රාජිත කියන CCTV දර්ශන CID යේ නැති ලු

රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයේ CCTV කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අමාත්‍යවරයා ඉකුත් දිනවල ජනමාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ තාජුඞීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන CCTV කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  කළ විමසීමකට අනුව එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ එවැනි ආකාරයේ කැමරා දර්ශන තිබුණේ නම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට පහසුවෙන් ඔප්පු කරන්නට හැකියාව ලැබෙන බවයි.
එසේම ඝාතකයන හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට මේ තරම් දුෂ්කර මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
රාජිත අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ CCTV කැමරා දර්ශන තිබේ නම් ඒවා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
කැමරා දර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතාගෙන් විමසා තිබූ අතර එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැමරා දර්ශන පිළිබඳව ඔහුට කිසියම් පුද්ගලයකු තොරතුරු ලබා දුන් බවයි.
අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා සම්බන්ධ කර දෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. නමුත් මේ වනතුරුත් එය ලබා දී නැත.
තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන CCTVකැමරා දර්ශන විශේෂඥ පරීක්ෂාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශය වෙත යවා ඇති අතර එම දර්ශන තාජුඞීන්ගේ ඝාතනය සිදු වූ ප‍්‍රදේශය ආසන්නයේ ගොඩනැගිලි දෙකක සවිකර තිබූ CCTV කැමරා දෙකක සටහන්ය.
එකී කැමරා දර්ශනවල රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන ආකාරයේ දර්ශන තිබී නැත.
ප‍්‍රධාන පෙළේ සතිඅන්ත පුවත්පතක් විසින් ද තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන CCTV කැමරා දර්ශන ළඟදීම එළියට එන බවයි.
අමාත්‍යවරයාත් ප‍්‍රධාන පෙළේ පුවත්පතත් යන දෙකම තාජුඞීන්ගේ ඝාතන පරීක්ෂණ වෙනතකට යොමු කිරීම හෝ එම පරීක්ෂණ සාක්ෂි වසන් කිරීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා සහ ප‍්‍රධාන පෙළේ පුවත්පත මඟින් කරන ලද වැරැදි ප‍්‍රකාශ තාජුඞීන් ඝාතනයේ සත්‍යය වසන් කිරීමට කරන ලද කුමන්ත‍්‍රණයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
xxx
(දයා නෙත්තසිංහ)