ඇවන්ගාඩ් විදේශීය සමාගම්වලට පැවරීමට නාවික හමුදාපති කටයුතු කරනවා

ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගම කටයුතු කරල තියෙන්නේ නීත්‍යානුකූලවයි. ඒ තොරතුරු වසන් කරලා ජනාධිපතිතුමා හා අගමැතිතුමා නොදැනුවත්ව නාවික හමුදාපතිවරයා මේ සමාගමේ කටයුතු විදේශීය සමාගම්වලට පවරන්න යනවා.

නාවික හමුදාපතිවරයා සඳහන් කරන අන්දමට මේ සමාගම නීත්‍යානුකූල නැත්නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයකට එන්නැයි අපි ආරාධනා කරනවා යෑයි ඇවන්ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.

නාවික හමුදාව බලෙන් මේ සමාගම අත්පත් කරගෙන මසක්‌ ඇතුළත මිලියන 220 ක ආදායමක්‌ ලැබූ බව පැවසුවත් ඔක්‌තෝබර් මාසයේ ආදායමට සාපේක්‍ෂව නාවික හමුදාව මිලියන 126 ක අලාභයක්‌ ලබා ඇති බව පැහැදිලි වෙනවා යෑයි ජයවීර මහතා ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය. මිලියන 220 ආදායම ගණන් බලා ඇත්තේ වැටුප් ගෙවීම්, ගමනාගමන වියදම් ආදී කිසිවක්‌ සැලකිල්ලට නොගෙන බවද මිලියන 220 ක ආදායම ලබන්න නාවික හමුදාව මිලියන 500 ක පමණ විනාශයක්‌ කර ඇති බවද නිලන්ත ජයවීර මහතා පැවසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ජනපති අගමැති දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

x

ජයසූරිය උඩුකුඹුර