මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි… කෝලිකුට්ටුයි

පීනසට කහ බත දිව්‍ය ඖෂධයක් දිය බත් කාලා බලන් කෙල්ලනේ ලස්සන වෙන හැටි… ආයුබෝවන් කියලා අපි එකිනෙකාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ දෑත් එක්කර පපුව මැදට ගෙන ආයුබෝවන් කියන්නේ “දස අකුසල්වලින් වැළකුණු මම මගේ හදවතින් ඔබට ආයුෂ වැඩෙත්වා යන ප්‍රාර්ථනය කරමි” යනුවෙනි.

ආයුෂ වර්ධනයට හේතු වන්නේ ආහාරයයි. අවාසනාවකට අද අප බොහෝ විට පරිභෝජනය කරන්නේ ආහාර වෙනුවට වස විසයි. ඉතිං මේ නූතන ආහාර රටාව හේතු වෙන්නේ ආයු වඩනවා වෙනුවට ආයුෂ හීන කිරීමටයි.

අප සතුව පැවැති දේශීය ආහාර රටාව සැබැවින්ම ඖෂධීය ආහාර වට්ටෝරුවක්ම වුණා. නමුත් කෙමෙන් කෙමෙන් ඒ වටිනා උරුමයත් අපෙන් තුරන් වී යනවා.

සිය රට කන බොන දේ හැම පිරිහෙති
පිටරට කනබොන දේ එහි පුරවති

දෙළොවට හිත වැඩ කණපිට පෙරළෙති
පහළට යන දර දඬු ලෙස පාවෙති.

ශක්ති ජනකයක්

නීරෝගී සම්පන්නව දිර්ඝායුෂ ලැබීමට හේතුවන දේශීය ආහාර සම්ප්‍රදායක් අපටම හිමිවී තිබියදී එය නොතකා කෘත්‍රිම ආහාරයට හුරුවන මිනිසාගේ පිරිහීමයි මේ කවියෙන් කදිමට ගෙනහැර දක්වන්නේ.

එදා අපේ පැරැන්නෝ වී ගොවිතැන සැලකුවේ දේවකාරියක් ලෙසයි. ප්‍රධාන ආහාර වේල් තුනම බත් ආහාරයට ගෙන දෛනික කටයුතුවල අලස නොවී කටයුතු කරන්න ඔවුන් වාසනාවන්ත වුණා.

බත්වල ඇති පෝෂණීය බව තුළින් ක්‍රියාශීලී මිනිසුන් බිහිවුණා.

සුවඳැල් හාල්, ගිරාතුඩ, ඇතුළු ගුණාත්මක වී වර්ග දෙසීයකට අධික සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා. නමුත් ඒවා පරිභෝජනය ඉතාමත් අවමයි.

කිරෙන් පිසු කල කිරිබත්
කහ කිරි යෙදු කල කහබත්
දියෙන් පිසු කල දියබත්
පිළුණු වුණොත් නැත යහපත්

එළිය වෙන්න ඉස්සර බැහැලා පිලට
පිරිය වෙන්න අතු ගාපන් මිදුල වට
හීලට තිබෙන බත් දීපන් දරුවන්ට
රාළට ටිකක් දීපන් කුඹුරට යන්ට

මේ කවිවලින් කියැවෙන්නේ දේශීය ආහාරයේ, අපේ ප්‍රධානම ආහාරය වූ බත්වල ඇති බල සම්පන්න බවයි. විශේෂයෙන්ම හීල් බත් කෑමේ පුරුද්දක් අපේ ගැමියා ළඟ තිබුණා.

හේනේ කුඹුරේ අනලස්ව වැඩ කරන්න ඉන් හැකියාව ලැබෙන බව ඔවුන් විශ්වාස කළා.

බත් පිසූ පසු එහි වැඩිම පෝෂණ සංඝටක ප්‍රමාණයක් රැස් වෙන්නේ හැළියේ අඩියේය. රාත්‍රි ආහාර අනුභව කළ පසුව බත් මුට්ටියේ පතුලේ ඉතිරිවන බත් තමයි පසුදා උදෑසන හීල් බත ලෙස එදා අනුභව කළේ.

එසේම මේ රාත්‍රි ආහාරයෙන් පසු ඉතිරිවන බත් මුට්ටියට වතුර දමා තබා පසුදා දියබත් පිළියෙල කළා.

ඉහළම පෝෂ්‍ය පදාර්ථ

අම්ල පිත්ත රෝගයට මේ දියබත දිව ඔසුවක් හා සමයි. ශරීර දාහය සංසිඳවයි. පෝෂ්‍ය පදාර්ථ බහුල බැවින් ශරීරය වෙහෙසා වැඩ කරන අයට දියබත් ඉතා ගුණදායකයි.

බත හා කිරි මිශ්‍රකර සකස් කරන කිරිබත ද ඉතාමත් පෝෂණීය ආහාරයකි. රාත්‍රි කාලයේ

පැය 12 ක පමණ කාලයක් නිරාහාරව සිටින මිනිසුන්ට උදෑසන කිරිබත් අනුභව කිරීමෙන් ගතට ලැබෙන්නේ සවිමත් බවකි.

ලුණු මිරිස් සමඟ කිරිබත් අනුභව කිරීම නිසා සෙම ස්වභාවය දුරු වෙනවා. කිරිබත මඟින් පිත අවම වේ. එබැවින් රක්ත පිත්ත, අම්ල පිත්ත තත්ත්වයන්ට හිතකරයි.

කිරි බතට කහ ද එක් වීමෙන් පිළියෙල කරන කහබත ශරීර ගත විස නසයි. පීනස දුරු කරයි. සෙම අවම වීමට හේතු වේ.

දේශීය ආහාර අතර ප්‍රමුඛතම නමකි, කුරක්කන්. නිරෝගී සම්පන්න දිවි පෙවතක් උදෙසා කුරක්කන්වලින් පිළියෙල කළ ආහාර මනා පිටිවහලක් වෙනවා. දියවැඩියාව වැනි රෝග එදා අහන්න නොලැබුණු තරම්. ඒකට මෙම ආහාර ප්‍රධාන හේතුවක්. මධුමේහයට කුරන්කන්වලින් පිළියෙල කළ ආහාර ඉතා ගුණදායකයි. රොටි, තලප, පිට්ටු ආදිය උදෑසන ආහාරයට ගත් පැරැන්නෝ දිර්ඝායුෂ වින්දනය කළේ මෙම ආහාරවල ගුණදායක බව නිසයි.

කුරක්කන් පිට්ටු
සමඟින් කෝලිකුට්ටු
පොරණ අප රට්ටු
කකා සිටියේ නොවී කෙට්ටු

(ආයුර්වේද චක්‍රවර්ති වික්‍රමාරච්චි)

කුරක්කන්වලින් ලැබෙන සවිමත් බව සේම කෝලිකුට්ටු සතු අධික පෝෂණීය සංඝටක අන්තර්ගතය නිසා ශරීර ශක්තිය ගොඩනැඟීමට හේතු වෙනවා. කෙසෙල්වල වැඩි කැලරි ප්‍රමාණයක් පැවතීම ද ඊට හේතුවක්. කෝලිකුට්ටු පෝෂණීය ගුණයෙන් ඉහළ කෙසෙල් වර්ගයක්. ආහාර දිරවිමට ද ආහාර රුචිය වැඩීමට ද හේතුවන නිසා ශරීරය කෘෂ බවට පත් නොවීමට මෙම ආහාර ගුණදායක බවයි මින් පැවසෙන්නේ.

කෙසෙල් ක්ෂය රෝගයට ද හිතකරයි. මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස් ආදි පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් කෙසෙල්වල අන්තර්ගතය. දේශීය කෙසෙල් වර්ග රාශියක් ඇති අතර සුවඳැල්, කෝලිකුට්ටු, අළු කෙසෙල් ආදිය පෝෂණීය ගුණයෙන් ඉහළ කෙසෙල් වර්ග වේ. අළු කෙසෙල් මඟින් පුරුෂ කායික ශක්තිය හීන කරන බව මිත්‍යා මතයක් පමණයි.

එදා හැම ගෙදරකම වගේ කොස් ගහක් තිබුණා. කොස් ගහ බත් ගහ ලෙස හැඳින්වුවේද කුසගිනි නිවා දමන්න මේ කොස්වලට ඇති අපූරු හැකියාව නිසයි. කොස් වගේම පොලොස්, වං කොස්, ආදී කොස්වල ප්‍රභේද මවුකිරි වර්ධනය කරන ගුණයෙන් යුක්තයි. එදා කිරි දෙන මවුවරුන්ට, ගැබිනි මවුවරුන්ට බත් පිඟානට කොස් වැරැදුණේ නැහැ. කොස් ඇටේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයි. බිත්තර හා සම පෝෂණයක් කොස් ඇටේ තිබෙන බව කතාවට කියනවා. කොස් වාරයට අපේ පැරැන්නෝ වැඩිපුර ඇති කොස් ඇට වැලි යට දමලා අවාරයට ප්‍රයෝජනයට ගත්තා.

වැස්සට පින්නට නොතෙමා මනාකොට
පස්යටකර තබා කොස් නැති අවාරෙට
නිස්සට පොල් ගා තම්බා දවාලට
කොස් ඇට වැනි යමක් වේවිද හැබෑවට

එසේම වැල සහ වරකා අධික කෙඳි සහිත ආහාර නිසා ආහාර දිරවීම පහසු කරයි. සොබා දහමයි මිනිස් දිවියයි අතර තිබෙන්නේ හරි පුදුම සබැඳියාවක්.

බුදුන් වහන්සේ මිනිසාට යහපත සදන මංගල කරුණුවලදී පතිරූප දේස වාසෝච යනුවෙන් දේශනා කොට තිබෙනවා. සොබා දහම ඊට අනුගතව ඇතැයි සිතෙනවා. වියළි කලාපයේ කොමඩු, පිපිඤ්ඤා වැනි භෝග වැවෙන්නේ හරියට ඒ අනුව වගෙයි. ශරීර දාහය, පිපාසය සංසිඳවන මෙම ආහාර ශරීර අභ්‍යන්තර විස නාශක ගුණයෙන් ද සමන්විතයි. මුත්‍රා ගල් නැසීමට පිපිඤ්ඤා සහ කැකිරි ඉතා හිතකරයි.

නෙළුම් අල පෝෂණ ගුණයෙන් ඉහළ දේශීය ආහාරයක්. ඒ වගේම වැව් බැඳි රාජ්‍යයේ මේ නෙළුම් වැවුණේ නෙළුම් අල බැර ලෝහ අවශෝෂණ ගුණයෙන් හෙබි නිසයි. අන්න ඒ නිසයි අපි නෙළුම් අල පිසීමට පෙර කැකුළු සහල් මිටක් දමා තම්බාගෙන ඒ සහල් ටික ජලයත් එක්කම ඉවත් කරන්නේ. මෙසේ ප්‍රතිවිස අවශෝෂණය කරන නෙළුම් අල උදර රෝග, මුත්‍රාබාධ, දියවැඩියාව, වකුගඩු රෝග ආදී බොහොමයක් සඳහා සුව දෙන ඔසුවක්.

දිසාපාමොක් ඇදුරුතුමා ජීවක වෛද්‍යවරයාට ශිල්ප ලබාදී අවසානයේ පැවසුවේ “දැන් ගිහිං ඖෂධයක් නොවන පැළෑටියක් සොයාගෙන එන්න” කියලයි. එහෙම පැළෑටියක් නොමැති බව පෙරළා පැමිණි ජීවක පැවසූ විට එහෙනම් ඔබ දැන් ශිල්ප හොඳින් ප්‍රගුණකර අවසන් යැයි දිසාපාමොක් ඇදුරුතුමා පවසනවා.

අපේ දේශීය ආහාර, ඖෂධීය ගුණ සමුදායකින් සමන්විතයි. ඉදුණු බෙලි මලබද්ධයට හිතකර සේම බඩේ අමාරු අජීර්ණ තත්ත්වයන්ට බෙලි ගැට තම්බා පානය කිරීම හිතකරය.

රෝගාබාධයන්ට ගිලින බෙහෙත් පෙති සදන අතුරු ආබාධ ද බොහෝය. දෛනිකව දේශීය ආහාරවලින් සමන්විත ආහාර රටාවකට හුරුවීම නිරෝගී දිවි පෙවෙතකට මඟ කියන්නේ එම නිසාය.

අපේ රටේ බෙහෙත්
පැළෑටි මයි ගුණත්
එයින් අපේ ලෙඩත්
නැසේ වැඩේ පණත්

(අරිසෙන් අහුබුදු ශූරීන්)

මාංසමය ආහාර බහුලව අනුභවය, හෘදරෝග, පිළිකා වැනි භයානක රෝගවලට අතවැනීමකි. ඔබ ධාන්‍ය, නැවුම් එළවළු, පලතුරු, පළාවර්ග බහුලව අනුභව කරන්නේ නම් නිරෝගී සම්පත ඔබ ළඟ සදා සුරැකෙනු ඇත.

fat

දිස්නා කුමාරි අල්විස්