කරුංකා රවීගේ වාහන ජාවරම

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ “මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය“ මගින් මහා පරිමාණ වාහන ගෙන්වීමේ වංචාවක් හසු කරගෙන ඒ පිළිබඳව පරීක්ෂණ අවසන් කර ඇති අවස්ථාවක සුඛෝපභෝගී ජීප් රථ 189ක් මුදා හැරීමට මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතා සෘජුව මැදිහත් වී ඇති බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වේ. මෙම වාහන සංඛ්‍යාව හාරසීයයක් බව ඇතැම් වාර්තාවල සඳහන් වන අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ එය හත්සීයයක් බවය. නමුත් තහවුරු වී තිබෙන්නේ රේගුවේ මධ්‍යම පරීක්ෂණ කාර්යංශය විමර්ශන අවසන් කර ඇත්තේ වාහන 189කට අදාළව බවය.

මුදල් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් මෙම සුඛෝපභෝගී ජීප් රථ මුදා හැරීම නිසා රේගුවට රුපියල් කෝටි 118කට අධික අලාභයක් සිදු වී ඇති රේගු ආරංචි මර්ගවලින් තහවුරු වේ.

මෙම සුඛෝපභෝගී වාහන තොගය මේ වනවිට හම්බන්තොට වරායට ගොඩබා තිබෙන අතර නිවැරදි වටිනාකම් සඟවා ගෙන එනු ලැබූ බවට ”මධ්‍යම පරීක්ෂණ කාර්යංශය” මගින් තහවුරු කරගෙන තිබේ. ලීටරයකින් කිලෝමීටර 4ක් 5ක් පමණක් ධාවනය කළ හැකි එක් වාහනයක වටිනාකම ලෙස රේගුවට ඉදිරිපත් කර ඇත්තේ ඩොලර් 26,500කි. එහෙත් එම වාහනයක සත්‍ය වටිනාකම ඩොලර් 47,463ක් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.

වාහනයක සත්‍ය වටිනාකම හෙළි කළේ නම් රුපියල් එක්කෝටි විසිනව ලක්ෂ පනස් අටදහස් තුන්සිය හැත්තෑවක් රේගු බදු වශයෙන් ගෙවීමට සිදු වන අතර (රු. 12,958,370.00) රේගුවට ඉදිරිපත් කර ඇති වටිනාකම අනුව අදාළ බදු මුදල වන්නේ රුපියල් පනස් එක් ලක්ෂ දාහත් දහස් එකසිය විසිතුනක් (රු.5,117,123.00)ක් පමණි. එක් වාහනයකින් රුපියල් හැත්තෑ අට ලක්ෂ හතලිස් එක් දහස් දෙසීය හතලිස් හතක (රු. 7,841,247.00) මුදලක් වාහන ගෙන්වීමේදී රේගුවට වංචා කර තිබේ.

 

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගෙන්වා ඇති මෙම වාහන තොගය රාජසන්තක කළ යුතු වුවත් එම වාහන තොගය මුදාහරින ලෙස මුදල් ඇමතිවරයා රේගුවට බලපෑම් කර තිබේ.

ravi

lankatruth