කොච්චර (බදු) ගැහුවත් නොවැටෙන නොවැනෙන අරක්‌කු

 

මත්පැන් නිෂ්පාදනය 2005 – 2014

 

araktab2

ආණ්‌ඩුව විසින් අරක්‌කු මිල නැවත වතාවක්‌ ඉහළ දමනු ලැබ ඇත. ඒ අනුව මෙතෙක්‌ කලක්‌ රුපියල් 1196.50 ක්‌ නැතහොත් රුපියල් 1200 ක්‌වූ අරක්‌කු බෝතලයක්‌ රුපියල් 1387.50 ක්‌ නැතහොත් රුපියල් 1390 තෙක්‌ ඉහළ නැග ඇත. මෙහිදී වැඩි කෙරුණු මිල රුපියල් 191 ත් 200 ත් අතර ගණනකි. මෙයට අමතරව මෙරට නිපදවන විස්‌කි, බ්‍රැන්ඩි, ජින්, රම් යනාදියෙහි මිල ද බෝතලය රුපියල් 127.50 කින් ඉහළ දමා තිබේ. බීර බෝතලයක මිල නැග ඇත්තේ රුපියල් 52.50 කින් පමණි. ඒ සැර 5% ට වැඩි බීරවල ය. සැර 5% ට අඩු බීර බෝතලය රුපියල් 22.50 කින් පහත දමා තිබේ. එහෙත් සැර අඩු බීමවලට විශාල ඉල්ලුමක්‌ නැත. එයට සරලතම හේතුව මත්පැන් වදින්නේ සැර වැඩි වූ තරමට නිසාය. අරක්‌කු බෝතලයක සැර ගැනීමට බීර බෝතල් 10 ක්‌ බීමට සිදුවේ. අරක්‌කු බෝතලයක්‌ තනිව පානය කළ හැකි උෙද්‍යාaaගිමත් බේබද්දන් සිටින නමුදු බීර බෝතල් 10 ක්‌ ගබඩා කර ගැනීමට තරම් විශාල අක්‌මා ඔටුවකුට මිස මනුස්‌සයන්ට නැත. මේ නිසා අරක්‌කු මිල වැඩි වීමෙන් සාක්‌කුවට සහ හිතට බරපතළ ලෙස තුවාල සිදු කරගන්නා ජනයා අප අතර වෙති. අරක්‌කු අත්‍යවශ්‍ය භාණ්‌ඩයක්‌ද? ඔව්· එය බේබද්දන්ට අත්‍යවශ්‍ය භාණ්‌ඩයකි. සිගරට්‌ටුවක්‌ සත 10 ක්‌ව තිබූ 1970 කාලයේදී සිගරට්‌ 10 සහිත පැකට්‌ 2 බැගින් දවස්‌ පතා පරිභෝජනය කළ මිනිස්‌සු සිගරට්‌ 10 පැකට්‌ටුවක්‌ රුපියල් 400 ක්‌ව තිබෙන මෙකලද පැකට්‌ 2 ක්‌ පරිභෝජනය කරති. මත්ද්‍රව්‍ය යනු මත් ලෝලියාගේ ප්‍රාණයයි. කුඩුකාරයා ග්‍රෑම් 2ක කුඩු පැකට්‌ටුවට රුපියල් 4000 ක්‌ ගෙවන්නේ එබැවිනි.

මත්පැන්වල ඉතිහාසය අවුරුදු 20000 ද ඉක්‌මවයි. ධාන්‍ය සහ පලතුරු ජලයෙහි පල්කර – පැසීමට සලස්‌වා තනුක මධ්‍යසාර ලෙස පානය කළ ආදි කල්පිත ජනයා මෙයට වසර 20000 කට පෙරත් ජීවත් වූහ. මෙකී තනුක මධ්‍යසාර ආසවනය කරන හැටි මූලිකව සොයා ගත්තේ ක්‍රි. ව. පළමුවන සියවසෙහි ඊජිප්තුවේ ඇලෙක්‌සැන්ඩි්‍රයා නගරයේ ජීවත් වූ රස විද්‍යාඥයෝ ය. මත්පැන් ආසවනය කරන ලද කල්හි සැර වැඩි වන නිසා ඉතා අඩු කාලයකින් මිනිසුන් අතර ජනප්‍රිය විය. තාර, කෙස්‌, ලෝහ සහ ගල් හැරුණු විට අතට හසුවන ඕනෑම දෙයකින් මත්පැන් පෙරීමට මිනිස්‌සු හුරු වූහ. ඒ සඳහා ඔවුහු නිතරම තමා අවට තිබෙන අමුද්‍රව්‍යයන් තෝරා ගත්හ. උදාහරණයක්‌ ලෙස ලාංකිකයා අරක්‌කු පෙරන්නේ පොල් රා වලිනි. බීර හදන්නේ කැකුළු සහල්වලිනි. එහෙත් බ්‍රිතාන්‍ය ජාතිකයා බීර පෙරීම සඳහා තමන් වටා බහුලව තිබෙන අමුද්‍රව්‍යයක්‌ වන බාර්ලි යොදා ගනී. මැක්‌සිකෝව නමැති රටේ යෝධ අන්නාසි වර්ගයක්‌ බහුලව තිබේ. මේ අන්නාසි ගෙඩියක්‌ අඩුම වශයෙන් කිලෝ 20 ක්‌ වත් බරය. මැක්‌සිකානුවා ස්‌වකීය ජාතික මධ්‍යසාර පානය වූ ටිකිලා සාදන්නේ මේ අන්නාසි වර්ගය කැබැලි කර පෝරණුවෙහි දමා පුළුස්‌සා වතුරෙහි පල්කර එම පල් වතුර ආසවනය කිරීමෙනි. කසිප්පු පෙරන්නා තමන් දමා ඇති සියලු දේ එනම්, කු=ණුවූ කෙසෙල්ගෙඩි, ඉදුණු දෙල්ගෙඩි, තැලුණු අන්නාසි, වැළ වරකා, ඊස්‌ට්‌, යූරියා, ගැල්වනයිස්‌ කම්බි වැනි සෑම දෙයක්‌ම වතුර බැරලයකට දමා පල්කර, පැසෙන්නට සලස්‌සා ආසවනය කර කසිප්පු සාදයි. මෙසේ ආසවනය කෙරුණු දියරයෙහි මධ්‍යසාර සැර 100% කි. එය ඒ ආකාරයෙන්ම පානය කළ විට බොන එකා එක්‌කෝ මියයයි. නැත්නම් ඔහුගේ ඇස්‌ අන්ධ වෙයි.

අරක්‌කුවල ඉතිහාසය

අරක්‌කු යනුවෙන් හඳුන්වන මධ්‍යසාර පාන වර්ග 2 ක්‌ ලොව ඇත. පළමුවැන්න පෙරන්නේ පොල් රා, යුෂ නැත්නම් රතු කැකුළු සහල්වලිනි. මේවා ලංකාව ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල ප්‍රචලිතය. දෙවැන්න පෙරන්නේ අසමෝදගම් (කුඩා දරුවන්ට උදරාබාධ සෑදුණුවිට අසමෝදගම් ස්‌ප්‍රිතු පොවනු ලැබේ.) වලිනි. නැගෙනහිර මධ්‍යධරණි ප්‍රදේශයේ රටවල සහ දූපත් රාජ්‍යවල මේ අරක්‌කු වර්ගය ප්‍රසිද්ධය. (නූතන ෂීෂී ත්‍රස්‌තයන්ගේ ඉස්‌ලාමීය රාජ්‍යයට මෙකී නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශය අයත්ය) ලෙබනනය, ඉරානය, ජෝර්දානය, සිරියාව, ඊශ්‍රායලය යන රටවල අදටත් මේ මධ්‍යසාරය පරිහරණය කෙරේ. 63% ක්‌ මධ්‍යසාර අඩංගු මෙය කිසිදු පැහැයක්‌ නැති, පැණි රසක්‌ නැති, නාසය හාරාගෙන යන සැර සුවඳක්‌ ඇති පානයකි.

අරක්‌කු යන පදය ආවේ කොහෙන්ද? ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අය කතා කරන මලයාලි භාෂාවෙනි. (කසිප්පු යන පදය ආවේ තමිල්නාඩුවෙනි. එහි පෙරන හොර සුරා හැඳින්වෙන්නේ ‘කසිවු’ යනුවෙනි. කසිප්පු යනු එම පදයේ බිඳීමකි.) කේරළ ජනයා ක්‍රි. ව. 1500 ට පෙර පුවක්‌වලින් මධ්‍යසාර පෙරන ලද බවත් පුවක්‌වලට සංස්‌කෘත බසින් කියන ඇරිකා නම බිඳී ‘අරක්‌’යන පදය බිහිවූ බවත් එම පදය යළි බිඳී ‘අරක්‌කු’ යන පදය ඇති වූ බවත් කියනු ලැබේ. පෘතුගීසි ආක්‍රමණිකයන් පුවක්‌ ගස ‘අරක්‌කු ගස්‌ යනුවෙන් හඳුන්වන ලදී. පොල් රා ආසවනය කළ හැකි බවත් කේරළයේ තිබෙන අරක්‌කු හා සමාන අරක්‌කු එමගින් නිපදවිය හැකි බවත් පළමුවෙන්ම සොයා ගත්තේ භවාන්තර බේබද්දකු වූ පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදාය. එහෙත් අරක්‌කු පෙරීමේ ශාස්‌ත්‍රය සිංහලයන්ට උගැන්වීමට අකමැති වූ පෘතුගීසීහු ඉන්දුනීසියාවේ බතාවියට ගොස්‌ ඉස්‌කාගාරයක්‌ පිහිටුවා එරටින් ලබාගත් පොල් රා වලින් අරක්‌කු පෙරන්නට වූහ. කෙසේ වුවද අරක්‌කු වාණිජ මධ්‍යසාර පානයක්‌ ලෙස හඳුනාගෙන උපරිම ප්‍රයෝජන ගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ය. ඔහු 1890 ගණන්වලදී වතු කම්කරුවන්ට අරක්‌කු පුරුදු කළේ අරක්‌කු පීප්ප කරත්තවල පටවා තේ වත්තටම යෑවීමෙනි. එවිට තැබෑරුමට ගොස්‌ අරක්‌කු පානය කිරීමට කාලය කා නොදැමූ දෙමළ කම්කරුවෝ අරක්‌කු කරත්තයෙන් අරක්‌කු මිලට ගෙන බී යළි තේ දලු කඩන්නට ගියහ. අරක්‌කු කරත්ත හැම තේ වත්තකටම දිනකට පස්‌ වතාවක්‌ ගමන් කළ බවට සාක්‍ෂි තිබේ. මෙකල අරක්‌කු සුදු පාටය. පසු කාලයේදී කසිප්පු බිහිවූ විට එයින් අරක්‌කු වෙන්කර ගැනීමට තැබෑරුම්කාරයන්ට සිදු විය. ඒ නිසා සීනි කැරමල් කර (කර කර) අරක්‌කුවලට මිශ්‍ර කරන ලදී. අරක්‌කු තේ කහට පැහැය ලබන්නේ ඒ අනුවය. පිලිපීනයේ අරක්‌කු නිල් පාටය.

1890 දී අරක්‌කු බෝතලයක්‌ සත 20 කි. අද අරක්‌කු බෝතලය රුපියල් 1390 කි. මෙය අරක්‌කු මිල 10000% ගුණයකින් වර්ධනය වීමකි. ඒ අතර නූතන අරක්‌කු පරිභෝජනය එදාට වඩා 20000% ගුණයක්‌ පමණ අද වනවිට වර්ධනය වී ඇති බව විශ්වාස කෙරෙයි. මත්පැන් බලපත්‍ර පසුගිය වසර 9 තුළ පමණක්‌ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත් 577 ක්‌ නිකුත් කර තිබේ. එම කාලය තුළ මෙරට තුළ නීත්‍යානුකූලව අලෙවි කළ සැර මත්පැන් ප්‍රමාණය (හොරට පෙරන කසිප්පු මෙයට අයත් නැත) බෝතල මිලියන 700 කට හෙවත් බෝතල් කෝටි 70 කට ආසන්නය. එම කාලය තුළ බියර් බෝතල් බිලියනයකට වඩා හෙවත් බෝතල් කෝටි 100 කට වඩා අලෙවි කර තිබේ. මේ වසර නවයෙන් වැඩිම සැර මත්පැන් ප්‍රමාණයක්‌ පානය කර ඇත්තේ 2011 දීය. එම ගණන බෝතල් මිලියන 70 ඉක්‌මවයි. බියර් අලෙවියේ වාර්තාගත අවුරුද්ද 2014 ය. බියර්Êබෝතල් මිලියන 150 ක්‌ පමණ එම වසරේ අලෙවි වී තිබේ. මෙම වසර 9 තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍ර සඳහා රුපියල් මිලියන 919 ක්‌ එකතු කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවිය. වසර 2014 වන විට මත්පැන් නිෂ්පාදන ආයතන 24 ක්‌ ලංකාවේ තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් ය. එම 7 වසර තුළ පමණක්‌ එම සමාගම් අතුරින් 13 ක්‌ විසින් නිපදවන ලද අරක්‌කු ඇතුළු සැර මත්පැන් (බියර් නොවන) වල ප්‍රමාණය බෝතල් ගණන පන්කෝටි පනස්‌ දහසකි!.

මෙයට අමතරව වසරක්‌ තුළ මෙරට නිපදවන බියර්, තල් රා, පොල් රා, කිතුල් රා යනාදිය එකතු කරන්නට ගියොත් ලැබෙන අගය අති විශාලය. ඒ අනුව මේ රටේ ජනයා ජලයට වඩා මත්පැන් බොන බවට මූලික අදහසක්‌ හට ගැනීමට ඉඩ තිබේ. කසිප්පු නිෂ්පාදනය ගැන කිසිදු නිල භාවය ලේඛනයක්‌ නැති නමුත් වර්ෂයකට කසිප්පු බෝතල් කෝටි ගණනක්‌ නිපදවන බව අනුමාන කළ හැකිය.

මත් පැනට කවුරු කොහොම විරුද්ධ වුණත් කිසිදු ආණ්‌ඩුවක්‌ මත්පැන් තහනම් කරන්නේ නැත. මන්ද එමගින් සුවිශාල බදු ආදායමක්‌ රජයට එන බැවිනි. හැම ආණ්‌ඩුවක්‌ම කරන්නට හදන්නේ මත්පැනින් හැකි උපරිම ආදායම ලබා ගැනීමය. මතට තිත බොරුවක්‌ ය යන කතාව පටන් ගන්නේ එතැනිනි.

cc

අනුර සොලමන්ස්‌