ඇවන්ගාඩ් ගිනි අවිවලට 2016 ට බලපත්‍ර ඉල්ලා ‘රිට්‌’ පෙත්සමක්‌

සීමාසහිත ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවා (පුද්ගලික) සමාගමේ සේවා කටයුතු පවත්වා ගෙන යැම සඳහා අවශ්‍ය වන සමාගම සතු ගිනි අවිවලට 2016 වර්ෂය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කොළඹ දිසාපතිට බල කරමින් නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා එම සමාගම හා එහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අභියාචනාධිකරණයට ඊයේ (18 දා) ‘රිට්‌’ පෙත්සමක්‌ ගොනු කළහ.

එම ගිනි අවිවලට 2016 වර්ෂයට බලපත්‍ර ඉල්ලා ඉදිරිපත් කළ අයෑදුම්පත් නිර්දේශ කිරීම ප්‍රතික්‍ෂේප කරමින් මිරිහාන කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේන් ගුණසේකර මහතා ගත් තීරණය අවලංගු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ සමාගමේ සේවා කටයුතු පවත්වාගෙන යැම සඳහා පාවිච්චි කරන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව මිලදී ගත් ගිනි අවි බවයි. 2002 වර්ෂයේ සිට ම 2015 දක්‌වා බලපත්‍ර ලබා ගැනීමේදී සමාගමට කිසිම ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවූ නමුත් 2016 වසරට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍ර නිර්දේශ කිරීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා විසින් කිසිදු සාධාරණ හේතුවක්‌ නොදක්‌වා ප්‍රතික්‍ෂේප කරන ලද බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

බලපත්‍රයක්‌ නැතිව ගිනි අවි ළඟ තබා ගැනීම බරපතළ වැඩ සහිත වසර 10 ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. විශේෂයෙන් මැෂින් තුවක්‌කුවක්‌ සහ රිපිටර් තුවක්‌කුවක්‌ ළඟ තබා ගැනීම ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ ලැබිය හැකි වරදකි. එ නිසා දැනට සමාගම සන්තකයේ තිබෙන මෙවර බලපත්‍ර නැති අවි 91 සම්බන්ධයෙන් පියවරක්‌ ගැනීම මෙම පෙත්සම පිළිබඳව විභාගයක්‌ පවත්වා අවසන් වන තෙක්‌ පොලිසියට තහනම් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේන් ගුණසේකර, පොලිස්‌ ස්‌ථානාධිපති සමන් ජයලත්, පරිපාලන අංශයේ ස්‌ථානාධිපති ඊ. එස්‌. ජී. ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි, කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් (දිසාපති) සුනිල් කන්නන්ගර සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

avangard

සරත් ධර්මසේන