හෙළ උරුමයේ ඇමැති ඡන්දයෙන් පරාදයි

බස්නාහිර පළාත් සභාවේ
2016 වර්ෂය සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශයේ සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය
ශීර්ෂය බස්නාහිර පළාත් සභාවේදී ඊයේ (22දා) වැඩි ඡන්ද 22කින් පරාජයට පත් විය.

පළාත් සභාවල හෙළ උරුමය නියෝජනය කරන එකම ඇමැතිවරයා වන්නේ වර්ණසිංහ මහතාය.
වැය ශීර්ෂයට විරුද්ධව ඡන්ද 45ක් ලැබුණු අතර
පක්‍ෂව ලැබුණේ ඡන්ද 23ක් පමණි.
මෙහිදී වූ විශේෂත්වයක් වූ පළාත් සභාවේ 2016 මූල්‍ය ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තොරව වැඩි ඡන්ද 63කින් සම්මත වීමයි. බස්නාහිර පළාත් සභා ඉතිහාසයේ එක් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් හැර මූල්‍ය ප්‍රකාශනයක් සම්මත කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමට ඡන්දය දුන්නේ ආණ්ඩු පක්‍ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රි පිරිසක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් හයදෙනාය.
එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්දය දුන්හ. එක්සත් ජාතික පක්‍ෂයේ උදාර රත්නායක, අනුරුද්ධ ලේකම්ගේ සහ ඩෝල්ටර් ජානක සූරිය බණ්ඩාර යන මන්ත්‍රිවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඡන්දය විමසන අවස්ථාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රි තෙබුවන පියනන්ද හිමියන් සභාවේ සිටියේ නැත.
සන්ධානය නියෝජනය කරන ඇමැතිවරු වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්දය දුන් අතර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි සිටියේ නැත. ඡන්දය විමසීමෙන් පසුව සභාවට පැමිණි ප්‍රධාන ඇමැතිවරයා ඡන්දය විමසීමට මන්ත්‍රිවරුන් කැඳවූ සීනුව නාද කිරීම නොඇසුණු බැවින් තමාට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි මුලසුනේ සිටි සභාපති සුනිල් විජේරත්න මහතාගෙන් ඉල්ලා සිටියත් සභාපතිවරයාගේ පිළිතුර වූයේ තමාට දැන් කරන්නට දෙයක් නැති බවයි. එතැනින් නතර නොවූ සභාපතිවරයා ඔබතුමා නිතරම සභාවේ නැතැයි ද කීවේය.
සභාපතිවරයා කිසිත් නොකියා ඔහුගේ අසුනේ වාඩි විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වීම ගැන ඇමැති වර්ණසිංහ මහතාගෙන් ‘මව්බිම’ විමසූවිට ඔහු කීවේ වැය ශීර්ෂය පරාජයට පත්කිරීම නිසා ලබන වර්ෂයේ සෞඛ්‍යයට අදාළ කටයුතු ඇනහිටීමට ඉඩ තිබෙන බවයි. තමා කල්පනා කළේ බස්නාහිර පළාත් සභාවේ යහපාලන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමට බවත් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට තිබුණේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීම නොව තමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බවය. ඉදිරියට එන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට තමා සූදානම් බවද ඔහු කීය.
මේ සිද්ධියත් සමඟ ඇමැති ධුරයෙන් ඉවත් වනවා දැයි ‘මව්බිම’ ඇසූවිට වර්ණසිංහ මහතා කීවේ තවම තීරණයක් ගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායකත්වය විසින් සාකච්ඡා කොට පියවරක් ගනු ඇතැයිද කීය.
ආණ්ඩු පක්‍ෂයේ එජනිස මන්ත්‍රිවරුන්ට ඇහුම්කම් නොදෙන බවට කරන චෝදනාවේ සත්‍ය අසත්‍යතාව ගැන ‘මව්බිම’ ප්‍රශ්න කළ විට පළාත් ඇමැති වර්ණසිංහ මහතා කීවේ මන්ත්‍රිවරුන් එන්නේ තමා බිය කර වැඩ කරවා ගන්නට බවත් එවැනි තර්ජනවලට තමා බිය නොවන බවත්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසුව මතුව තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතා හමුවීමට ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ගොස් සිටි බව ඊයේ සවස වාර්තා විය.
බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රකාශය පිළිබඳ විවාදය දින 6ක් පැවැතියත් පළාත් සභාවේ මන්ත්‍රිවරුන් සියලු දෙනා එක දිනකවත් පැමිණ සිටියේ නැත. පළාත් සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 104කි. එහෙත් මූල්‍ය ප්‍රකාශය අනුමත කළ ඊයේ සභාවට පැමිණ සිටියේ මන්ත්‍රිවරුන් 71 දෙනකු පමණි.

hel

ආරියරත්න ගනේගොඩ, ආනන්ද වීරසූරිය