පොහොර සහනාධාර මුදල මදි කියන්නෙ බොරුවක්

උදලු දෑකැති රැගත් ගොවියන් පිරිසක් කොළඹ ලිප්ටන් වට රවුමෙහි උද්ඝෝෂණයක නිරතවන අතර අපි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක සමඟ සාකච්ඡා කරමින් සිටියෙමු. පොහොර සහනාධාරය සඳහා පොහොර වෙනුවට මුදල් ලබාදීම, ගොවි උපකරණ සඳහා අයවැයෙන් සහන ලබා නොදීම, වී සඳහා සහතික මිල අඩු කිරීම ආදිය ගොවි උද්ඝෝෂණයට හේතු විය. ගොවීන්ගෙන් නැඟෙන ඒ චෝදනා පිළිබඳත් මෙරට කෘෂිකර්මයට බලපාන තවත් කරුණු පිළිබඳත් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසා සිටියෙමු.

• මෙවර අය වැයෙන් කෘෂිකර්මාන්තයට වෙන්කළ මුදල ප්‍රමාණවත් නැහැ කියල චෝදනාවක් තියෙනව?

ගිය වසරේ රුපියල් බිලියන 52යි. මෙවර රුපියල් බිලියන 54.1යි. ඉතිං කොහොමද ප්‍රමාණවත් නැහැ කියන්නේ?

• නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම වෙනුවට රජය පොහොර සහනාධාරය කපා දැමීම හරිද?

පැහැදිලිවම ඔය චෝදනාවට අපි විරුද්ධයි. මම ඉතාම වගකීමෙන් කියනව නිසි ප්‍රමිතියට පොහොර ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දින 100 අපි කටයුතු කරල තියෙනවා. බෑග්වල ප්‍රමිතිය නැති නිසා අපි බාර නොගත්තු පොහොර නැවක් දැනටමත් වර‍ා‍ෙය් තියෙනවා. ඒත් ඒ පොහොරවල ප්‍රමිතිය හොඳයි. මම මේක කීවේ අපි ඇසුරුමේ ප්‍රමිතිය පවා බලන බව කියන්නයි. මේ නිසා අපි පොහොරවල ප්‍රමිතිය ගැන බලන්නෙ නැහැ කියල කාටවත් කියන්න බැහැ. අපි CIC සමාගමේ ගබඩාවට සීල් තිබ්බ. සමාගමත් එක්ක තරහවකට නොවෙයි. පොහොරවල කැඩ්මියම් ප්‍රමාණය වැඩියි. අපි ගොවියන් ආරක්ෂා කළ යුතුයි.

• ඉදිරියෙදී වෙළෙඳ පොළට එන පොහොරවලට කවුද වගකියන්නේ?

මුදල් වවුචරය දුන්න වුණත්, පොහොරවල ප්‍රමිතියට සියයට සීයක්ම පොහොර ලේකම් කාර්යාලය වගකියනවා. ආණ්ඩු‍ෙවන් දෙන සෘජු සහනාධාර පොහොර නැවැත්තුවට ඕන කෙනෙකුට ඕන පොහොරක් ගේන්න; ඕන වස විසක් ගේන්න; අපි ඉඩ තියන්නේ නැහැ.

• හෙක්ටයාරයක් වගා කරන්න රුපියල් 25000යි වෙන් කරල තියෙන්නෙ. එය ප්‍රමාණවත් නැහැ කියල ගොවියො කියනවා.

ගොවියෝ එහෙම හිතන එක හරි. අපේ පොළොවට කොච්චර පොහොර දැමිය යුතුද, අලුතින් එක්කළ යුතු සහ නැවැත්විය යුතු පොහොර මොනවාද කියල නිර්දේශ කරන්නෙ කෘෂි විශේෂඥයින්. 1994 පටන් වරින්වර පසට යොදන පොහොර අඩු කළා. පොහොර නිකන් දුන්න කියල අනවශ්‍ය ලෙස පොහොර යෙදීමෙන් ප්‍රතිඵලයක් නැහැ. අලුත්ම නිර්දේශ තමයි පොස්පරස් කන්නයක් ඇර කන්නයක් යොදන්න කියන එක. පසේ පොස්පරස් වැඩියි. කැඩ්මියම් ගියවර 5%ක් තිබුණා. දැන් අපි 3% දක්වා අඩු කරල තියෙනව. බැර ලෝහ ඉවත් කළ යුතුයි. මේ නිර්දේශ එක්ක පොහොර යෙදීම අඩුවෙනව. ඒ නිසා මේ මුදල ප්‍රමාණවත්.

• ඇයි මේ ගැන ගොවියන් දැනුවත් නොකළේ?

පසේ සංයුතිය රටේම එක හා සමානයි කියල හිතල තමයි මීට පෙර පොහොර නිර්දේශ කරල තියෙන්නෙ. ප්‍රායෝගිකව මේක වැරදියි. ඉදිරියෙදී පස පිළිබඳව සොයා බලලා අවශ්‍ය කරන පොහොර පිළිබඳ ගොවීන් දැනුවත් කරනවා. එතකොට පසේ අඩු සංඝටක පමණක් පොහොර ලෙස පසට යෙදිය හැකියි. ඉතිහාසයේ වෙච්ච වැරදි දැන්වත් හදාගන්න ඕන.

• ගොවියන් දැනුවත් කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට තියෙනවද?

ඔව්! ඉදිරියේදි හැම ගොවි ජනසේවා මධ්‍යස්ථානයක්ම ගොවි‍යගෙ මහ ගෙදර බවට පත් කරනවා. කෘෂි කර්මාන්තයට අවශ්‍ය සියලුම දැනුම ලබාගත හැකි පරිදි ගොවිජනසේවා මධ්‍යස්ථාන සකස් කරනවා. පස පිළිබඳව නිර්දේශ කිසිම ආණ්ඩුවකින් කර තිබුණෙ නැහැ. ජාතික ආණ්ඩුවෙන් එය නිවැරදි කරනවා.

• වී වලට සහතික මිල කප්පාදු කළේ ඇයි?

ගොවියගෙ පැත්තෙන් ඉතාම ඉහළ මිලක් දැම්මෙ ආණ්ඩුව සියලුම වී මිලදී ගන්න නොවෙයි. ඉතිහාසයෙ හැම ආණ්ඩුවක්ම ගොවියගෙ වී වලින් 10%ක් තමයි මිලදී ගත්තෙ. පුද්ගලික අංශයට මිලක් නියම කල යුතු නිසයි සහතික මිලක් දුන්නෙ. වී මිල අනුව හාල් මිල පවත්ගෙන යන්න බැහැ.

• ඡන්දෙ බලාගෙන නොවෙයිද ඒ දවස්වල එතරම් මිලක් නියම කළේ.

නැහැ. සන්ධානගත වුණාම හැමෝගෙම අදහස් එතන තිබුණා. වී මිල රුපියල් 100 කරන්න පුළුවන් නම් මම කැමැතියි. හැබැයි පාරිභෝගිකයෝ ගැනත් සිතිය යුතුයි.

• ආණ්ඩුව ගොවි විශ්‍රාම වැටුපත් මංකොල්ලකාල තියනව.

පහුගිය කාලෙ සමහරුන්ට විශ්‍රාම වැටුප ලැබුණ. සමහරුන්ට ලැබුණෙ නැහැ. ගෙවන ගානත් වෙනස්. හැමෝටම සමානව ගෙවිය හැකි ක්‍රමවේදයක් හදනව. මේ ගැන තිබෙන විවේචන සාධාරණයි. මේ ගැන ගොවීන් බියක් ඇතිකරගත යුතු නැහැ. පහුගිය ආණ්ඩුව ගොවි විශ්‍රාම වැටුප් දෙනව කියල උත්සව තිබ්බ. ඒත් ගන්න ගියාම නැහැ. ඒ නිසා මෙය නිවැරදි විය යුතුයි.

• කෘෂි උපකරණ සඳහා ප්‍රමාණවත් බදු සහන නැහැ කියල චෝදනාවක් තියෙනව.

මෙවර අය වැයෙන් 2013 ආණ්ඩුවෙන් දාල තිබුණු බද්දත් අයින් කරල සියයට සීයක්ම බදු අයින් කළා.

• ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුණත් තවම කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. එන එන ආණ්ඩුවට එක එක ප්‍රතිපත්ති.

ඒක තමයි වැරැද්ද කෘෂිකර්මයට විතරක් නොවෙයි. අනිත් ඒවටත් ප්‍රතිපත්තියක් නැහැ. දුමින්ද කෘෂිකර්ම ඇමති වුණාම එයාගෙ ප්‍රතිපත්ති. මහින්ද යාපා ඇමති වුණාම එයාගේ ප්‍රතිපත්ති. එහෙම වෙන්න බැහැ. හැමදේටම ප්‍රශ්නෙ මේක තමයි. දින 100 ආණ්ඩුව කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් හදන වැඩපිළිවෙළ ආරම්භ කළා. 75%ක් ඒ වැඩ අවසන්. හැමෝටම එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් ක්‍රමවේද‍යක් ඒ තුළ තියෙනවා.

• රසායනික පොහොර භාවිතය අවම කරන්න කිව්වත්, කාබනික පොහොර හිඟයක් තියෙනව නේද?

කාබනික පොහොර හැබෑටම නිෂ්පාදනය වුණාද කියන ගැටලුව තියෙනව. කාබනික පොහොර කියන බෝඩ් එක යටතේ රුපියල් කෝටි ගාණක් නාස්ති කරල තියෙනව. විශේෂයෙන් උතුරු මැද පළාතෙ. කාබනික පොහොර නිෂ්පාදනයට අපි ඉදිරියෙදී විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරල තියෙනවා.

• ගොවීන්ට ලබාදෙන බීජ නිසි ප්‍රමිතියෙන් තොරයි කියලත් චෝදනාවක් තියෙනව.

අස්වැන්න අඩුයි කියන චෝදනාව තියෙනව. ඒ අය හිටවල තියෙන්නේ අපෙන් ගත් බීජ නොවෙයි. වෙනත් සමාගමකින් ලබාගත් බීජවලට අපට වගකියන්න බැහැ.

• බීජ නියාමනයට වැඩපිළිවෙළක් නැද්ද?

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඉදිරියේදී ඒ කටයුත්ත කරනව. ගොවියා දැන් බීජ මිල, පොහොර මිල අහන්නේ කඩේ මුදලාලිගෙන්නෙ.

මුදලාලි හොඳම පෝර ගැන කියන්නෙ එයාට ලැබෙන කොමිෂන් එකෙන්.

• කෘෂි නිලධාරීන් ගම්වල ඉන්නව නේද?

පැවති අපේ ආණ්ඩුව කෘෂිකර්මෙ එක්කෙනකුට දෙනව. දෙපාර්තමේන්තුව තව කෙනෙකුට දෙනව. අද එක අමාත්‍යංශයක් හැටියට තිබුණත් ‍ෙදගොල්ල අන්ත දෙකක ඉන්නෙ. අදටත් මට මේ දෙක එකතු කරගන්න බැහැ. ඉදිරියෙදි වැඩ කළ යුතු ආකාරය අපි පැහැදිලිව ඔවුන්ට කියල තියෙනව. කෘෂි නිලධාරීන්ට දැනුම ලබාදී ඩිප්ලෝමාවක් දෙනව. ඒ අය ගොවීන්ට දැනුම ලබාදෙන පිරිසක් බවට පත්කරනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ දස දහසක් නිලධාරීන් ගම්වල ඉන්නව.

• “අපි වවමු රට නගමු” වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ඒත් ප්‍රතිඵලයක් නැහැ. මේ තත්ත්වය නිවැරදි කරගන්නෙ කොහොමද?

ඇට දුන්නත්, පැළ දුන්නත් වැඩක් නැහැ, මිනිස්සුන්ගෙ ඔළුව හැදුවෙ නැත්නම්. ඇට බෙදන, පැළ හිටවන උත්සවය ජාතික උත්සවයක් කරල, ටෙලිවිෂන් ෂෝ එකක් කළාට පසුවිපරමක් තිබුණෙ නැහැ. එයත් පවුලේ ආර්ථිකය ශක්තිමත් වුණද කියල අපි බැලුවෙ නැහැ. නිකන් දෙන දේ හැමෝම ගත්ත.

• පුරන් වූ හා මුඩු ඉඩම් අස්වද්දන්න මොකද කරන්නෙ.

ඉස්සෙල්ල පුරන්වෙලා තියෙන්නෙ ඇයි කියල හොයනව. ඒ හේතුවලට පිළියම් දීල වගා කරන්න කියනව. එහෙම බැරි අයගේ ඉඩම් අයිතිය . ඒ අයට තියාගෙන අපි වගාකරන වැඩපිළිවෙළක් හදනව. අවුරුද්දක් දෙකක් අපි වගා කරල ඇහැට ප්‍රිය වුණාම අයිතිකාරයම වගා කරයි.

• ග්ලයිෆොසෙට් පො‍හොර දින 100 ආණ්ඩුවෙන් තහනම් කළා. ඔබ මැදිහත් වෙලා තේ වගාවට එම පොහොර ලබා දුන්නා කියල චෝදනාවක් තියෙනවා.

කාටද දීල තියෙන්නේ? එහෙම දීල නැහැ.

• තේ වගාකරුවන්ට දුන්නෙ නැද්ද?

තේ වගාකරුවෝ සාකච්ඡාවට ආපු වෙලාවේ ඒ අය තේ වගාවට මේ පොහොර අවශ්‍යයි කිව්ව. තේ වගාව ගැන මට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා මේ පොහොර ගෙන්වීම හා භාවිතය රට තුළ තහනම් කළා. මට පුළුවන්ද තේ ගොවියට මේක දෙන්න?

• දැන් ලංකාවට මේ පොහොර එන්නෙ නැද්ද?

ගේන්න තහනම්, භාවිතය තහනම්, විකුණන්න තහනම්.

• මේ පොහොර ගෙන්වීම පිටුපස ඔබ හිටිය කියල චෝදනාවක් තියෙනවා.

තහනම් කරපු මිනිහ මමනෙ. ගිය ආණ්ඩු‍වත් තහනම් කළේ නැහැ. ග්ලයිෆොසෙට් පිටු පස මම ඉන්නෙ කොහොමද?

• ගොවිතැනට වතුර දෙන එක තීරණය කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසා යල මහ කන්නවල නිසි වෙලාවට වතුර ලැබෙන්නෙ නැහැ කියල චෝදනාවක් තියෙනවා.

ජල කමිටුවක් තියෙනව. ඒ කමිටුවෙ ගොවි සංවිධානත් ඉන්නව. හැමෝම එකතුවෙලා තමයි තීරණ ගන්නෙ. කන්නයට මාසයකට කලින් මේ අය එකතුවෙනව. එතනදි දින වකවානු තීරණය කරනව. අකාර්යක්ෂම තැන් තියෙනව නම් අපිට කියන්න.

• ගොවීන්ට අන්තර් ජාලය හරහා ලියාපදිංචිවීමට කීම කෙතරම් සාධාරණද?

ගොවි මධ්‍යස්ථාන ජාල ගත කළාම හැමදේම තාක්ෂණය සමඟ තමයි කරන්නෙ. තමන්ගේ වී ටික වී අලෙවි මණ්ඩලයට දෙන්න ගොවියට අවශ්‍ය නම් ඇයි එතැන ලියාපදිංචි වෙන්න බැරි? හැමදේටම එරෙහි වෙනවට වඩා ලියාපදිංචි වීම හොඳයි. අන්තර් ජාලයේ ලියාපදිංචි වෙන්න කිව්වෙ අපේ හැරිසන් ඇමති තුමා. එතුමා ඒකට අවශ්‍ය වැඩපිළිවෙළකුත් යොදයි. හැමදේටම බැහැ, බැහැ කියන්න හොඳ නැහැ. දැන් ටෙලිෆෝන් එකෙන් තමයි හැමදේම වෙන්නෙ. ෆේස් බුක් එකෙන් තමයි ආණ්ඩු පෙරළන්නෙත්. දකුණු ආසියාවෙම වැඩිම ෆෝන් පාවිච්චි කරන්නෙ අපේ රටේ.

duminda

දුමින්ද සම්පත්