි කන්නේ. දුමීට දවසක් මම පැපොල් බටේකින් ගහලා සීරුණා. ඊට පස්සෙ කාලෙකත් පුතා මට ඒ සීරුම් කැළල පෙන්නලා හිනා වුණා අම්මට මතකද මට ගහපු හැටි කියලා. හතර දෙනත් එක්කම දඟ වැඩක් කළහම මම පස්සෙන් දුවද්දි එක්කෙනෙක් තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ. අනෙක් තුන් දෙනා මට අල්ලගන්න බැරි වෙනවා. අහුවුණු කෙනා මගෙන් ගුටියක් කෑවහම අනිත් තුන් දෙනා හරි දුකයි. එතකොට කරපු වැඩ ඔක්කොම නවත්තලා ගුටි කාපු කෙනා ළඟට වෙලා ඔයාට රිදුනද අහනවා. කොතනටද වැදුණේ අහනවා. අතගානවා. රණ්ඩුවක් වෙවී හිටියත් ඒවා අමතකයි එතකොට.

මමයි මහත්තයයි පුංචි කාලෙ ඉඳලම පුතාලව වේදිකා නාට්‍ය බලන්න එක්කරගෙන ගියා. මුලින්ම ගියෙ අනුරාධපුරේ. එක්දහස් නවසිය අනූ පහේදි අපි කොළඹට ආවා. මාදිවෙල මන්ත්‍රි නිවාසවල තමයි මුලින්ම හිටියේ. ඊට පස්සෙ පුතාල ගියේ කොළඹ රෝයල් කොලේජ් එකට. දුමිත් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළ කරන්න රෝයල් එකට ආවා. හැබැයි ටිකක් අකමැත්තෙන් තමයි අනුරාධපුරේ ඉස්කෝලෙ යාළුවො දාලා කොළඹ ආවේ. කොහොම වුණත් උසස් පෙළ පන්තියෙ ඉද්දි පුතාට ඕස්ට්‍රේලියාවට යන්න වුණා එහෙ විශ්වවිද්‍යාලයකට. පුතාට ඕස්ට්‍රේලියාවෙ වැඩි කාලයක් ඉන්න ලැබුණෙ නැහැ. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක් ඇවිත් ඒකට ඉදිරිපත් කරන්න අපේ පවුලෙන්ම කෙනෙක් ඉල්ලපු හින්දා. මහත්තයා එතකොට මහ ඇමැති. අපි පුතාව ලංකාවට ගෙන්නගෙන මහ මැතිවරණයට ඉදිරිපත් කළා. පළමුවැනි පාරම පුතා පාර්ලිමේන්තුවට තේරුණා. ඒ අතර කාලයේදි පුතා එයාට සම්පූර්ණ කර ගන්න බැරි වුණු උසස් පෙළ විභාගයත් කරලා හොඳින් සමත් වුණා. මම කලින් කියපු බර්ටිගෙ නංගිගෙ දරුවො තුන්දෙනත් අපේ පවුලේම දරුවො වගෙ තමයි. නංගිගෙ මහත්තයා මිය ගියාට පස්සෙ ඒ දරුවො හැදුණෙත් අපේ දරුවො එක්ක. අපේ දරුවෝ හතර දෙනයි ඒ දරුවො තුන් දෙනයි ඇත්තටම අපේ පවුලේ දරුවො හත් දෙනෙක් විදියටයි අපි සලකන්නෙ. දුමී මොන්ටිසෝරි ගිය අක්කගෙ මඟුල් උත්සවය ගත්තෙත් අපේ ගෙදර. එදා නංගිගෙ දුව ගෙයින් පිටවෙන මොහොතෙ දුමීව බදාගෙන ඇඬුවා. ඒ වෙලාවෙ දුමිත් හයියෙන් කෑගහල ඇඬුවා. මේ දෙන්නගෙ ඇඬුම දැකලා උත්සවයට ඇවිත් හිටපු හැමෝටම ඇඬුනා.
එල්ටීටීඊ ත්‍රස්තවාදය උත්සන්නම කාලෙ පදවියෙ ගිහින් නැවැතුණු දවස් ගැන තාම මට මතකයි. කොටි ගහනකොට ඊට ආසන්න ගම්වල මිනිස්සු ගම්පිටින් අතඇරල එන්න ගත්තා. අතට අහු වුණු දෙයක් අරගෙන ඔවුන් අත් ට්‍රැක්ටර්, බයිසිකල්වලින් එහෙම එන්න ගත්තෙ. ඔවුන් ගම් අතහැරලා ආවා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙලාවෙ බර්ටි, මාවයි දුමීවයි අරගෙන පදවියට ගියා. එහෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ තමයි අපි නැවැතුණේ. අපිත් ආව නිසා මිනිසුන්ගෙ බය අඩුවෙලා ගම් අතඇරලා එන එක නැවැතුණා.

දුමීගෙ දේශපාලනය ගැන තාත්තා ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. පුංචි වයසකින් පාර්ලිමේන්තුවට ඇවිත් පුතා යන දේශපාලන ගමන ගැන බර්ටි නිතරම මට කිව්වා. පුතා ඉස්සෙල්ලම දේශපාලන වේදිකාවක කතාවක් කළෙත් පුංචි වයසකදි. මෙන්න මේ දේවල් කියන්න කියලා බර්ටිවත් මමවත් පුතාට කිසි දෙයක් කියල දුන්නෙ නැහැ. ඇත්තටම මෙයා මොනවා කියයිද කියලා අපි හරි බයෙන් හිටියේ. ඒත් දුමී එදා අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කතාවක් කළා. රැස්වීමට ඇවිත් හිටිය මිනිස්සුත් කිව්වා දුමීගෙ වයසත් එක්ක බලද්දි එයා කරපු කතාව හරි ඉහළයි කියලා. කොහොම වුණත් බර්ටි අපි හැමෝම දාල ගියෙ අපි නොහිතපු විදියට. තාත්තගෙ මරණය දුමීටත් අපි හැමෝටමත් තදබල ලෙස බලපෑවා. ඒ වෙලාවෙ මුළු පවුලෙම වගකීම කරට ගත්තෙ දුමී. මට අදටත් දුකක් තියෙනවා දුමීට එයාගෙ යොවුන් කාලය නැති වුණු එක ගැන. ඒ කාලෙම දේශපාලනයට ඇවිත් පුතාට යොවුන් කාලය නැති වුණා.

2014 අවුරුද්දෙ දුමීගෙ තුන්වැනි මල්ලිගෙ බිරියට දරුවා ලැබිල මම එහෙ හිටියේ. දවසක් දුමී මට කතා කරලා කිව්වා මම හවස ඔහේ එනවා මල්ලිලත් ගෙන්න ගන්න කියලා. පුතා රෑ වෙලා එහෙ ආවා. මාවයි මල්ලිලවයි වටකරගෙන කිව්වා ‘අම්මා මම ආණ්ඩුවෙන් එළියට බහිනවා. මෛත්‍රි මහත්තය එක්ක එළියට බහින්නේ. එතුමා තමයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කියලා. මේ තීරණයෙන් පස්සෙ මොනදේකට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නෑ. ඕන දේකට ලෑස්ති වෙන්න මට කරදරයක් වුණොත් අක්කිව බලාගන්න කියලත් කිව්වා. දුමී අක්කි කියලා කියන්නෙ එයාගෙ දුවට. අපි හැමෝම පුතාට කිව්වා ඔයා බය නැතිව ඔය තීරණය ගන්න. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නව කියලා. බැරිවෙලා හරි මෛත්‍රි මහත්තය පරාද වුණා නම් මගෙ පුතා ඇතුළු එතුමත් එක්ක එළියට බැහැපු අයට අද වෙනකොට මොනවා වෙලා තියෙයිද කියලා මට හිතාගන්නත් බැහැ.

අද පුතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්.
එයාගෙ වයසත් එක්ක දේශපාලනයෙ ලොකු දුරක් ඇවිත් තියෙනවා. අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නම් නැහැ. පුතා එයාට පැවැරෙන වගකීම් නිවැරැදිව හොඳින් කරයි කියන බලාපොරොත්තුව තමයි මට තියෙන්නෙ.

123

(මව්බිම)