අසාද් ත‍්‍රස්තවාදීන් ඇද ගන්නා කාන්දමක්

ඇමරිකාව සිරියාව තුළ රෙජිම වෙනසක් සඳහා කටයුතු නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇතැයි වාර්තා වේ.

සිය රුසියානු සංචාරය අතරතුර රොසියා 24 නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකදී ඔහු පවසා ඇත්තේ සිරියාව ස්ථාවර රාජ්‍යයක් බවට පත්කිරීමත් සියල්ලන්ටම තර්ජනයක්වී ඇති ISIS ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡ කිරීමට තමන් මෙවර රුසියාවට පැමිණි බවයි.

ඇමරිකාවේ කිසිදු ආකාරයක දේදුනු විප්ලවයක් හෝ රෙජිම වෙනසක් සිදුකිරීමට උත්සහ නොකරන බව රුසියානු ජනතාව අවබෝධ කරගැනීම ඉතා වැදගත් බවද කෙරී මෙහිදී සඳහන් කර ඇත.

ඇමරිකාවට අවශ්‍ය සිරියාවේ සාමය ඇති කිරීමට බව අවධාරණය කළ රාජ්‍ය ලේකම්වරයා එය ළගා කරගැනීමට නම් වත්මන් ජනාධිපති බෂාර් අසාද් සිය ධුරයෙන් ඉවත්වීම අත්‍යවශ්‍ය බවද පවසා තිබේ.

අසාද් ත‍්‍රස්තවාදීන් ඇදගන්නා කාන්දමක් බවත් ඔහු සමග අත්වැල් බැඳගැනීමෙන් රුසියාවට සිරියානු යුද්ධය අවසන් කළ නොහැකිවනු ඇති බවත් කෙරීගේ අදහසයි.

අසාද් ඉවත්වීම සහතික කෙරෙන අන්තර්වාර පාලනයකදී සිරියානු හමුදාව සමගද සහයෝගයෙන් කටයුතු කළ හැකිවනු ඇති බව ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර රුසියාව හා ඇමරිකාවට සහයෝගයෙන් කටයුතු කළ හැකිනම් ඉරාන න්‍යෂ්ටික අර්බුදය, සිරියාවේ රසායනික අවි ආදියේදී මෙන් ලොව පවතින බොහෝ ගැටළු විසඳිය හැකිවනු ඇතැයිද ජෝන් කෙරී පවසා තිබේ.

1