චතුර ඉක්මනට පීදෙන්න එපා

මහින්ද රාජපක්ෂ ආන්ඩුව බිඳ වැටීමට බලපෑ ප‍්‍රධාන සාධකයක් බවට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන් තිදෙනාගේ හැසිරීම හා පවුලේ ඥාතීන්ගේ ක‍්‍රියා කලාපය බව බොහෝ දෙනෙකු නඟන තර්කයකි. පසුගිය පාලන කාලය තුළ රාජපක්‍ෂ පුතුන්ට හා ඇමැතිපුතුන්ට තම තමාහට සිතූ දේ කිරීමට නිදහස තිබිණි. රාජ්‍ය දේපළ තමාට අවශ්‍ය ආකාරයෙන් පරිහරණය කිරීම, විරුද්ධවාදීන්ට සිතූ පරිදි හිරිහැර කිරීම, කාන්තාවන් කැමති පරිදි පරිහරණය කිරීම ඔවුන් භුක්ති විඳි වරප‍්‍රසාදවලින් කිහිපයකි. ක‍්‍රීඩා තරගයකදී වුවද රාජපක්‍ෂ පුතුන් පරාජය කිරීමේ හැකියාවක් ප‍්‍රතිවාදීන්ට නොතිබිණි. එසේ කළේ නම් එය ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට ජීවිත තර්ජන ගෙන ඒමට තරම් කරුණක් වන තරම් විය. මොවුන් සහභාගි වූ තරගවලදී විනිසුරුවරුන් තීරණ ලබා දිය යුතු වූයේ ද රාජපක්‍ෂ පුතුන්ගේ කැමැත්ත අනුවය. එපමණක් නොව මේ කාලය තුළ රටේ සියලූම අංශ රාජපක්‍ෂ පවුල නමැති බූවල්ලාගේ අඩුවලට සිරවී තිබිණි.

පොදු අපේක්‍ෂක සංකල්පය සමඟ රටේ සියලූම ප‍්‍රගතිශීලීන් පෙරට එන්නේ මේ බූවල්ලාගෙන් රට බේරාගැනීම සඳහා ය. මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනය පරාජය කිරීමේ අභියෝගය භාර මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ නොබියව ආණ්ඩුවෙන් එළියට පැන සටන් කළ අය අතුරින් ප‍්‍රබලම චරිතයක් වූයේ රාජිත සේනාරත්න ඇමැතිවරයා ය. එහෙත් ඔහුට තමන් කියූ කෙරූ දේ අමතක විය. ඔහුගේ පුත‍්‍රයා වන චතුර සේනාරත්න ද දේශපාලනයට ගෙනැවිත් සේනාරත්න දේශපාලන පවුල් සමාගමකට ඔහු ද මුල්ගල් තැබීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස බලය ලබා ගත්තාට පසුව චතුර සේනාරත්න විසින් ආදර්ශයට ගනු ලැබ තිබුණේ තම පියාට වඩා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ චරිතය ය. එනම් ඔහු මන්ත‍්‍රීවරයකු බවට පත් වූ සැණින් ම තම බලය තම පක්‍ෂයේ ම අයට පෙන්වීමට පටන් ගෙන ඇත. එනම් ඔහු පසුගිය දා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන කාවින්ද ජයවර්ධන සමඟ ද ගැටුමක් ඇති කරගෙන තිබිණ. මේ ගැටුමෙන් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවන් පිරිසකට රාගම පොලිසියට ගොස් පොලිසිය තුළදීම මන්ත‍්‍රීවරයා මරණීය තර්ජනය කළ බවට වාර්තා පළ විය. මේ අවස්ථාවේ මොහු පොලිසියේ රාජකාරියටද බාධා කරමින් පොලිසිය තුළ යකා නටා ඇත.

මීට අමතරව චතුර සේනාරත්න කොළඹ නගරයේ කප්පම් එකතු කරන බවටද චෝදනාවක් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ලංකා ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇත. 2015/09/21 දින ජනාධිපතිවරයා වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලංකා ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනයි. ඔහු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න ගේ සභාපතීත්වයෙන් හා ස්වර්ණලතා මහත්මිය ලේකම් ධුරය හදාරණ සමස්ත ලංකා ස්වයං රැුකියා සමිති සම්මේලනය නම් සංවිධානය විසින් මේ මුදල් එකතු කිරීම සිදු කර ඇති බවය.

මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ කොළඹ නගරයේ පදික වෙළෙඳුන් රවටාගෙන කෝටි ගණන් මුදල් හම්බකළ පුද්ගලයා වූයේ ස්වයං රැුකියා ලාභීන්ගේ සංගමයේ සභාපති වූ මහින්ද කහඳගමගේ ය. මොහුගේ කාලය තුළ පදික වෙළෙඳුන් නගර සභාවට ලබා දිය යුතු බදු මුදල් ද වංචා කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි ගණනාවක් ඉදිරිපත් වී ඇතත් ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් ඒ කාලය තුළ සිදු නොකැරිණි. ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලයේ කොළඹ නගරයේ ආණ්ඩුවේ වුවමනාව මත සිදු වූ බොහෝ කඩාකප්පල්කාරී ක‍්‍රියාවලට සෙනඟ ගෙනෙන පුද්ගලයා වූයේ මහින්ද කහඳගමගේ වීම නිසාය.
ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කරන අන්දමට චතුර සේනාරත්න විසින් මේ වන විට රඟ දක්වමින් සිටින්නේ මහින්ද කහඳගමගේ ගේ චරිතයය. සුනිල් ජයවර්ධන පවසන ආකාරයට චතුර සේනාරත්න මේ වන විටත් කොළඹ නගරයේ පළමු හරස්වීදිය දෙවන හරස්වීදිය තුන් වන හරස්විදිය හතරවන හරස්වීදිය යන හරස්වීදිවල පදික වේදිකාවේ කඩදැමීමට අවසර ලබා දී ඇත. මෙසේ අවසර ලබා දී ඒ පුද්ගලයන් තම සංගමයට බඳවාගෙන ඇත. මොවුන් සමිතියට බඳවා ගැනීමේ දී සමාජික මුදල් වශයෙන් රුපියල් 200කුත්, සමිතියට බැඳීම සඳහා ඉල්ලූම් පත‍්‍රයක් ලබාගැනීමේ දී රුපියල් 1000 සිට ඉහළට මුදල් අය කරන බවට ද සුනිල් ජයවර්ධන චෝදනා කරයි.

මෙහිදී මතුවන ප‍්‍රශ්නය වන්නේ චතුර සේනාරත්නට කොළඹ නගරයේ පදික වේදිකාව වෙළෙඳුන්ට ලබාදීමට ඇති බලය කුමක් ද යන්නය. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන නවක මන්ත‍්‍රීවරයෙකුට කොළඹ නගරයේ පදික වේදිකාව වෙළෙඳුන්ට ලබාදීමට කිසිදු ආකාරයක නෛතික බලයක් නැත. සුනිල් ජයවර්ධන මහතා පවසන අන්දමට චතුර සේනාරත්නගේ සංවිධානය විසින් කොළඹ නගරයේ පදික වෙළෙඳුන්ගෙන් මුදල් අය කිරීමක් සිදු කළේ නම් එය කප්පම් ගැනීමකි. මන්ද කොළඹ නගරයේ කිසිදු වෙළෙඳ සංකීර්ණයකින් සහ පදික වෙළඳුන්ගෙන් මුදල් අය නොකරන ලෙස මීට පෙර අධිකරණ නියෝග යක් පනවා තිබීමය. ඊට හේතුවයි.
පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එහෙත් කලක පටන් ම කොළඹ හා තදාසන්න නගරවල පදික වේදිකාව පවතින්නේ වෙළෙඳ සංකීර්ණයක් ලෙසය. බොහෝ විට කොළඹ නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම කිරීමට නම් පාතාලයේ හා දේශපාලනයේ සහායද අවශ්‍ය විය. අතීතයේ පටන්ම කොළඹ නගරයේ පදික වෙළෙඳුන්ට සිදු වූයේ කාගේ හෝ දේශපාලනඥයකුගේ රැකවරණය යටතේ තම ව්‍යාපාරය කරගෙන යෑමටය. බොහෝ විට දේශපාලන බල පෙරළිත් සමඟ පදික වේදිකාවේ වෙළෙඳාම් කරන වෙළෙඳුන් ද වෙනස්වීම දේශපාලන සාධකයක් විය. මේ වෙළෙඳුන්ට නායකත්වය දෙන දේශපාලනඥයා හැසිරුණේ කොළඹ නගරයේ චණ්ඩියා ලෙසය. කලක් කොළඹ නගරයේ දේශපාලන චණ්ඩියාගේ භූමිකාව රඟදැක්වූයේ මර්වින් සිල්වා ය. ඔහුගෙන් දුමින්ද සිල්වා ට මාරු වූ මේ භූමිකාව අවසානයේ දී රඟ දැක් වූයේ මහින්ද කහඳගම ගේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව විරෝධතා කිරීම, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට විරුද්ධ උද්ඝෝෂණ කිරීම වැනි ආණ්ඩුවේ දේශපාලන මැර වැඩවලට මේ පිරිස අවසන් වශයෙන් ගෙන ගියේ මහින්ද කහඳගමගේ ය.

පදික වේදිකාවේ වෙළෙඳාම් කරන පිරිස්වලට දිවි පැවැත්ම උදෙසා වන මේ කටයුත්ත වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් අවශ්‍යව ඇතත් එය ක‍්‍රියාත්මක කිරීමට වගකිව යුත්තන් ඉදිරිපත් වන්නේ නැත. කොළඹ නගරයේ පදික වෙළෙඳුන් වෙනුවෙන් කඩ කාමර 468ක් අඩි 100 මාර්ගයේ ඉදි කර වසර තුනක කාලයක් ගත වී ඇතත් තවම බෙදා දී නැත.
පසුගිය කාලයේ පදික වෙළෙඳුන් වෙනුවෙන් ඉදි කළ කඩකාමරවල අයිතිය බොහෝ විට පැවරුණේ දේශපාලකයන්ට ඉහළ පොලිස් නිලධාරීන්ට පාතාලයේ බලවතුන් ඇතුළු යමක්කමක් කළ හැකි ප‍්‍රබලයන්ටය. පදික වෙළෙඳුන්ට සිදු වූයේ මොවුන්ගෙන් කුලියට කඩ ලබා ගැනීමටය.

දැන් පදික වෙළෙඳුන්ගේ ප‍්‍රශ්නය මුල්කර ගනිමින් මේ ආණ්ඩුවේ කොළඹ දේශපාලන චණ්ඩියා වීමට උත්සාහ කරන්නේ චතුර සේනාරත්නය. ඔහු දේශපාලනයට පැමිණි කෙටි කාලය තුළ ඔහුගේ අවකල් ක‍්‍රියා පිළිබඳ ව සිද්ධින් කිහිපයක් වාර්තා විය. ‘කවියෝ කියන්නේ ඔක්කොම නපුංසකයෝ නපුංසකයන්ට ඔහු වෙනත් වචනයක් භාවිත කර ඇත. කියා චතුර සේනාරත්න උපුල් සේනාධිරිගේ නම් කවියාට දුරකතනයෙන් බැණ වැදී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරයේ මුල් අවස්ථාවේදීය. එසේ ම මොහු පොලිස් කූඩුවේ සිටි සැකකරුවන් පිරිසකට බැණවැදී ඇත්තේ විජේවීර මැරුවේත් අපි. උඹලව අපිට වැඩක් නෙමෙයි කියාය.

චතුර සේනාරත්න මේ විදියට හැසිරෙන්නේ ඔහුගේ පියාගේ ඇමැතිකමේ බලය නිසා බලයෙන් උමතු වී වන්නට ද පුළුවන. එසේත් නැතිනම් ළාබාල වියේදීම ලැබුණ මන්ත‍්‍රීකම මොහුට බරක් වීම නිසා ද? එසේත් නොමැතිනම් මොහු ආදර්ශයට ගෙන ඇත්තේ මර්වින් සිල්වලා, දුමින්ද සිල්වලා, චන්දන කත‍්‍රිආරච්චිලා වැනි චරිත වීමට ද ඉඩ ඇත. කෙසේ වුවද වැරැුදි පාරේ ගමන් කරමින් සිටින චතුර සේනාරත්න නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීම ඇත්තේ පියා වන රාජිත සේනාරත්න ඇමැතිවරයාටය. ඒ කෙසේ වුවද කප්පම් ගැනීම සම්බන්ධයෙන් චතුර සේනාරත්නගේ සමස්ත ලංකා ස්වයංරැුකියා සමිති සම්මේලනයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමේ වගකීම ආණ්ඩුව සතුව ඇත.

මේ පිළිබඳව කරුණු විමසීමට චතුර සේනාරත්න මහතා ඇමතුවත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

chathu

ජනක විජේගුණතිලක