GMOA – රජයට අනතුරු අඟවයි

අය  වැය, ඉන්දු – ලංකා ද්විපාර්ශ්වික ගිවිසුම හා මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන විසඳුමක් ලබාදීමට රජයට සති දෙකක් ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

අදාළ කාලය තුළ විසඳුමක් නොදුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ අය වැයෙන් වෛද්‍යවරුන්ට තීරුබදු සහනය සහිත වාහනය අහිමිකර නැති නමුත් බලාපොරොත්තු විදියට එය ලැබී නැති බවයි.

තවද ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම ගැන සැලසුම් සකස් කිරීමට අද විශේෂ කණ්ඩායමක් එරටට යන බවත්, මේ නිසා ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ඉන්දියානුවන් ආක්‍රමණය කිරීමට ඇති ඉඩ වැඩි බවත්, මේ ගැන ජනපතිට දැනුම්දුන්‍ අවස්ථාවේ ඔහු එය සැලකිල්ලට භාජන කරන බව පැවසුවේ යැයිද ඔහු බවසා ඇත.

තවද මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල පුහුණුව ලබාදීම අනුමත කළ නොහැකි බවද, වත්මන් ජනපති සෞඛ්‍ය ඇමති කාලයේ එම පුහුණුව නොදුන් බවද හෙතෙම පැවසීය.

මෙය ඇතුළු ගැටලු ගණනාවක් ගැන ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයින් හා සෙසු වෘත්තීය සමිති ද දැනුවත් කර එම ගැටලුවලට විසඳුමක් නොදෙන්නේ නම් ජනවාරී මුල් සතියේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද හෙතෙම පැවසීය.

ee