හරිත වන උයනක් සහිත මහ සයුරේ ක්ෂේම භූමිය

ඔබ මුහුදු වෙරළට හෝ වරායකට ගිය අවස්ථාවක නැවක නැඟී මහසයුරේ චාරිකාවක් යන්නට සිහින මවන්නට ඇතුවාට සැකයක් නැත. ඒ නෞකාව අති සුඛෝපභෝගී එකක් වී විනෝදාස්වාදය ලබා ගන්නට අවශ්‍ය සෑම දෙයකින්ම පාහේ අංග සම්පූර්ණ වූවක් නම් ඔබේ සතුට දෙගුණ තෙගුණ වේවි.

අපට එවැනි අත්දැකීමක් ලබාගන්නට අවස්ථා නැතත් ලෝකයේ සෙසු රටවල් බොහොමයක ජනතාව නෞකාවල නැගී නිවාඩු ගතකරන්නට යාම සාමාන්‍ය දෙයකි. අප මේ කතා කරන්නට යන්නේ එවන් අති සුඛෝපභෝගී නෞකාවක් ගැනයි. මුහුදු ගමනක යෙදෙන අතරතුර බොහෝ විනෝද විය හැකි මේ නෞකාව පාවෙන දිව්‍ය ලෝකයක් ලෙස ද හැඳින්විය හැකියි.

 

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන මෙය හඳුන්වන්නේ MS Oasis of the seas එනම් මහ සයුරේ ක්ෂේම භූමිය යන නමින්. මෙම නෞකාවේ අයිතිය දරන්නේ Royal Caribbean International නම් සමාගමයි. විශාල මගී ප්‍රවාහන නෞකා රාශියක් ඇති මෙම සමාගම මේ නැව වර්ෂ 2006 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 කට ඇණවුම් කර තිබේ.

Oasis නෞකාව සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ 2009 ඔක්තෝබර් 28 වැනිදායි. 2009 නොවැම්බර් 30 වැනිදා බෞතීස්මය ලැබු මෙම නෞකාව පින්ලන්තයේ, ටුර්කු නැව් අංගණයෙන් (නැව සෑදු ස්ථානය) ඇමෙරිකාව බලා ඇයගේ ප්‍රථම චාරිකාව ගොස් තිබෙනවා.

 

නෞකාවේ සම්පූර්ණ දිග මීටර් 361.6 ක් වන අතර ජල තලයේ සිට නෞකාවේ උස මීටර් 72 ක් වෙයි. ලොව සුපතළ ටයිටැනික් (Tiatanic) නෞකාවේ දිග මීටර් 269.1 වනවා. Oasis of the seas නෞකාවේ දළ බර ටොන් 225,282 ක් වන අතර උපරිම වේගය නාවුක සැතපුම් 22.6 (Knots) හෙවත් පැයට කි. මී. 41.9 කි. එය Titanic නෞකාවේ උපරීම වේගයට (24 Knots, පැයට කි. මී. 44) වඩා අඩු යැයි කිව්වොත් ඔබ මවිතයට පත් වේවි.

මගීන් සඳහා වෙන්වූ මහල් 16කින් සමන්විත Oasis නෞකාවේ මගීන් උපරිම 6296 කට ගමන් කළ හැකි අතර ගමන් කළ හැකි මුළු යාත්‍රා කාර්ය මණ්ඩලය 2394 ක් (2012 ජුලි වන විට) වනවා.

මෙම නෞකාව ගැන සඳහන් කරන විට මැයගේ නිවුන් සහෝදරිය එනම් Allure of the Seas නෞකාව ගැන අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. එකිනෙකට අතිශයින්ම සමාන මෙම නෞකා 2න් Oasis නෞකාව Allure නෞකාවට වඩා මිලිමීටර් 50ක් තරම් ඉතා කුඩා වෙනසකින් ඉදිරියෙන් සිටින්නේ නෞකා දෙකෙහි දිග ගණනය කරන අවස්ථාවල අවට උෂ්ණත්වය සමඟ ලෝහ ප්‍රසාරණය වීම හේතුවෙනි.

විශාලත්වය හා සමානවම විවිධ ක්‍රියාකාරකම් හා ආකර්ෂණයන්ගෙන් සමන්විත මෙම නෞකාව නිසැකවම විනෝද වීමට ලොව ඇති හොඳම ස්ථානවලින් එකක්.

එකිනෙකට වෙනස් තේමාවන් 7ක් එනම් වෙනස් වූ පරිසරය 7ක් යටතේ මෙම නෞකාවේ පහසුකම් මගීන්ට රස විඳීමට හැකියාව තිබෙනවා.

(Central Park) ජීවී උද්‍යානය

ලොව පළමු සයුර මතුපිට ජීවී උද්‍යානය වන මෙහි විවිධ පැළ 12,000 ක් හා ගස් 56 ක් තිබෙනවා. සැබැවින්ම උද්‍යානයක් ලෙසින් ඉතා අලංකාරව නිමවා ඇති මෙහි ආපන ශාලා, කඩ සාප්පුවලින් මෙන්ම Bar වලින් ද සමන්විතයි. තට්ටු 3ක් පුරා ඉහළ පහළ යන Rising Tide Bar එක මෙහි ආකර්ෂණය තවත් වැඩි කරනවා.

Pool & Sports Zone – පිහිනුම් තටාක හා ක්‍රීඩා පෙදෙස

ජල ක්‍රීඩා කළ හැකි ස්ථානවලින් සමන්විත මෙහි දිය මත ලිස්සා යාම (Surf) ක්‍රීඩා කිරීමට රළ සහිත තටාක 2ක්, කුඩා දරුවන් හට ජල ක්‍රීඩා කිරීමේ ස්ථානයක් වැනි ආකර්ෂණ අංග තිබෙනවා.

Sea Spa

විශාල කායවර්ධන මධ්‍යස්ථානයක්, කායවර්ධන හා සම්භාහනය පිළිබඳ පන්ති පැවැත්වීම සිදුකරන අතර විවිධ වර්ගවල සම්භාහන සේවාවන් ද පවතිනවා.

 

Boardwalk

ලී පොළොවකින් සමන්විත මෙහි දෙපස ආපන ශාලා Bar, කඩ සාප්පු, tatto parlor හා කඳු නැඟීමේ ක්‍රීඩාවල නිරතවිය හැකි විශාල බිත්ති 2කින් සමන්විත වන අතර මෙහි අවසානයේ 750 දෙනකුට ආසන පහසුකම් ඇති එළිමහන් රංග පීඨයක් පවතිනවා.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය වේදිකාවක, විශාල ජල තටාකයක හා වේදිකාවට ඉහළ අහසේත් විවිධ නර්තනයන් ඉදිරිපත් කිරීම් සිදු කිරීමයි.

Royal Promenade

නැටුම්, ගැයුම්, ප්‍රිය සම්භාෂණ වැනි විවිධ වර්ණවත් උත්සව සඳහා සකස් කර ඇති මෙම පෙදෙසෙහි ද විවිධ වූ ආපන ශාලා දැකිය හැකියි.

Youth Zone

දරුවන්ට හා නව යෞවනයන්ටම පමණක් වෙන්වී ඇති මෙම කොටසෙහි දරුවන් සඳහා පරිගණක ක්‍රීඩා කළ හැකි ස්ථාන, විද්‍යා පරීක්ෂණ කළ හැකි විද්‍යාගාරයක් හා දරුවන්ට පමණක් වෙන්වූ සමාජ ශාලා ද දැකිය හැකියි.

Entertainment Place

විනෝදාස්වාදය සඳහා පමණක්ම වෙන්වූ මේ කොටසේ නෞකාවේ ප්‍රධාන රංග ශාලාව, Ice Skating කිරීමේ ස්ථානයක්, රාත්‍රී සමාජ ශාලාවක්, කැසිනෝ ස්ථානයක් සහ සංගීත සංදර්ශන පැවැත්වෙන කුඩා ස්ථාන අයත් වෙනවා.

ඉහත සඳහන් කළ ඒවාට අමතරව වැඩිහිටියන්ට පමණක් සීමා වූ හිරු එළිය හොඳින් වැටෙනා පිහිනුම් තටාකයක්, Zip line(යකඩ කම්බියක එක කෙළවරක සිට වේගයෙන් අනිත් කෙළවරට ගමන් කළ හැකි තට්ටු 9 ක් උඩින් පිහිටා ඇති ත්‍රාසජනක ක්‍රීඩාවක්), සත්‍ය ප්‍රමාණයට සකසා ඇති පැසිපන්දු ක්‍රීඩා පිටියක්, තට්ටු 2 නිදන කාමර, 3D චිත්‍රපටි ශාලාවක් හා නොමිලයේ ආහාරපාන ලබා ගත හැකි ආපන ශාලා ද පවතිනවා.

ඇමෙරිකාවේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කරන Oasis of the seas නෞකාව මෙක්සිකෝව, හයිටි, බහමාස් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත යාත්‍රා කරනවා. ගමන් කරන වරායන් හා යාත්‍රා කරන දින ගණන අනුව එකිනෙකට වෙනස් වූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10 සිට 25 දක්වා වූ පැකේජ මෙම නෞකාව සතුයි. නැවේ විශාලත්වයේ හැටියට මිල ගණන් මෙතරම් ඉහළ වීම එතරම්ම පුදුමයකුත් නෙමෙයි.

ship1 1377853644 mm