ලොව ජීවත්වීමට සුදුසුම රටවල් අතර ශ‍්‍රී ලංකාවත්

ලොව ජීවත්වීමට සුදුසුම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ශේණිගත කරනු ලබන මානව සංවර්ධන වාර්තාවට අනුව ලෝකයේ රටවල් 188ක් අතරින් ශ‍්‍රී ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මේ වාර්තාවට අනුව අතිශය දියුණු මානව සංවර්ධනයක් ඇති, උසස් මානව සංවර්ධනයක් ඇති, මධ්‍යම මානව සංවර්ධනයක් ඇති සහ අඩු මානව සංවර්ධනයක් ඇති රටවල් ලෙස බෙදා වෙන්කර තිබෙන අතර ශ‍්‍රී ලංකාව එහි දෙවැනි කාණ්ඩය වන උසස් මානව සංවර්ධනයක් ඇති රටක් ලෙස හඳුන්වාදී තිබේ.

2015 වසර සඳහා මානව සංවර්ධනයේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් කළ පර්යේෂණ අනුව ලෝකයේ රටවල් 188 ක් මේ සඳහා ශේණිගත කර තිබෙන අතර එම දර්ශකයේ පෙරමුණ ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබේ. ඊට අමතරව ඔස්ට‍්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටවල් බවට මානව සංවර්ධන වාර්තාව පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවට අමතරව දකුණු ආසියානු කලාපයට අයත් ඉන්දියාව 130 වැනි ස්ථානයට පැමිණ තිබෙන අතර භූතානය 132, මාලදිවයින 104, බංග්ලාදේශය 142, නේපාලය 145, ඇෆ්ගනිස්ථානය 174 සහ පාකිස්ථානය 147 ස්ථාන හිමිකරගෙන ඇත.

මේ අතර ජීවත්වීමට නුසුදුසුම රට ලෙස ශේණිගත කර ඇත්තේ නයිජර් රාජ්‍යය වන අතර මධ්‍යම අප‍්‍රිකා සමූහාණ්ඩුව, එරිට‍්‍රියාව, චැඞ් සහ බුරුන්ඩි ජීවත් වීමට නුසුදුසු රටවල් අතර වෙයි.

sri