ඉම්රාන්ගේ දෙවැනි බිරිය පාකිස්තානය හොල්ලයි

පාකිස්තාන දේශපාලන පොර පිටියේ පෙරළිකාර ඉම්රාන් ඛාන්ගෙන් දික්කසාද වීමෙන් පසුව ලන්ඩනයට ගිය ඔහුගේ දෙවැනි බිරිය රෙහාම් ඛාන් නැවත පාකිස්තානය බලා පැමිණියේ ඊයේ පෙරේදාය. ඇගේ පැමිණීම පාකිස්තානයේ දේශපාලන ක්ෂේත්‍රය තුල තරමක් උණුසුම් පුවතක් බවට පත්වී තිබුණේ පාකිස්තානයේ තරීකී ඉන්සාෆ් පක්ෂයේ නායක 63 හැවිරිදි ඉම්රාන්ගෙන් පසුගිය නොවැම්බරයේ දික්කසාද වූ රෙහාම් නැවත පැමිණියේ පළමුවරට වීම නිසාය. ඉම්රාන් සමග දිවි ගෙවූ දස මසක් තරම් වූ කෙටි කාලයේ පාකිස්තානයේ කැපී පෙනෙන කාන්තාවක් බවට පත්ව සිටි ඇය පසුගිය 3 වැනිදා ලහෝර් නුවර බලා පැමිණෙමින් සිටියේ පාකිස්තන ගුවන් සේවයට අයත් (පී.අයි.ඒ.) ගුවන්යානයකිනි. ඒ එන අතරමගදී ඇය මිනිත්තු කිහිපයක් නියමු කුටියේ අසුන් ගැනීමට ද අමතක නොකළාය. එහෙත් එය ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ අතර එය කෙසේ සිදුවූවාදැයි සොයා බැලීමට දැන් එම ගුවන් සේවය වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ගුවන් නියමුවරයාගේ ප්‍රකාශයට අනුව ඔහු ඊට අවසර ලබා දී ඇත්තේ ඇගේ ඉවත දැමීමට නොහැකි තරමේ බලවත් ඉල්ලීම නිසාය.රෙහාම් ඛාන් නියමු කුටියට ඇතුළුවූවා පමණක් නොව එහි සිටි ගුවන් නියමුවරුන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටියාය. අවසර නොමැති පුද්ගලයන්ට ඇතුළුවීමට නීතියෙන් කිසිදු ඉඩක් නොලැබෙන නියමු කුටියේ රෙහාම් ඛාන් අසුන් ගැනීම ගුවන් නියමුවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම තරම් දුරදිග ගියේ ඒ සෙල්ෆි ඡායාරූප සමාජ වෙබ් අඩවිවල පළවීමත් සමගිනි. මේ සිදුවීම නොසළකා හැරීම අසීරු කරුණක් බවට පත්වී ඇත්තේ ද එනිසාය.

කෙසේවෙතත් ඉම්රාන්ගේ හිටපු බිරිය ලහෝර් ගුවන්තොටුපලේ දී උණුසුම් පිළිගැනීමකට ලක්වූවාය. වාර්තාකරුවන් විසින් වටකරගනු ලැබීමෙන් පසුව ඇය කළ ප්‍රකාශයත් මතභේදාත්මක එකක් බවට පත්වූ අතර ඒ සමගම මේ 42 හැවිරිදි රූමතිය පාකිස්තාන දේශපාලනය කළඹන කුණාටුවක් වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

රෙහාම් ඛාන් නැවත පාකිස්තානය බලා පැමිණියේ මුබීන් රෂීඩ් නමැති ඇගේ සමීපතම මාධ්‍යවේදියකු සමගය. ලහෝර් නුවර මාධ්‍ය හමුවකට ඔහු ඇයට ආරාධනා කළේ ඉම්රාන්ගෙන් දික්කසාදවූ දිනයේදීමය. දැන් ඇය මාධ්‍ය හමුවකට පමණක් නොව පාකිස්තානයේ එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් මෙහෙයවීමටත් ආරාධනා ලබා සිටින්නීය.

පාකිස්තාන සම්භවයක් සහිතව ලන්ඩනයේ හැදී වැඩුණු මේ සුරූපි කාන්තාව කාලයක් බී.බී.සී. රූපවාහිනියේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ අතර එහි කාලගුණ වාර්තාව ඉදිරිපත් කිරීම නිසා ‘කාලගුණ කෙල්ල‘ (weather girl) නමින් ප්‍රචලිතව සිටියාය. දැන් ඇගේ කල්පනාව නැවත සිය සුපුරුදු රැකියාව ආරම්භ කිරීමටය.

ඒ සඳහා තම නිජබිම වන පාකිස්තානය තෝරාගැනීමෙන් ඇගේ අරමුණ කුමක් විය හැකිදැයි එරට දේශපාලන විචාරකයෝ උපකල්පනය කරති. ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ පාකිස්තානයේ තුන්වැනි දේශපාලන බලවේගය බවට පත්ව ඇති තරීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ගේ දෙවැනි බිරිය ලෙස ජීවිතය ගෙවූ කෙටි කාලයේ ඇය කදිම දේශපාලන පන්නරයක් ලබා ඇති බවකි. තවත් සමහරුන් ඇය දකින්නේ කාලයේ ජීවිතයෙන් සමුගත් කෘතහස්ත දේශපාලන නායිකාව බෙනාසිර් භූතෝගෙන් පසුව එරට දේශපාලනයේ තිබූ කාන්තා අඩුව පිරවීමේ පෙරනිමිත්තක් ලෙසටය.

රෙහාම් ඛාන් නැවත පාකිස්තානයට පැමිණීම දේශපාලන කාරණාවක් බවට පත්වූයේ එබැවිනි. ඇගේ ලහෝර් ගමනේ ඇති දේශපාලනික වැදගත්කම නිසාම එය නැවැත්වීමට අදිසි බලවේග රැසක්ම ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඇය ලහෝර් නුවරට සේන්දුවූයේ ඇගේ ජිවිතයට විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය හරහා මරණ තර්ජන ගලා එමින් තිබියදීමය. තම ජිවිතය බරපතල ලෙස අවදානමකට ලක්වී ඇතැයි ද කිනම් මොහොතක හෝ තමාට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ද ඇය ලහෝර් නුවරට ගොඩ බට මොහොතේ වාර්තා කරුවන් අමතා කියා සිටියාය.

එසේවුවත් ඇය රජයෙන් කිසිදු ආරක්ෂාවක් නම් ඉල්ලා සිටියේ නැත. දැන් ඇගේ අරමුණ වී ඇත්තේ පාකිස්තානයේ වීදි දරුවන්ගේ සුබසාධනය සහ එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමය.

‘මම පතාන් පරපුරේ කෙනෙක්. ඒ නිසා කාටවත් බය නෑ. අපි දන්නවා කොහොමද ප්‍රහාරවලට මුහුණදෙන්නෙ කියලා. මම කාන්තාවක් නිසා සමහර මිනිස්සු හිතනවා ඇති බය කරලා, තර්ජනය කරලා, අසභ්‍ය වචනවලින් බැනලා මාව නවත්වන්න පුළුවන් වේවි කියලා. ඒත් ඒක ලෙහෙසි වෙන්නෙ නෑ.‘ ලහෝර් ගුවන් තොටුපලේ දී රෙහීමා එසේ කීවාය.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්තවී සිටින පතාන්වරුන් පුරාණයේ ඇලෙක්සැන්ඩාර් රජ සමයේ ඉරානයෙන් දකුණු ආසියාවට සංක්‍රමණය වූ ශක්තිමත් සිරුරුවලට හිමිකම් කී සටන්කාමී ජන කොටසකි. එවැනි පරපුරකින් පැවත එන තමා කිසිදු බලවේගයකට නොසැලෙන බව ඇය කියන්නීය.

රෙහීමා නැවත පාකිස්තානයට පා තැබුවේ ඉම්රාන් ඛාන්ගෙන් දික්කසාදවීමෙන් මාසයකට පසුවය. තමා ඉම්රාන්ගේ බිරිය ලෙස සිටි සමයේ වීදි දරුවන්ගේ සුබසාධනය නගා සිටුවීමේ සහ ඒ දරුවන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටීමට පාකිස්තානයේ පළාත් 4න් එකක් වන වයඹ පළාතේ තානාපතිවරිය ලෙස එරට රජයේ පත්වීමක් ලබා සිටියත් දැන් ඉම්රාන්ගෙන් දික්කසාදවී සිටින බැවින් ඒ තනතුර ගැන කිසිදු අදහසක් නොමැති බව කීවාය. එසේ වුවත් පාකිස්තානයේ විදි දරුවන්ගේ සුබසාධනයට මුලු ජීවිත කාලයම කැප කිරීමට ඇය සූදානමින් සිටින්නීය. එය කිසිදු දේශපාලන අරමුණකින් තොර කාර්යයක් බව රෙහීමා තරයේම කියන්නීය.

වෛද්‍යවරයකු වූ රෙහීමාගේ පියා එකළ ලිබියාවේ සිය වෘත්තියේ නිරතව සිටි බැවින් රෙහීමාගේ උපන්බිම වන්නේ ද ලිබියාවය. කුඩාවියේදී නැවත පාකිස්තානයට පැමිණීමෙන් පසුව පේෂාවාර් හී ජින්නා කාන්තා විදුහලේ උපාධිය ලබන රෙහීමා පළමු විවාහයට එළැඹෙද්දී අවුරුදු 19කි. බ්‍රිතාන්‍ය යේ මනෝචිකිත්සකවරයකු ලෙස රැකියාව කළ ඉජාස් රෙහ්මාන් සමග විවාහවීමෙන් අනතුරුව ඇය එංගලන්තයේ ස්ථීර පදිංචියට ගියාය. දෙදෙනාගේ වසර 15ක විවාහ ජීවිතය 2006 දී බිඳ වැටුණු අතර දරුවන් තිදෙනාගේ වගකීම බාරගත් රෙහීමා බී.බී.සී.යේ මාධ්‍ය වේදිනියක ලෙස රැකියාව ආරම්භ කළාය. අනතුරුව පාකිස්තානයට පැමිණ එහි ‘නිව්ස් වන්‘ රූපාවාහිනි සේවයේ රැකියාවක් ලබාගත් අතර පසුව ඩවුන් නිවුස් රූපවාහිනි සේවයේ රැකියාවට ගියාය. ඇයට ඉම්රාන් ඛාන් පළමුවරට මුණගැසුණේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදීය. ඊට වසරකට පසුව එනම් 2015 ජනවාරියේ දෙදෙනා විවාහ වූහ.

ඉම්රාන් – රෙහීමා විවාහය මාස දහයකින් බිඳ වැටුණේ දේශපාලනික වශයෙන් දෙදෙනා අතර තිබූ මත ගැටුම් නිසා බැව් එරට මාධ්‍ය වාර්තා කළේය. මේ යුවළ අතර පෞද්ගලික ආරාවුල් කිසිවක් නොතිබුණත් දේශපාලනමය වශයෙන් දෙදෙනා අන්ත දෙකකට බෙදී සිටි බැව් ඇතැමුන් කියති. මේ අතර රෙහීමාගේ 22 හැවිරිදි පුත් සහීර් පෞද්ගලික කරුණක් සම්බන්ධව ඉම්රාන් සමග වාදයක පැටලුණු බවත් එය දුරදිග යාමෙන් රෙහීමා සහ ඉම්රාන් අතර ගැටුමක් ඇතිවූ බවත් පසුව වාර්තා විය. ඉන් අනතුරුව ඉම්රාන් රෙහීමා සමග කතා බහ කිරිම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව දික්කසාදය දක්වා ඇදී ගිය බවට තවත් වාර්තාවක සඳහන් විය. සියල්ල අවසානයේ ඉම්රාන් සමග දික්කසාදයට අවශ්‍ය ලිපිවලට අස්සන් කළ රෙහීමා ලන්ඩනය බලා පිටත්ව ගියාය.

කෙසේවුවත් දෙදෙනාගේ වෙන්වීම ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයන් නම් සතුටට පත්වී ඇතැයි වාර්තා විය. එංගලන්ත ජාතික ජෙමීමා ගෝල්ඩ්ස්මිත්ගෙන් වෙන්වීමෙන් පසුව ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත වූයේ ඔහු ඉස්ලාම් දහමට ලැදි පාකිස්තාන යුවතියක හා විවාහ වනු දැකීමය. එහෙත් පාකිස්තානු ජාතිකයකු වුවත් බටහිර පන්නයට හැදී වැඩුණු රෙහීමා සමග ඔහු විවාහ වීම පිළිබඳ ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන් පසුවූයේ අකැමැත්තෙන් බව කියැවේ. ඉදිරි අනාගතයේ පාකිස්තානයේ නායකත්වය ගැනීමට බලා සිටින ඉම්රාන් බටහිර පන්නයේ ඇඳුමින් සැරැසී විවිධ ප්‍රියසම්භාෂණවල නාඳුනන පිරිමින් හා නර්තනයේ යෙදෙන බී.බී.සී.යේ කාලගුණ කෙල්ලක් විවාහ කරගැනීම ඔහුගේ ප්‍රතිරූපයට ලොකු හානියක් බව ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අදහස විය.

දැන් ඇය නැවත පාකිස්තානයට පා තබා ඇත්තේ වීදි දරුවන්ගේ සහ එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමටය. සිය ඉදිරි සැලසුම් ඒ ආකාරයෙන්ම සිදුවනු ඇතැයි ද දේශපාලනික වශයෙන් කිසිදු භූමිකාවකට තම කැමැත්තක් නොමැති බව ද ඇය කියා සිටින්නීය.

එසේ වුවත් ඉම්රාන්ගේ බිරිය ලෙස දිවි ගෙවූ කෙටි කාල සීමාවේ දී ඇය ඇති තරම් ජනප්‍රියත්වයක් සහ ප්‍රතිරූපයක් එරට ජන සමාජයේ ගොඩනගා ගත් බැවින් පාකිස්තානයේ අනාගත දේශපාලන පොර පිටියේ ප්‍රබලතම චරිතයක් බවට පත්වනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහසය. ඇය ඉම්රාන් සමග දීග කෑ අවසන් කාලයේ ඔහුගේ පාක්ෂිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වීමෙන් එය පැහැදිලි වන බව විචාරකයෝ කියති. ඇගේ ජනප්‍රියත්වය තරීකී ඉන්සාෆ් පක්ෂයේ ඉම්රාන්ගේ නායකත්වය පවා අභියෝගයකට ලක්වූ එකක් බවත්, දෙදෙනා දික්කසාදවීමෙන් පක්ෂය තුල ඉම්රාන්ගේ නායකත්වය ආරක්ෂා වූ බවත් ඇතැමුන්ගේ අදහස විය.

දෙදෙනාගේ දික්කසාදයෙන් පසුව ඇය පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මැන්චෙස්ටර් නුවර පැවැති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකදීය. ඒ වෙද්දී ඉම්රාන් – රෙහීමා දික්කසාදය ප්‍රසිද්ධියට පත්වී තිබිණි.

ඒ මාධ්‍ය සමුළුවේ දී ඇය පැමිණ සිටි පිරිස අමතා මෙසේ කීවාය.

‘ඕනෑම පිතිකරුවකුට හයේ පහරක් ගහන්න පුළුවනි. නමුත් නියම අභියෝගය ශතකයක් දක්වා හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමයි.‘

d

සටහන

ෆවුස් මොහොමඩ්