පාර්ලිමේන්තුවට නිදහසේ සාමකාමී පරිසරයක්

පාර්ලිමේන්තුවට නිදහසේ සාමකාමීව එක්රැස් වී, සාමකාමීව සාකච්ඡා කොට, සාමකාමීව විසිර යන්නට හැකි පරිසරයක් නිර්මාණය කරගත යුතු බවත්, එය අප‍ගේ ඉලක්කය බවට පත් කොට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ ඉලක්කය ජය ගැනීමට දරන ප්‍රයන්තයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් 11 වැනිදා පැවැති සුජාතා ජයවර්ධන මැතිණියගේ අනුස්මරණ දේශනය පවත්වමින් අගමැතිවරයා, එසේ කීය.

“ප්‍රජාතාන්ත්‍රික ආයතනය ශක්තිමත් කිරීම” මැයෙන් අගමැතිවරයා පැවැත්වූ දේශනය සම්පූර්ණයෙන් මෙසේය.

පළමු කොටම 2015 සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශනය පැවැත්විම සඳහා මට ආරාධනා කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයට කෘතඥතාව පළ කරන්නෙමි. සුජාතා සහ ස්ටැන්ලි මගේ මවුපියන්ගේ සමිප මිතුරෝ . මම කොළඹ සරසවියට ඇතුළුවන්නට පෙර පාසල් වියේ පටන්ම ඇය දැන හැඳිනගෙන සිටියෙමි. ඇයගේ පියා වූ ඞී. එන්. ඩබ්ලිව් ද සිල්වා මහතා මා උඩරට නැටුම් ශිල්පය හැදෑරූ සිංහල සංස්කෘතික ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයකුව සිටියේය. (ඇත්ත වශයෙන්ම එකල නැටුම් උගෙනුමට චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ද පැමිණියාය. එදිරිවීර සරච්චන්ද්‍ර දයානන්ද ගුණවර්ධන ගුණසේන ගලප්පත්ති සහ හෙන්රි ජයසේන ආදින්ගේ නාට්‍යවලට අනුග්‍රහය දක්වමින් සිංහල සංස්කෘතිය නගා සිටුවීමෙහි ලා සුජාතා මගේ මෑණියන් සමග සමිපව කටයුතු කළාය. යුනිලීවර්ස් සමාගමේ සභාපති වූ ස්ටැන්ලි කලා කවයේ සභාපතිනිය වූ මගේ මෑණියන්ට බිතුසිතුවම් හා පන්සල් චිත්‍ර පිළිබඳ ප්‍රකාශන එළි දැක්වීමට සහාය විය. රමිණි සහ මගේ සොයුරිය විශාඛා විද්‍යාලයේ එකට ඉගෙන ගත්තා. සේපාලත් මමත් රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් බව අමුතුවෙන් කිවයුතු නැත. අපේ සංස්කෘතියටත් විශ්වවිද්‍යාලයටත් කැපි පෙනෙන සේවාවක් කළාවූ ද පෞද්ගලිකවම මගේ මතකයේ බොහෝ සැමරුම් ඇත්තා වූ ද මැතිනියක වෙනුවෙන් මේ දේශනය කරන්නට ලැබීම මහත් සතුටක් සේ සලකන්නෙමි.

අද මවිසින් තෝරාගන්නා ලද මාතෘකාව වන ”ප්‍රජාතාන්ති‍්‍රක ආයතන ශක්තිමත් කිරීම” යන්න ආචාර්ය එල්. එම්. ජේ. කුරේ සහ මහාචාර්ය නඩරාජා ආදීන් යටතේ මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උගත් කොළඹ විශ්ව විද්‍යාලය සමග සම්බන්ධය. ලංකා විශ්ව විද්‍යාලයයේ පළමු උප කුලපතිවරයා මෙන්ම නීිති උපාධිය ආරම්භ කළ තැනැත්තා ද වන ආචාර්ය අයිවර් ජෙනින්ංග්ස් එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානි ඞී. ඇස්. සේනානායක මහතාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උපදේශකයා ද වූයේය.

ආචාර්ය අයිවර් ජෙනින්ංග්ස් සැකසූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් කෙටුම්පත සංශෝධන කිහිපයකට යටත්ව සෝල්බරි කොමිසම විසින් පිළිගන්නා ලදී. මෙහිදී වඩාත්ම වැදගත් සංශෝධනය වූයේ සෙනෙට් මණ්ඩලයක් ඇතුළත් කරගැනීමය. කොමිසමේ නිර්දේශ එවක අමාත්‍ය මණ්ඩලය විසින් පිළිගැනෙන බව සහතික කරනු වස් කොමසාරිස්වරයා අනුගමනය කළ උපක්‍රමය මෙයයි. ඉන්පසුව සෝල්බරි සාමි ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත්විය. ඇත්ත වශයෙන්ම ඉහත කී කෙටුම්පත සකසන ලද්දේ විශවවිද්‍යාල (කොලේජ් හවුස් ) උප කලපතිවරුන් විසිනි. මා සිතන අන්දමට ඔබ රැඳී සිටි ඓතිහාසික ශාලාව එයයි. වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමය මෝල්ටාව අප්‍රිකාව හා ජපානය ඇතුළු ආසියානු රටවල් වෙත ට අපනයනය කිරිමේ දී ශ්‍රීමත් ජෙනින්ංග්ස් ද වැදගත් කාර්යභාරයක් ඉටුකළේය. ඇත්ත වශයෙන්ම ජපානය යනු වෙස්ට්මිනිස්ටර් ආකාරයේ හොඳම අගමැති පාලන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් ඇති රටක්. වර්තමානයේ අප මුහුණ පා සිටින එක් ගැටලුවක් වන්නේ අප නැවතත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට හැරිය යුතු ද නැතහොත් නව පාලනය ක්‍රමයක් සකසාගත යුතු ද යන්න ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත්කර ගැනුණු ජනවාරි 08වැනිදා පැවැති ජනපතිවරණයත් ඉන්පසු පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයත් යන දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් වශයෙන් ක්‍රියාකරන නව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම පිණිස ලැබුණු ජනවරමක් විය. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ශක්තිමත් කිරීමය. අතීතය දෙස හැරි බැලීමේදී 1972 අපේ පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද්දේ හත්වැනි පාර්ලිමේන්තුවේ සියලූ සභිකයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවක් විසින් බව පෙනී යයි. කොළඹ නව රඟහලේදී මේ සභාව එවක අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක ගේ කැඳවීමෙන් රැස්වූයේ ඔවුන් තුළ ලංකා පාර්ලිමේන්තුව හා කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වන්නට ය. කෙසේ වෙතත් පළමු ජනරජ ව්‍යවස්ථාව මගින් ද එහි පූර්ව ප්‍රාප්තික (1947)ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආඥාව මගින් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කරන ලද 1947 ලංකා නිදහස් පනත පිළිගනු ලැබීය. වර්ෂ 1972 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මෙකී පනත සංශෝධනය කරමින් ”ලංකාව” යන්න වෙනුවට ”ශ්‍රී ලංකා ජනරජය” යන්න ඇතුළත් කළේය.

අපේ යෝජිත ව්‍යවස්ථා සභාව (1977) දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම උදෙසා මේ ක්‍රියාවලිය අනුගමනය නොකරනු ඇත. සැබැවින්ම එය පාර්ලිමේන්තු යෝජනාවකින් පිහිටුවනු ලබන අතර ඉන්පසු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කැරෙන ව්‍යවස්ථා කෙටුම්පතක් මගින් අනුගමනය කැරෙනු ඇත. එවිට එහි කාර්ය වන්නේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමයි. අදාළ නව ව්‍යවස්ථා පනත පාර්ලිමේන්තුවේ පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයකින් ද ඉන්පසු ජනමත විචාරණයකින්ද සම්මත වියයුතු බවට සහතික කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථා වගන්තිය ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ වගකීිම වන්නේ ය. මේ ආකාරයෙන් අපේ නව ව්‍යවස්ථාව ජනතාව ජනමත විචාරණයක් මගින් සෘජුවම ප්‍රකාශ කරන මතය මත පදනම් වෙයි. ව්‍යවස්ථා සභාවේ ක්‍රියාවලිය දැක්වෙන යෝජනා මාලාවක් දැනටමත් පක්ෂ නායකවරුන් වෙත යවා ඇත.

ජනතාවගේ අදහස් උදහස් ලබාගෙන 2016 මාර්තු 31 වැනිදා වනවිට ව්‍යවස්ථා සභාවට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස මහජන නියෝජිත කොමිසමක් පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කැබිනට් කමිටුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ ද අදහස් විමසීමෙන් පසුව දැනටමත් තීරණය කොට ඇත. අද අපට සමාජ මාධ්‍යයේ පහසුව තිබෙන නිසා තමුන්නාන්සේලාට නොකඩවාම කොමිෂන් සාමාජිකයන් සමග සන්නිවේදනය කළ හැකියි. අද ව්‍යවස්ථා සභාව ඉදිරියේ ඇති ප්‍රධාන ගැටලු තුන වන්නේ :

(1 බලය බෙදීම

(2 මැතිවරණ ක්‍රමය සහ

(3 විධායක ජනාධිපති ධූරයට විකල්පයක් සෙවීමය.

දීර්ඝ කාලයක් තිස්සේ කැපී පෙනෙන ගැටලූ වශයෙන් හඳුනාගෙන ඇති ජාතික සමගිකරණයටත් ජනවාර්ගික හා ආගමික ගැටලූවලටත් විසඳුම් සෙවීමේ අවශ්‍යතාවක් ඇති බවට පාර්ලිමේන්තුවේ පක්ෂනායකවරු හා මන්ත්‍රිවරුන්ගේ විශාල බහුතරයක් එකඟ වෙති. සමගිකරණය සඳහා හොඳම යාන්ත්‍රණය ප්‍රධාන පක්ෂ දෙකෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් මගින් සැපයෙන බවට අපි එකඟවී සිටින්නෙමු. 1977 දී මුල්වරට පාර්ලිමේන්තුවට සපැමිණි විපක්ෂනායක ආර්. සම්බන්දන් මහතාත් මමත් කඩිනම් දේශපාලන විසඳුමක් වෙනුවෙන් ඇප කැපවී සිටිමු. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ජාතික සමගිකරණයේ පොරොන්දුව ඉටුකිරීම අවධාරණය කරමින් සිටි. මේ වතාවේ දී අපට ලැබුණු වටිනා අවස්ථාව ගිලිහී යන්නට ඉඩදිය නොහැකිය. එය නොකළයුත්තකි. යළිත් මෙවැනි අවස්ථාවක් නොලැබෙනු ඇත. ඉස්මතුවෙමින් පවතින පොදු අවබෝධය හා එකඟතාව වන්නේ එ්කීය ව්‍යුහයක් තුළ වැඩිදුරටත් බලය බෙදන: 1977 ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ රාමුව තුළ වැඩකිරීමය. මේ අතර පළාත් පාලන ආයතන වෙත හා යෝජිත ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර ඔස්සේ බිම් මට්ටම දක්වා ද බලය බෙදීමට උනන්දුවන පිරිස් සිටිති. දැනට තිබෙන වැදගත්ම කාර්ය වන්නේ පළාත් සභාවලට ලබාදිය යුතු වැඩිමනත් බලතල කවරේදැයි හඳුනාගැනීමය.

මගේ අදහස වන්නේ පළාත් සභා වෙත පවරා දෙන විෂයයන් හා කාර්යයන් ආපසු මධ්‍යම රජය වෙත පවරා ගැනීමක් නොකළයුතු බවය. අදාළ විමධ්‍යගත විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති අණ පනත් සකස්කිරීමේදි පවා එකී විෂයයන් යළි පවරා ගැනීමක් නොකළ යුතුය. ගතවූ විසිපස් වසරක අත්දැකීම්වලින් පෙනී යන්නේ බලය බෙදීම පිළිබඳ අනාගත අවධාරණය පළාත් ඇමැතිවරුන් විසින් විධායක බලතල ක්‍රියාත්මක කරනු ලැබීම කෙරෙහි වියයුතු බවය.

මෙහිදී බෙදාහැරෙන බලතල පිළිබඳ දීර්ඝ විස්තරාත්මක කාණ්ඩකරණයක් ද සහිත ඔස්ට්‍රියානු බලය බෙදීමේ පද්ධතිය ප්‍රයෝජනවත් ආකෘතියකි. ඉහත සඳහන් කළ පරිදි පාර්ලිමේන්තුව විමධ්‍යගත කරනලද සියලූ විෂයයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය තමන් වෙත තබාගනු ලැබේ. අනෙක් අතින් වැඩිමනත් විධායක බලතල පළාත් සභා වෙත පවරා දිය හැකිය. මේ ආකාරයෙන් නව ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමයත් පාර්ලිමේන්තු පාලන ක්‍රමයත් වැදගත් අංග බවට පත්වනු ඇත. මෙකී කාරණා සම්බන්ධයෙන් අවසානාත්මක තීරණ ගැනීමේදී ප්‍රජාතාන්ත්‍රික ආයතන හා යහපාලනය ශක්තිමත් කීරීම අපේ මනසෙහි ප්‍රමුඛවම තබාගනු ලැබේ.

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සංයුතිය නිශ්චය කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය විසිනි. මේ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම නව මැතිවරණ ක්‍රමයක් තීරණය කිරීමේදී ආත්ම සුරක්ෂිතතාව කෙරෙහි යොමු වු ඉවකින් පාලනය වෙයි. කෙසේ වෙතත් සෘජුවම තෝරාගැනෙන ජනාධිිපතිවරයකුගෙන් හා සමානුපාතික නියෝජනය යටතේ පත්වූ කෙස්ගහක පරතරයකින් යුතු බහුතරයකින් සමන්විත පාර්ලිමේන්තුවකින් සම්පූර්ණ පාර්ලිමේන්තු කාලයම දුවා ගන්නට හැකිවී තිබේ. එමෙන්ම කේවල මන්ත්‍රී ආසන ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි කුඩා පක්ෂ ගණනාවකට පවා සමානුපාතික නියෝජනය නිසා පාර්ලිමේන්තු වරම් ලැබී ඇත. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ඉල්ලා විශාල හඬක් මතුවන්නට හේතු වූයේ සමානුපාතික නියෝජන ක්‍රමයටත් වඩා ජන අප්‍රසාදයට පත් මනාප පොරය මතින් පැතිරී ගිය දූෂිත දේශපාලනයයි.

රටේ කඩිනම් අවශ්‍යතාව වී ඇත්තේ වඩාත් පිරිසිදු හා වියදම් අඩු පහසු මැතිවරණ ක්‍රමයකි. කෙසේ වෙතත් කිසිදු දේශපාලන පක්ෂයක් මෙකී අවශ්‍යතාව ඉටුකරනු පිණිස ස්වකීය මරණ සහතිකය ලියාගන්නට කැමැති නොවනු ඇත. මේ නිසා කේවල මන්ත්‍රී කොට්ඨාස නියෝජනය ජනප්‍රියත්වයක් ලබා තිබුණ ද නැවතත් පැරණි පුරුදු මැතිවරණ ක්‍රමයට යෑම ප්‍රගතියක් ගෙනදෙන්නේ නැත. මේ තත්ත්වය යටතේ වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ හා කේවල මන්ත්‍රී ක්‍රමයේ මිශ්‍රණයක් වූ මැතිවරණ ක්‍රමයකි. මේ සම්බන්ධයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවක් ඇතිවිය.

සමානුපාතික නියෝජනය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගැනිම උගහට විය. මතභේද හටගැනුණි.

යෝජිත සෑම ක්‍රමයක් යටතේම මන්ත්‍රි කණ්ඩායම් දෙකක් විය. එනම් මැතිවරණ කොට්ඨාස මට්ටමින් තේරී පත්වන්නන් සහ ලැයිස්තුවකින් පත්වන්නන් වශයෙනි. සමාන්තර යෝජනා මාලාවල එක් එක් කාණ්ඩයේ ප්‍රතිඵල වෙනස් විය. එබැවින් ලැයිස්තු කාණ්ඩය පමණක් සමානුපාතික නියෝජනයෙන් තෝරාගනු ලැබේ. කෙසේ වෙතත් මේ ක්‍රමයෙන් කොට්ඨාස මට්ටමින් වැඩි වාසි ලබාගතහැකි දැවැන්ත පක්ෂවලට වාසියක් ලැබේ. අනෙක සමානුපාතික නියෝජනයට ආසන්න ප්‍රතිඵලයක් ගෙනදෙන මිශ්‍ර ක්‍රමයකි. රටේ සමස්ත ජාතික ඡන්ද ප්‍රකාශයට ආසන්න අනුපාතයක් දැක්වෙන පරිදි එක් එක් පක්ෂයේ මන්ත්‍රි සංඛ්‍යාව නිර්ණය කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තෝරා ගැනෙන සංඛ්‍යාවට අඩුගණන් පුරවාලීමට එක් එක් පක්ෂයෙන් ඉදිරිපත් කළ නම් ලැයිස්තු ප්‍රයෝජනයට ගනු ලැබේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්බන්ධයෙන් ගත් කළ පක්ෂ අතර එකඟතාවක් ඇති නොවු මූලික කාරණය මෙයයි.

වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රිවරුන් 203 දෙනකු සමානුපාතික නියෝජන ක්‍රමයෙන් තෝරා ගැනෙන්නේ ජාතික ලැයිස්තුවෙන් 29 දෙනකු හා දිස්ත්‍රික් මට්ටමින් 174 දෙනකු වශයෙනිි. කේවල ක්‍රමයට හෙවත් වැඩිම ජන්ද ඇත්තාට ආසනය හිමිවන පදනම යටතේ තෝරාගනු ලබන්නේ 22 දෙනකු පමණකි. එ් දිස්ත්‍රික්ක 22 හි බෝනස් මන්ත්‍රී ආසන වශයෙනි. මෙකී ක්‍රමවේද දෙක යටතේ පත්කර ගැනෙන මන්තී‍්‍ර සංඛ්‍යාව අනුව පක්ෂයක පාර්ලිමේන්තු නියෝජනය දැඩිලෙස වෙනස් විය හැකිය. එබැවින් මෙය තාක්ෂණික ප්‍රශ්නයක් පමණක් නොවේ. මා කලින් කි පරිදි දේශපාලනික වශයෙන් දිවි රැක ගැනිමේ අර්බුදයකි.

අනෙකුත් ආන්දෝලනාත්මක තාක්ෂණක ගැටලූ අතර ඡන්දදායකයාට ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදීමේ හැකියාව සහ අතිරේක ආසන ගණනක් ඇතුළු කිරීම ආදිය විය. ඇතැම් පක්ෂවලට අනුව ඡන්දදායකයාට පක්ෂයක් තේරිම සඳහා එක් පත්‍රිකාවකුත් ඡන්ද කොට්ඨාසයේ තමා කැමැති අපේක්ෂකයා තේරිම පිණිස තවත් පත්‍රිකාවකුත් ලබාදිම ගැටලූ රැසකට මුල පුරයි. ඔවුන් පවසන පරිදි එහිදි ඡන්දදායකයන් අතර වික්ෂිප්ත භාවයක් ඇතිවන්නා සේම ජාතිය කුලය ආදී වශයෙන් අපේක්ෂකයන් අතරද ප්‍රශ්න ඇතිවෙයි. පක්ෂයකට සමස්ත වශයෙන් ලැබුණු ජාතික ඡන්ද අනුපාතය නියෝජනය කළහැකිවන පරිදි අතිරේක මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබාදීමේ ක්‍රමය තවදුරටත් සංකිර්ණ ගැටලූ මතුකරයි. මෙකී ක්‍රමය අනුගමනය කරන ජර්මනියේ බන්ඩස්ටැග් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රි ආසන 598ක් වූ අතර පසුගිය මැතිවරණයෙන් පසු එය 600 දක්වා වැඩිකරන ලදී. කෙසේ වෙතත් අතිරේක මන්ත්‍රිආසන ක්‍රමය යටතේ මේ සංඛ්‍යාව 700 දක්වා වැඩිකිරිම නුසුදුසු යැයි දේශපාලන විශ්ලේෂකයෝ නොකියති. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරිමේ කර්තව්‍යයයේ සාර්ථකත්වයට මැතිවරණ ක්‍රමය ඉතා වැදගත් වන බැවින් ඉහත කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් අත්‍යවශ්‍යය.

සාමාන්‍ය තත්ත්ව යටතේ පාර්ලිමේන්තුවක් එහි පූර්ණ කාලයම ගත කළයුතු යැයි අපේක්ෂාවක් පවතින හෙයින් මැතිවරණ ක්‍රමය යෝජිත විධායක පාර්ලිමේන්තු ක්‍රමයට ද සම්බන්ධය. වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේදි මෙන්ම ප්‍රංශ ක්‍රමයේදි ද මේ අරමුණ ඉටුකරගන්නේ වැඩිම ඡන්ද ලබන්නාට අසුන හිමිකැරෙන ක්‍රමවේදය යටතේය. පළමු ඡන්දයේදි කිසිදු පාක්ෂිකයකුට අපේක්ෂිත බහුතරය නොලැබුණහොත් දෙවැනි ඡන්දයක් පැවැත්වීමේ ප්‍රතිපාදන ද ප්‍රංශ ක්‍රමයෙහි වෙයි. ශ්‍රී ලංකාවේ අප සතුව පවතින්නේ සෘජුවම තෝරාගන්නා ජනාධිපතිවරයකු හා ආරක්ෂාකාරී ලෙස සමානුපාතිකව තෝරාගැනෙන පාර්ලිමේන්තුවකි. අවාසනාවකට මේ ක්‍රමය පසුගිය කාලයේදි ඉතා නරක අන්දමින් අයුතු ලෙස යොදාගෙන ඇත.

ඡන්ද කොට්ඨාස මට්ටමින් අපට ලැබුණු ජනවරමින් ඉල්ලා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් යහ පාර්ලිමේන්තුවේ බලය සවිමත් කිරීමටත්ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු 1960 මාර්තු පාර්ලිමේන්තුව හැරුණු කොට මෙතෙක් ස්වකීය නිල කාලය ඇතුළත පාර්ලිමේන්තුවක බහුතර බලය අහිමිව ඇත්තේ පාර්ලිමේන්තු දෙකකට පමණ.. එනම් 1964 හා 2001 දී ය. මේ නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ රටාව ස්ථාවරත්වයක අවශ්‍යතාව පෙන්වයි.

ඉන්දියාව පාර්ලිමේන්තු පාලනයේ වගකිම බාරගත් දා පටන් මෙතෙක් අවුරුදු 69ක් තිස්සේ වෙස්ට්මිනිස්ටර් කැබිනට් පාලන ක්‍රමයේ රසය භුක්තිවිඳ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ වාර්තාව ඊට වෙනස්ය. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබූ අපි ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ අභ්‍යන්තර පාලන වගකීම දරන්නට පටන්ගතිමු. එකල දේශපාලන පක්ෂ නොවූයෙන් රාජ්‍ය සභාව විධායක කමිටු 7ක් තෝරාගත්තේය. එක් එක් කමිටුව සභාපතිවරයකු තෝරාගත් අතර ඔහු අමාත්‍යවරයා බවටද පත්වුණේ් ය. රාජ්‍ය සභාව විසින් සභානායකවරයා පත්කරගන්නා ලද්දේ ඇමැතිවරුන් අතුරිනි. මෙය එවක බ්‍රිතාන්‍යයේ චැනල් දිවයිනෙහි පැවැති විධායක ආණ්ඩුක්‍රමයට සමාන එකකි. දෙවැනි ලෝක යුද්ධය පෙර නොවු අසහාය ව්‍යවස්ථා වෙනසකට මුල පිරීය. ලංකාවේ ආඥාපති අද්මිරාල් ලේටන් ගේ සභාපතිත්වයෙන් යුත් යුද සභාවක් පිහිටුවන ලද අතර අමාත්‍යවරු ද එහි සාමාජිකයෝ වූහ. එය යුදසමය තුළ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවට වක්‍රාකාරයෙන් වගකියන ක්‍රමවේදයකි.

ආසියාවේ එවැන්නක් සිදුවූ එකම අවස්ථාව එයයි. අවාසනාවකට මේ තත්ත්වය ව්‍යවස්ථා විශාරදයන්ගේ අවධානයට ලක් නොවුණි. මේ පද්ධතිය අවුරුදු 15ක් පැවතිණි. එතැන් පටන් 1947 සිට 1978 දක්වා තිස් එක් අවුරුද්දක් පුරා අපට වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ කැබිනට් ආණ්ඩුවක් තිබිණ. අවසාන වශයෙන් එතැන් පටන් ගතවූ අවුරුදු 37ක කාලයේදී සෘජුව තෝරා පත්කර ගැනෙන විධායක ජනාධිපතිවරයකු ඇතුළත් දේශපාලන ව්‍යුහයක් අපි අනුගමනය කළෙමු. මේ අනුව බලන කල වෙස්ට්මිනිස්ටර් ක්‍රමය සම්බන්ධයෙන් අපට ඇති අත්දැකීම සීමිතය. වසර 52ක් පුරා අප සතුව තිබුණේ වෙනත් ආකාරවල විධායක ආණ්ඩුක්‍රමයකි.

මේ වසරේදි විධායක ජනාධිපති ක්‍රමයේ රැඩිකල් වෙනසක් දක්නට ලැබිණ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පළාත් ඇමැති සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන ලද අතර අමාත්‍යවරුන් නම් කිරීමේ බලය පාර්ලිමේන්තුවේ සහය ලබන අගමැතිවරයා වෙත පැවරිණ. එසේම ව්‍යවස්ථා සභාවත් ස්වාධින කොමිෂන් සභා 9ත් පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම සම්බන්ධයන් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල වැඩිදුරටත් සීමා කළේය. වෛරී එදිරිවාදී දේශපාලනය වෙනුවට සාමකාමී සාමූහික වෑයමක් බවට දේශපාලන පද්ධතියක් හැරවීම සඳහා ජාතික ආණ්ඩුව මං පෙත් විවර කළේය. අවසන් වශයෙන් අධික්ෂණ කමිටු පිහිටුවීමටත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමටත් පක්ෂ නායකවරුන් ගත් තීරණය පාර්ලිමේන්තුවේ බලය වැඩිදුරටත් ශක්තිමත් කළේය.

දැන් අප මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ මෙතැනින් යා යුත්තේ කොතැනටද යන්නය.

අද විධායක බලය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයාය:

(අ සෘජුව

(ආ කැබිනට් ඇමැතිවරුන්ගේ උපදෙස් මත හෝ

(ඇ පළාත් ඇමැති මඩුල්ලේ උපදෙස් පරිදි එක් එක් පළාතේ ආණ්ඩුකාරවරුන් හරහා යනාදී වශයෙනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පසු අපට විකල්ප දෙකකින් එකක් තෝරා ගන්නට සිදුවනු ඇත.

1. කැබිනට් අමාත්‍ය මණ්ඩලයත් පළාත් ඇමැති මණ්ඩලත් අතර විධායක බලතල බෙදා හැරිම 13 වැනි සංශෝධනයෙන් දැඩිලෙස අපගමනය විමකි :

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඇ) වගන්තිය ප්‍රකාර උපදෙස් දීමේ අයිතිය ඇති පළාත් අමාත්‍යවරුන්ගේ මතයට යටත්ව අගමැතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් විධායක බලතල ක්‍රියාවේ යෙදවීම. එවිට වත්මන් ව්‍යවස්ථාව යටතේ මධ්‍යම රජයට සීමාකොට ඇති අගමැතිවරයාගේ බලය විධායක බලතල ද ඇතුළත් වන පරිදි පුළුල් කැරෙයි. උක්ත තත්ත්වය යටතේ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය විමර්ශනයට හා සමබර කිරීමට ක්‍රමවේදයක් ස්ථාපිත කළයුතුද යන පැනය මතුවෙයි.

ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය. 1975 දී විපක්ෂය සිරකිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා වැදගත් ප්‍රතිපාදන අත්හිටුවීමටත් හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා ට උපදෙස් දුන් අවස්ථා ඉතිහාසයෙහි සඳහන් ව ඇත.

මීළඟට මතු වන ප්‍රශ්නය නම් ජනතාව තමන්ට රාජ්‍ය නායකයා තෝරාගැනීම පිණිස තිබෙන අයිතිවාසිකම අත්හළ යුතු ද යන්නය.

එක්සත් රාජධානිය තුළ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය බිහිවූයේ පාර්ලිමේන්තුව ස්වකීය ආධිපත්‍ය බලය රජු ඉක්මවා පතුරුවාලීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසු හදිසියේම රාජත්වය ජර්මන් බස කතාකරන ප්‍රොතෙස්තන්ත්‍ර රජකුට ලැබීමත් සමග එක්සත් රාජධානි පාර්ලිමේන්තුව අගමැතිවරයා පත්කර ගැනීමේ බලය තමන් වෙත ලබා ගත්තේය. වෙනත් අයුරකින් පවසතොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හෝ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක ගේ කැමැත්ත ලබාගන්නා තැනැත්තා අගමැති බවට පත්වෙයි.

වත්මන් පාර්ලිමේන්තු තුළ හුදු ජනප්‍රියතාව මත පදනම්ව එක් එක් ඡන්ද කොට්ඨාසයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් නැත. පාර්ලිමේන්තු මැතිවරණය අගමැතිවරයකු තෝරාගැනෙන ඡන්දයක් බවට පත්වී ඇති අතර ජනතාව අගමැති ධුරයට සුදුසුම තැනැත්තා එහිදී බහුතර ඡන්දයෙන් පත් කරති. මේ තත්ත්වය යටතේ වඩාත්ම ජනප්‍රිය පක්ෂ නායකයා වෙතට ආන්තික ආසන ටික තල්ලූවී එයි. ඡන්ද කොට්ඨාස නියෝජිතයන් තේරීම ඔස්සේ බහුතර ජනතාව වඩාත් ජනප්‍රිය පුද්ගලයා අගමැතිවරයා බවට පත්කරති.

මෙය සෑම ප්‍රාන්තයක ම වැඩි ම ඡන්ද ලැබූවන්ගෙන් සැදුම්ලත් අමෙරිකානු ඉලෙක්ටෝරල් කොලිජ් (මැතිවරණ පර්ෂද) ක්‍රමයට සමානය. මේ නිසා ඡන්දදායකයාට අගමැතිවරයා තේරීමට ඇති අයිතිය අගමැති ධුර අපේක්ෂකයන් තේරීමේ අයිතිය මගින් දැඩි ලෙස ආරක්ෂාවෙයි.

එ් කොයිහැටි වෙතත් පාර්ලිමේන්තු පාලනයේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය කාලයත් සමග විකාශනය වු ආකාරය සලකා බලමු.

1. ජර්මන් ව්‍යවස්ථාව මගින් චාන්සලර්වරයා තෝරාගැතීමේ බලය බන්ඩස්ටග් (පාර්ලිමේන්තු) සභාවේ බහුතර සාමාජික පිරිස වෙත පවරා ඇත. බන්ඩස්ටගයට එසේ චාන්සලර්වරයකු පත්කරගන්නට අසමත් වන කල්හි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා අලූතින් මැතිවරණයක් කැඳවිය හැකිය.

2. දකුණු අප්‍රිකාවේ අගමැති ධුරය ජනාධිපති ධුරය සමග සම්බන්ධකොට පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයට පත්කොට ඇත. එය පාර්ලිමේන්තු ජනාධිපති ධුරයකි. ඔහු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවෙයි. ජනාධිපතිවරයා ජාතික සභාවේ සාමාජිකයකු වන අතර එකී සභාවේ බහුතර ඡන්දයෙන් ජර්මනියේ මෙන් ජනාධිපතිවරයා තෝරාගනු ලැබේ. කිසිදු සාමාජිකයකුට ජාතික සභාවේ විශාල බහුතරයක් දිනාගත නොහැකි වුවහොත් දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරියා සේ සැලකේ.

3. පාර්ලිමේන්තු ජනාධිිපති ක්‍රමය මුලින්ම හඳුන්වාදෙන ලද්දේ බොස්ට්වානා රාජ්‍යයටය. පාර්ලිමේන්තුවට නාම යෝජනා දෙන අතරම ජනාධිපති ධුරය සඳහා ද නාමයෝජනා භාරගැනේ. පාර්ලිමේනතුවට තරග කරන සෑම අපේක්ෂකයකුට ම ජනාධිපති ධූරාපේක්ෂකයකුට සහය පළ කිරීමේ අයිතිවාසිකම ඇත. පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු සෑම මන්ත්‍රීවරයාම තමා සහය පළ කරන බව කී ජනපති ධුර අපේක්ෂකයාට ඡන්දය ලබාදිය යුතුය. මනාප අනුව තුන්වැනි ස්ථානයට හා ඊට පහතට වැටෙන අපේක්ෂකයන් ඉවත් කළ පසු ඉතිරිවන මුල් ජනපති අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු විශාල බහුතරයක් දිනාගන්නට අසමත් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි.

4. අගමැතිවරයා සෘජුවම තෝරා පත්කර ගැනීම : මෙය සිදුකළ හැක්කේ සුළු පක්ෂවල සහාය ලබන ප්‍රධාන පක්ෂ දෙකක් පමණක් තිබෙන විටය. ඊශ්‍රායලයේ ප්‍රධාන පක්ෂ දෙකක් නොමැතිවීම නිසා මේ ක්‍රමය අසාර්ථක විය. පාර්ලිමේන්තුව තුළ සමාන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂ තුනක් හතරක් ඇතිවීමෙන් මැතිවරණ ක්‍රමය කැඞීබිඳී ගියේය. මැතිවරණ විශ්ලේෂකයන් පවසන අන්දමට ප්‍රධාන පක්ෂ දෙකක් ප්‍රවර්ධනය කැරෙන මැතිවරණ සංශෝධන නොමැතිවීම මේ අසාර්ථකත්වයට හේතුවිය.

මේ සෑම ක්‍රමයකින්ම ඡන්දදායකයාට තමාගේ මනාපය පරිදි අගමැති අපේක්ෂකයකු තෝරාපත්කර ගන්නට අයිතියක් ලබාදෙනවා පමණක් නොව ජර්මනියේ මෙන් ආණ්ඩුව එ්ක පාක්ෂික ද බහු පාක්ෂික සන්ධානයක් ද නැතහොත් ජාතික රජයක් විය යුතුද යන්න තීරණය කිරීමටත් වරම් ලබාදෙයි.

තවද විධායකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් අධීක්ෂණ බලයක් පවතින තාක් දුරට මේ ඕනෑම ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. එය පාර්ලිමේන්තු දේශපාලනයේ එකඟතාව සම්මුතිය මත පදනම්වූ සාමකාමී ප්‍රවේශයකට වැඩිමනත් ශක්තියක් ලබාදෙයි මේ නිසා මූලික ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ජාතික එකඟතාවක් ගොඩනැඟීමෙහි සමත් වූ ද ශ්‍රී ලංකාව සඳහා වඩාත්ම සුදුසු වූ ද විධායක ආණ්ඩුක්‍රමය තීරණය කිරීමේදී වෙස්ට්මිනිස්ටර් ක්‍රමයත් අනෙකුත් විකල්පත් අපේ පරීක්ෂාවට හා අධ්‍යයනයට ලක් කිරීම වැදගත්ය. අපට අවශ්‍ය වන්නේ සියලූ පක්ෂවලට එකඟවිය හැකි ප්‍රතිපත්ති රාමුවකි. එවැන්නක් නොමැති විට සිදුවන්නේ කුමක්ද යන්නට අධ්‍යාපනය කදිම නිදසුනකි.

කෙසේ වෙතත් මගේ කතාව අවසන් කිරීමට මත්තෙන් අවධානය යොමුකළ යුතු තවක් වැදගත් කරුණු කිහිපයක් වෙයි. ගතවූ දශකයේදී මෙරට අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය අධිකරණය කෙරෙහි වූ ජනතා විශ්වාසය බිඳ වැටීමට තුඩු දුන්නේය. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තම නීතිය බවත් ඊට පටහැනි සෙසු සියලූ නීති අවලංගු වන බවත් ප්‍රකාශ කිරීමට බාධකයක් විය. මන්ද එවැනි තීරණයක් දෙන ආයතනය ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය. එක් විකල්පයක් වන්නේ මෙකී කාර්යය උදෙසා වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමය. එවැනි තත්ත්වයක් යටතේ අපගේ අවධානය යොමුවිය යුතු කරුණු දෙකකි. පළමුවැන්න විනිශ්චයකරුවන්ගේ නිල කාලයයි. එය වයස් සීමාවක් වශයෙන් දැක්විය යුතුද නැතහොත් කාල පරාසයක් වශයෙන් දැක්විය යුතුද? දෙවැන්න ව්‍යවස්ථා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළහැකි ප්‍රායෝගික ක්‍රමවේදයකි.

ඉහත සඳහන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට ක්‍රියාත්මක විය හැකි අවකාශය පරිසරය දේශගුණය හා සංස්කෘතිය නිර්මාණය කිරීම මත ද රඳා පැවතිය යුතුය. දිගු කලක් තිස්සේ ඇදී ගිය ත්‍රස්තවාදී යුද්ධයත් මෑත කාලයේදී විපක්ෂය නැඟී සිටීමට එරෙහිව එල්ල කරන ලද දැඩි පීඩනයත් ප්‍රජාතාන්ත්‍රික ආයතන බොහොමයක් දුර්වල කරන්නට බලපෑවේය. මා කතාකළේ අදිකරණ පද්ධතිය ගැන වුවත් දේශපාලන පක්ෂ පූජක පක්ෂය ජනමාධ්‍ය හා සිවිල් සමාජය කෙරෙහිද මේ බලපෑම එල්ල විය.

ඕනෑම ප්‍රජාතාන්ත්‍රික සමාජයකට ජනතාවගේ විවිධාකාර අදහස් උදහස් ප්‍රකාශකිරිමටත් මතවාද නියෝජනය කිරීමටත් දේශපාලන පක්ෂ අවශ්‍ය වේ. පසුගිය දශකයේ දී අධිකරණයේ හා ආණ්ඩුගැති මාධ්‍යයේ උපකාර ඇතිව දේශපාලන පක්ෂ දුර්වලකිරිමට ගත් වෑයමින් දේශපාලන පක්ෂ බොහොමයකට පසුබෑමක් ඇති විය. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂිතව හා ස්ථාවරව තබාගැනීම සඳහා මට අත්විිඳින්නට සිදුවු දුක්ගැහැට මුහුණ පාන්නට සිදුවූ තර්ජන වෙනත් කිසිදු පක්ෂ නායකයකුට නොලැබේවා යයි පතමි. මේ අවස්ථාවේදී එක් උදාහරණයක් පවසන්නට කැමැත්තෙමි. වරක් මා හට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ලිපියක් ලැබිණ. එහි දැක්වුණේ අපගේ පක්ෂ මූලස්ථානය කෝට්ටේ ඓතිහාසික දිය අඟලට මායිම්ව පිහිටා තිබෙන බැවින් එය කඩා ඉවත් කරන්නට අවශ්‍ය බවයි. කෙසේවෙතත් පුරාවිද්‍යා නිලධාරීන් ඔවුනට අවශ්‍ය ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා කෝට්ටේ දිය අඟලේ ගල් ගෙනගොස් ඇති බව මා අගමැති වූ පසු මගේ නියෝජ්‍ය ඇමැතිවරුන් විසින් සොයාගනු ලැබිණ. මේ නිසා පශ්චාත් නාසි ජර්මානු ආකෘතියට සමාන ආකාරයකින් අපේ දේශපාලන පක්ෂ යළි නඟාසිටුවීම අවශ්‍යය. දේශපාලන පක්ෂවලට හා දේශපාලන අධ්‍යාපනයට මහජන අරමුදල් රැස්කිරීමත් මීට ඇතුළත්ය.

මේ අයුරින්ම ආගමික ආයතන ද තර්ජනයට ලක්විය. රටේ විශාලතම නිකාය වන සියම් නිකායේ මල්වතු පාර්ශ්වයටත් දෙකඩ වීමේ තර්ජනයට මුහුණපාන්නට සිදුවිය. ශ්‍රී ලංකා කිතුනු පල්ලියට ද සමාන තර්ජන ඇතිවිය. යුද්ධයෙන් පසු කෝවිල් ප්‍රතිසංස්කරණය කළ නොහැකි විය. මුස්ලිම් දේවස්ථානවලට ප්‍රහාර එල්ලවිය. එම නිසා වන්දනාමාන කිරීමේ අයිතියට රජය කිසිදු ආගමික සංවිධානයකට මැදිහත් වීම වළක්වාලන වගන්තියක් එකතු කළයුතුය.

ජනමාධ්‍ය බියවැද්දුවේ හා මර්දනය කළේ කෙසේදැයි අපි සියලූ දෙනාම දනිමු. එය එ්කාධිපතිවාදී රජයක කැපී පෙනෙන ලක්ෂණයකි. මාධ්‍යවේදින් 44 දෙනකුට ජීවිත අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙකුට මාධ්‍ය නිදහස සුරැකීම සඳහා වැඩකිරීමේ විපාක වශයෙන් රටහැර පළායන්නට සිදුවිය. අවසානයේදී මාධ්‍ය අයිතිවාසිකම් රැකගන්නට සම්ප්‍රදායික මාධ්‍යය අසමත් වනවිට වාර්තා කිරීමේ අයිතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්නට සිදුවුණේ සමාජ මාධ්‍යජාලයටය.

මාධ්‍ය නිදහස ප්‍රතිෂ්ඨාපණයේ දී

(අ රාජ්‍ය මාධ්‍ය විසින් අපක්ෂපාතීව කරුණු වාර්තා කිරීම සහ

(ආ සඵලදායි මාධ්‍ය පැමිණලි කොමිසමක් හා ස්වාධින විද්‍යුත් මාධ්‍ය කොමිසමක් මගින් පෞද්ගලික මාධ්‍යවල මාධ්‍ය මුලධර්ම නඟාසිටුවිම තහවුරු කළ යුතුය.

අද වනවිට රජය මෙන්ම දැවැන්ත මාධ්‍ය ආයතන ද මාධ්‍ය නිදහසට තර්ජනයක් එල්ලකරන මට්ටමට පැමිණ ඇත. විශේෂයෙන් මෙය සිදුවන්නේ මාධ්‍ය ආයතන එ්වා අයත් ව්‍යාපාරික ආයතන හා එ්වායෙහි අරමුණු නියෝජනය කරන විටය. පසුගිය දශකයේදී දැඩි පීඩනයකට යටත්ව සිටි සිවිල් සමාජය ශක්තිමත් කිරීමට හා ප්‍රවර්ධනයට රජය ක්‍රියාකාරී ලෙස ඉදිරිපත්විය යුතුය. එමනිසා නව ව්‍යවස්ථාව ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත්ව නැඟී සිටින ආකාරයේ පරිසරයක් හා සංස්කෘතියක් බිහිකළ යුතුය. මන්ද විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙක අතර

සමබරව පැවැතීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ නොහැකිය. සිවිල් සමාජය හා අනෙකුත් ප්‍රජාතාන්ත්‍රික ආයතනවල දායකත්වයද අවශ්‍යය. මේ සංදර්භය තුළ මෙකී ප්‍රජාතාතන්ත්‍රික ආයතනවල ආරක්ෂාව සහතික කරනු පිණිස යොදාගතහැකි එක් පියවරක් වන්නේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවූ සිවිල් සමාජයේ පුද්ගලයන්ගෙන් සැදුම්ලක් ද්විතිය මණ්ඩලයක් පිහිටුවිමය. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් කාන්තා හා තරුණ කණ්ඩායම් ද ඇතුළුව බිම් මට්ටමේ සංවිධාන සමාන හා සමානාත්මතා සංයුතියකින් ඊට ඇතුළත් කළ යුතුය. මෙකී ද්විතීය මණ්ඩලයට

(අ පාර්ලිමේන්තුවට හා රජයට උපදෙස් දීමටත්

(ආ පනත් යළි සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කිරීමටත් බලය ලබාදිය යුතුය.

මෙබඳු ද්විතිය මණ්ඩලයකින් ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසේ. පළාත් සභා මගින් පත්කරනු ලබන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ද්විතීය මණ්ඩලයකින් මෙහිදී අපේක්ෂිත අරමුණුු ඉටුවන්නේ යැයි මම නොසිතමි.

වර්ෂ 1835 දී ලිඛිත ලියැවිල්ලක් මත පදනම් වූ නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත පළමු ආසියානු රට බවට පත්විය. එ් 1835 රාජ්‍ය නියෝගයයි. එසේම ව්‍යවස්ථා අණපනත් තීරණය කිරීමේ වඩාත් නවතාවකින් යුතු ආසියානු රාජ්‍යය වූයේද ශ්‍රී ලංකාවයි. අපි එවැනි ප්‍රවේශයක් කිසිසේත් ඉවත දැමිය යුතු නොවෙමු. යමක් සුදුසු නම් නව සොයාගැනීමක් ලෙස යොදාගැනිම දිගටම කරමු. මේ නිසා කතාව අවසන් කරන්නට පෙරාතුව අලූත් ආරක යෝජනාවක් කරන්නෙමි.

අපි පොදු සම්මුති සාකච්ඡා ප්‍රවර්ධනය කැරෙන යන්ත්‍රණයක් පිහිටුවා ගනිමු. හොඳම උදාහරණය යුරෝපා සභාවයි. සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගෙන් එය සමන්විතයි. යුරෝපා සංගමයේ පොදු දේශපාලන දිශානතිය හා ප්‍රමුඛතා නිර්ණය කිරීම හා අර්ථදැක්වීම මේ සභාවේ කාර්යභාරයයි. මෙකී සභාවට ව්‍යවස්ථාදායක හෝ විධායක බලයක් නැතත් එහි තීරණවලට පොදු සම්මුතියක් හෝ විශේෂ බහුතරයක් අවශ්‍යයි. මෙමගින් සභාවට අවශ්‍ය දේශපාලන සවිය ලැබෙනවා. අගමැති ප්‍රධාන අමාත්‍යවරුන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත මෙවැනිම සභාවක් ශ්‍රී ලංකාවටත් පිහිටුවාලිය හැකියි. දවසේ අවශ්‍යතාව වන්නේ ප්‍රධාන ප්‍රතිපත්ති පිළිබඳ පොදු සම්මුතියයි. විශේෂයෙන් ම අපේ දේශපාලන පද්ධතියට එවැන්නක් සපයන්නට නොහැකි නිසයි එය වැදගත් වන්නේ. සමෘද්ධිය හා සාර්ථකත්වය ස්ථාවරත්වය මත රඳා පවතිනවා. අතිශය තරගකාරී සමාජ අලෙවිකරණ ආර්ථිකයක් පිහිටුවීමත් ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීමත් ජාතික එකමුතුවක් ගොඩනඟාගැනීමත් යන මේ සියල්ලම රඳා පවතින්නේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලනික පොදු සම්මුතියක් ඇති කර ගැනීමට දේශපාලන යාන්ත්‍රණයට ඇති හැකියාව මත යි.

පාර්ලිමේන්තුවට නිදහසේ සාමකාමීව එක්රැස්වී සාමකාමීව සාකච්ඡා කොට සාමකාමීව විසිර යන්නට හැකි පරිසරයක් දේශපාලන පද්ධතිය විසින් නිර්මාණය කරනු ලැබු විට මේ සියල්ල සිදුවනු ඇත. එම නිසා මෙය අපේ ඉලක්කය විය යුතුයි. එබැවින් මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ අනාගතය රඳාපවතිනු ඇත.

dinamina