ආයේ සුදු වෑන් බෑ

ශ්‍රී ලංකාව ඊයේ (10 වැනිදා) එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කළ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්‍ෂා කිරීමේ ප්‍රඥප්තිය අනුව ඉදිරියේදී යම් පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා රජයට ඒ සම්බන්ධව ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටීමට පවා සිදුවන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විදේශ ඇමැතිවරයා මෙම ප්‍රඥප්තියට අනුව ඉදිරියේදී රට තුළ සුදුවෑන් සංස්‌කෘතියක්‌ ක්‍රියාත්මක විය නොහැකි බවත් සෑම පුද්ගලයකුගේම මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට රජය බැඳී සිටින බවත් කීවේය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලැබූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රජය ප්‍රථම වරට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්‌ව මෙවැනි ප්‍රඥප්තියකට අත්සන් තැබීම මගින් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් දිනය සංකේතාත්මකව සැමරීම පමණක්‌ නොව සැබෑ ලෙස ක්‍රියාවට නංවා තිබෙන බව පැහැදිලි වන බව ද විදේශ ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම ප්‍රඥප්තියට අත්සන් තැබීම සඳහා පෙරේදා (09 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල හමුවේදී අනුමැතිය ලැබුණු බවත් ප්‍රඥප්තියට අදාළ නීති කෙටුම්පත් 2016 වසරේ ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නීතිගත කරන බවත් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී කරුණු පැහැදිලි කළ විදේශ ඇමැතිවරයා මෙසේද කීවේය.

මෙම ප්‍රඥප්තිය අනාගතය දෙස බලා සකස්‌ කරනු ලැබූවක්‌ බැවින් අතීතයේ දී සිදුවූ ක්‍රියාවන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නොහැකියි.

එම ක්‍රියාවන් සම්බන්ධව පියවර ගැනීමට සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීම සඳහා වෙනම යාන්ත්‍රණයක්‌ මේ වන විට රජය ක්‍රියාත්මක කරගෙන යනවා.

මෙම ප්‍රඥප්තිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අනුමැතිය ලැබී තිබෙන නිසා රජයේ එක්‌ පාර්ශ්වයක්‌ පමණක්‌ ක්‍රියාත්මක කරන පනතක්‌ නෙමෙයි.

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීමේ පනතට අනුව එවැනි සිද්ධීන් අපරාධ ලෙස සැලකෙන බැවින් මින් ඉදිරියට එවැනි සිදුවීමක්‌ වුවහොත් ඊට වගකිව යුතු පුද්ගලයනට නිසි දඬුවම් හිමිවෙනවා.

මෙම පනතට අදාළව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාත්මකවීම පිළිබඳව සොයා බැලීමට එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයක්‌ පවා කොළඹ පිහිටුවනු ලබනවා.

aa

උපාලි ද සේරම්