තාජුඩීන් ඝාතනය කළ අයුරු හෙළි වෙයි

අමානෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් රිය අනතුර සිදු වන අවස්ථාවේදී වාහනය පදවා නොමැති බවත්, ඔහුට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර වම් මගී අසුනේ තබා අනතුර වීමට සලස්වා තිබෙන බවත්, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (03දා) ලිඛිතව දැනුම් දුන්නේය.

අධිකරණ නියෝගය පරිදි මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය ගොඩ ගැනීමෙන් පසු සිදු කළ විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයේ අවසන් වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා එලෙස දන්වා සිටියේය.

තාජුඩීන්ගේ මරණයට හේතුව ඔහුගේ කකුල්වලට, බෙල්ලට හා පපුවට බහුවිධ තුවාල වීමෙන් සිදුවී ඇති ප්‍රතිවිපාක හා ඉන්පසු ගින්නේ ප්‍රතිවිපාක බව තමා ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ මතය බව දන්වා සිටි අජිත් තෙන්නකෝන් මහතා, ඒ අනුව ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාල පරාසයේදී සිදුවී ඇති බව මතයක් පළ කළ හැකි යැයිද සඳහන් කළේය.

තාජුඩීන්ගේ මරණයට හේතුව හා අදාළ කරුණු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ සහ මතයන් සහිත සම්පූර්ණ වාර්තාව මෙසේය.

01. ගොඩගන්නා ලද මළ සිරුරු කොටස්ද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු නිසි ලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කර ගනිමින් අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ රඳවා ගන්නා සාම්පලද මියගිය මොහොමඩ් වසීම් තාජුඩීන් යන අයගේ බව හඳුනා ගන්නා ලදී. එම කරුණු ඩී.එන්.ඒ. පරීක්‍ෂණයෙන්ද මරණයට පෙර හා පසු ගන්නා ලද එක්ස් රේ ඡායාරූප සැසඳීමේදී හා පෙර සිදු කර ඇති ශල්‍ය ප්‍රතිකාර ලක්‍ෂණවලින්ද තහවුරු විය.

02. ගොඩගන්නා ලද මෘත ශරීර කොටස්වල වියළි අස්ථින් පමණක් අඩංගු විය. මෘදු පටක කොටස් ඇට කැබැලිවල දක්නට නොලැබිණි.

03. ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ විස්තර කර ඇති පරිදි හා එහිදී ගන්නා ලද එක්ස් රේ ඡායාරූපවල අප විසින් නිරීක්‍ෂණය කරන ලද කලවා අස්ථිවල භග්නයන් පිහිටා ඇත්තේ අස්ථියේ ඉහළ කොටසේත්් පහළ කොටසේත්ය. එසේම එම භග්නයක් තිරස්ව සිදුවී ඇත. මේ ආකාරයෙන් තිරස්ව හා කලවා අස්ථි දෙකේම එකම මට්ටමේ දෙතැනක පිහිටි භග්නයන් අපගේ මතය අනුව, සිදුවූවා යැයි කියන මෝටර් රථ අනතුරේදී සිදුවීමට හැකියාවක් නැත. මෙවැනි භග්නයන් සිදුවිය හැක්කේ කලවයන්ට කිහිප සැරයක් බර මොට ආයුධයකින් පහරදීමෙන් පමණක් බව අපගේ මතයයි.

04. හිසේ තිබූ දාරිත තුවාලය නිසා හිස් කබල පුපුරා නැතත් මියගිය පුද්ගලයාගේ සිහිය නැති වීමට අවස්ථාවක් ඇත.

05. වම් කකුලේ දණහිසට පහළ කොටසේ ඇති අස්ථිය දෙකට බිඳී තිබූ අතර, අපගේ මතය අනුව එය සිදුවී ඇත්තේ මෙම ප්‍රදේශයට පහරදීමක් නිසාය. අනතුරට ලක්වූ වාහනයේ ඉදිරිපස රියැදුරු හා ඉදිරිපස රියැදුරු අසුන අතර ඩෑෂ් බෝඩය සම්බන්ධ වන තහඩු හෝ කිසියම් කොටසක් ඇතුළතට නෙරා ඒමක්ද සිදුවී නොතිබුණ නිසා මෙම භග්නයන් රිය අනතුරකින් සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය.

06. පපුවේ හා බෙල්ලේ පහළ කොටස්වල තිබෙන තුවාල පසාරු වූ තුවාල වේ. බෙල්ලේ තුවාලය ශ්වාසනාලය තුළට ඇතුළු වී ඇත. සුක්කානම සවිවන පොල්ලෙන් හෝ එම පොල්ලේ නෙරා ඇති ලීවරයෙන් මේ තුවාල සිදුවිය නොහැකිය. අනතුර සිදුවන අවස්ථාවේදී මේ පොල්ලට සුක්කානමේ රවුම සම්බන්ධ වී ඇති නිසාත්, එම රවුම විනාශ වී ඇත්තේ පසුව ගිනි ගැනීම නිසාත් මේ තුවාල සුක්කානමේ පොල්ලෙන් සිදුවිය නොහැකි බව තවදුරටත් තහවුරු වේ. එය එම ප්‍රමාණය තරම් වූ මොට ආයුධයක් පසාරු වීම නිසා සිදුවිය හැකිය.

07. බෙල්ලේ පහළ කොටසේ ඇති තුවාලයෙන් දරුණු ලේ ගැල්මක් සිදුවන අතර, එසේම වාතය පපු කුහර හා පරිකන්තුව තුළට කාන්දු වීමක්ද සිදුවිය හැකිය. එය මරණීය තුවාලයක් ද විය හැකිය. නමුත් පිලිස්සුණු මෘත ශරීරයක මෙම ලක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීමට ඉඩ ඇත.

08. සොකො (ඉධඛ්ධ) නිලධාරීන් විසින් ගන්නා ලද හා පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප හට පෙන්වන ලද ඡායාරූපවල මෙම පිලිස්සී ගිය මෘත දේහය සම්පූර්ණයෙන්ම පිහිටා තිබුණේ ඉදිරි මගී අසුනේය. එසේම එය වම් පස ‍ෙදාර දෙසට හැරී ඇති බව පෙනෙන්නට තිබිණි. පාද සම්පූර්ණයෙන්ම වම් මගී අසුන ඉදිරිපස තිබිණි. අපගේ මතය අනුව මෙම මියගිය පුද්ගලයා මෙම වාහනය පදවා ගෙන යන විට මෙය සිදුවූවා නම්, එම නිරීක්‍ෂණය කළ තුවාලත් සමඟ ඉදිරි මගී අසුන වෙත යෑමට හැකියාවක් නැත. මගී අසුන වෙත සම්පූර්ණයෙන් විසි වීමට ඉඩක් නැත. පාද දෙකම සම්පූර්ණයෙන්ම වම්පස මගී අසුන ඉදිරියෙන් තිබූ ආකාරය අනුව මරණය සිදුවීමෙන් පසු එම මළ සිරුර රියැදුරු අසුනේ සිට ඉදිරි මගී අසුනට සම්පූර්ණයෙන් විසිවී යෑමක් හෝ පෙරළීමක්, අනතුර සිදුවී ඇති වාහනයේ පිහිටීම අනුව සිදුවිය නොහැකි බව අපගේ මතයයි.

09. මේ සියලු කරුණු අනුව, මිය ගිය පුද්ගලයා මෙම වාහන අනතුර සිදුවන අවස්ථාවේ පදවා නොමැති බවත්, මියගිය පුද්ගලයාට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර වම් මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව අපගේ මතයයි.

10. මරණයට හේතුව කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුවී ඇති බහුවිධ තුවාල නිසා සිදුවී ඇති ප්‍රතිවිපාක හා ඉන්පසු ඇතිවූ ගින්නේ ප්‍රතිවිපාක බව අපගේ මතයයි. ඒ අනුව ගිනි ගැනීම මරණයට ස්වල්ප වෙලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේදී සිදුවී ඇති බවට මතයක් පළ කළ හැකිය.

11. කාබන් මොනොක්සයිඩ්, පරීක්‍ෂා කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ලබා ගන්නා ලද රුධිර සාම්පලයේ අඩංගු නොවුණද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කාබන්මොනොක්සයිඩ් රුධිරයේ තිබෙන්නට ඇතැයි සැක කළ හැකි ලක්‍ෂණ තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම එම රුධිර සාම්පල ගත්තේ පපු කුහර හා උදර කුහරවලින් බවද සඳහන් වේ. එම රුධිරය ගිනි ගැනීමට පෙර සිදු කර ඇති තුවාල නිසා පපු කුහරය තුළට ගලා ගිය රුධිරය නම්, එහි කාබන්මොනොක්සයිඩ් අඩංගු විය නොහැකිය.

ආරක්‍ෂණය කිරීම සඳහා උපදෙස් ලබා දුන්නා යැයි කියන දැනට නැතිවී ඇති තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් ලබාගත් අස්ථී සාම්පල සහ අස්ථි කොටස් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ සහ මතයන් මෙසේය.

(1) ප්‍රථම පරීක්‍ෂණයේ සහ එම එක්ස්රේවල අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව විශේෂ වැදගත්කමක් ඇති තුවාල සහ භග්න නිරීක්‍ෂණය කළ කලවා අස්ථි දෙකද, පපු අස්ථිද ගොඩගන්නා ලද ශරීර කොටස් සමඟ නොතිබිණි.

(2) හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මෙම අවසන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ 14 පිටුවේ අවසන් ඡේදයේ මෙසේ පවසා ඇත. “මා විසින් ඉහත අස්ථි සාම්පල අප ආයතනයේ අධි ශීතකරණයේ හෝ මෘත ශරීර බහාලන ශීතකරණයේ තබන ලෙස උපදෙස් දුන්නෙමි.” නමුත් මෙම අස්ථි කොටස් හෝ එම අස්ථි නිසිලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින්, ආරක්‍ෂා කිරීමට යොමු කිරීමක සාක්‍ෂි හෝ නිරීක්‍ෂණය කළ නොහැකි විය.

(3) මෙම ආයතනයේ අනුගමනය කරන ක්‍රමවේදය අනුව එවැනි කොටස් ලේබල් කර, අංක කර ලේඛන ගත කර රසායනාගාරයට භාරදී රසායනාගාර නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අධිශීතකරණයේ තැබීමට පළමුවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සහාය වූ සුළු සේවකයන් දෙදෙනාම කියා සිටියේ ඔවුනට එම අස්ථි කොටස් රඳවා තබා ගැනීම සඳහා එම වෛද්‍යවරු තිදෙනාගෙන් උපදෙසක් නොලැබුණු බවයි.

(4) අප විසින් ආයතනයේ ඇති සියලු අධි ශීතකරණ හා මෘත ශරීර බහාලන ශීතකරණ පරීක්‍ෂා කළද, එම අස්ථින් සොයාගත නොහැකි විය.

(5) ඉන්පසු 2015 සැප්තැම්බර් 30 වැනි දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ වෛද්‍ය සමරසේකර මහතාද මෙහි පැමිණියද එම අස්ථින් සොයා ගැනීමට ඔහුටද නොහැකි විය. කෙසේ වුවත් මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ගන්නා ලද සහ සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින් ලේඛන ගත කර තිබූ අනෙකුත් සියලු නිදර්ශන නිසි ලෙස ආරක්‍ෂා සහිතව රසායනාගාරයේ තිබිණි.

(6) ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී අපගේ මතය වන්නේ මෙම කලවා අස්ථි දෙක හා පපු අස්ථිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය තුළ රඳවා නොමැති බවයි.

තාජුඩීන්ගේ මෘත ශරීරය ගොඩ ගැනීමෙන් අනතුරුව සිදු කළ මෙම විශේෂ අධිකරණ විද්‍යාත්මක පරීක්‍ෂණයේ අවසන් වාර්තාව, එම පරීක්‍ෂණය සිදු කළ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජින්. පෙරේරා, අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.පී.ඒ. හේවගේ යන මහත්වරුන්ගේ අස්සනින් යුතුව නිකුත් කර තිබිණි.

තාජුඩීන්ගේ ඝාතනයට අදාළ නඩුව ලබන 10 වැනිදා අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කැඳවීමට නියමිතය.

zaaq