ඇවන්ට්ගාඩ් ව්‍යාපෘතිය මාලදිවයිනට !

ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩා ව්‍යාපාරය මාලදිවයින් රාජ්‍යය පදනම් කර ගත් සමාගමක් විසින් මේ වන විටත් අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

මේ අනුව ශ‍්‍රී ලංකාව පාවෙන අවි ගබඩාවක් පවත්වා ගැනීමෙන් හා සීමාෂල්වරු සැපයීමෙන් වාර්ෂිකව උපයමින් සිටි ඩොලර් මිලියන 45කට ආසන්න වන (රුපියල් කෝටි 6300ක) ආදායම මෙරටට අහිමි වීමේ අවදානම මතුව තිබේ. මේ වන තෙක් ශී‍්‍ර ලංකාවෙන් පහසුකම් සපයාගත් විදේශ සමාගම් රැසක් සිය අවි ගබඩා කිරීම හා සීමාර්ෂල්වරු ලබා ගැනීම මාලදිවයින පදනම් කර ගත් නව සමාගම වෙත යොමු වෙමින් තිබෙන බවත් දැන ගැනීමට ලැබී ඇත.

මේ අතර ඇවන්ට්ගාඩ් සමාගම විසින් ගාල්ලේ අවි ගබඩාව පවත්වාගෙන යාමෙන් පමණක් මාසිකව මෙරටට ලබා දුන් ව්‍යාපාරික අවස්ථා 725කට ආසන්න ප‍්‍රමාණය නාවික හමුදාව පවරා ගැනීමෙන් පසුව 650කට ආසන්න ප‍්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.

එමෙන්ම මෙම එක් මෙහෙයුමක් ඇවන්ට්ගාඩ් සාමාගම විසින් සිදු කරනු ලැබුවේ ඩොලර් 3500 බැගිනි. නමුත් නාවික හමුදාව එය සිදු කරන්නේ ඩොලර් 2500ක මුදලකටය. එමඟින් මෙරටට මාසිකව ලැබිය හැකිව තිබූ විදේශ විනිමය ඩොලර් 650,000ක මුදලක් අහිමි කරගෙන තිබෙන අතර එය විදේශ සමාගම්වලට වාසිදායක වී තිබේ.

ඇවන්ට්ගාඩ් සමාගම අවසන් වරට මෙහෙයුම් කටයුතු සිදු කළ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙහෙයුම් ප‍්‍රමාණය අඩු වීම හා මිල ගණන් අඩු කිරීම නිසා නාවික හමුදාව නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියනයක පමණ මුදලක් රටට අහිමි කර ඇත. එමෙන්ම මෙලෙස මිල ගණන් අඩු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද ගැටලූකාරීත්වයක් මතුව තිබේ.

එමෙන්ම නාවික හමුදාවෙන් සේවය ලබා ගත් විදේශ සමාගම් කිහිපයක්ම මුදල් ලබා දීම පැහැර හැර ඇති බව ද එම මුදල් නැවත අය කර ගැනීමේ ගැටලූවක් පැනනැගී ඇති බව ද වාර්තා වී තිබිණි.

ඇවන්ට්ගාඞ් සමාගම විසින් සපයා තිබූ පාවෙන අවි ගබඩා දෙකම තහනම් කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකාවේ ගාල්ලේ දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරෙහි අවි ගබඩාව හා අවි බදු දීමේ ව්‍යාපාරය සිදු කෙරිණි. නාවික හමුදාවට මෙම ව්‍යාපාරය පවරා පසුගිය 13 වන දිනට මාසයක කාලයක් වන අතර එම කාලය තුළ දී නාවික හමුදාව උපයා තිබුණේ රුපියල් මිලියන 220 කට ආසන්න මුදලකි.

ඇවන්ගාඩ් සමාගම පෙන්වා දෙන පරිදි 2009 සිට 2012 දක්වා මාස 39ක් තුළ නාවික හමුදාව මේ ව්‍යාපාරයෙන් උපයාගෙන තිබුණේ මිලියන 1650ක් පමණි. එහෙත් මෙම ව්‍යාපාරය ඇවන්ට්ගාඩ් සමාගම විසින් අත්පත් කර ගැනීමෙන් පසුව 2014 වසරේ දී පමණක් රුපියල් මිලියන 3800ක විදේශ විනිමය උපයා ඇත. එය ලබා දෙනු ලැබුවේ ද ලක්ෂ ගණනක වැටුප් සහිතව හිටපු හමුදා නිලධාරීන් 498 දෙනකුගේ සේවය ලබා ගනිමින් බවත් වර්තමානයේ දී එම සියලූ දෙනාගේ සේවය අහිමි කර ඇති බවත් ඇවන්ට්ගාඞ් සමාගම පෙන්වා දෙයි. මීට අමතරව රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධව කළ ව්‍යාපාර අත්හිටුවීමෙන් 6754 කගේ පමණ සේවය අහිමි වී තිබේ.

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍යට පවසා තිබුණේ නාවික හමුදාවේ අවි පාලනය සිංගප්පූරු හා මාලයාසියානු සමාගමකට ලබා දීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවය. එමඟින් මේ වන විට ලැබෙමින් පවතින ආදායම ද විදේශ සමාගම්වලට ඇදී යාම සිදු වනු ඇත. අප පුවත්පත සමඟ කළ සාකච්ඡාවක දී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේ ඇවන්ට්ගාඞ් සමාගමෙන් මෙම ව්‍යාපාරය ගලවනු ලැබුවේ තවත් ව්‍යාපාරික සමාගම් කිහිපයකට මේ ව්‍යාපාරය පැවරීම සඳහා වන තෙක් පමණක් බව යි.

ddd

සුභාෂ් ජයවර්ධන
සත්හඬ