තුර්කිය චෝදනාවලට මුහුණදීමට නම් දෑත් පිරිසිඳු කරගත යුතුයි

ISIS ත‍්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව තමන්ට නැගී ඇති චෝදනාවන්ට පිළිතුරු දීමට නම් තුර්කිය සිය දෑත් පිරිසිඳු කර පැමිණිය යුතු බව ඉරාකයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක මවාෆාක් අල් රුබායි පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ අන්කාරා බලධාරීන් යටත් පිරිසෙයින් ඉරාකය හා සිරියාවට ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කිරීම සඳහා සිය දේශසීමාව භාවිතා කිරීම පිළිබඳව නොදුටුවා සේ සිටින බවයි.

ISIS සම්බන්ධයෙන් ගත් කළ තුර්කිය පිරිසිඳු මැදිහත්වීමක් සිදුනොකරන බවට වන සාක්‍ෂි ලොව බොහෝ රටවලින් ගලා එමින් පවතින බවද රුබායි පවසා තිබේ.

තුර්කිය විසින් ජිහාඞ්වාදී සටන්කාමීන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා සිය රෝහල් භාවිතා කිරීමට අවසරදී තිබීමද පුදුමයට කරුණක් බව ඔහුගේ අදහසයි.

ඇතැම් ප‍්‍රමුඛ පෙළේ ත‍්‍රස්තවාදීන් සටනේදී තුවාල ලැබූ පසු තුර්කියට පැමිණ ප‍්‍රතිකාර ලබා යළි සටන් බිම් කරා පිටත්ව යන බව හෙළිව ඇතැයිද ඉරාක මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත.

තුර්කිය විසින් සිය දේශසීමාව වසා නොදැමීම හේතුවෙන් සිරියානු හමුදාවන්ට සිය උතුරු ප‍්‍රදේශය ආරක්‍ෂා කරගත නොහැකිව පවතින බවද ඔහු පවසා තිබේ.

තුර්කි දේශසීමාව හරහා ප‍්‍රවාහනය කෙරෙන සිරියානු හා ඉරාක ඛනිජ තෙල් තුර්කියේ කළු කඩකාරයන් විසින් අලෙවි කරන බවට නෝර්වීජියානු විමර්ශකයින් කණ්ඩායමක් විසින්ද තහවුරු කර ඇත.

මෙම තොරතුරු නේටෝ හා යුරෝපා සංගම් රාජ්‍යයන් වෙත ලබාදිය යුතු බවද මවාෆාක් රුබායි පවසා ඇත.

vv

 

cnews