ලසන්ත ඝාතනයට ෆොන්සේකාගෙනුත් ප‍්‍රශ්න කරන හැඩ

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරමින් පවතින විමර්ශන අනුව ඉදිරියේ දී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ද ප‍්‍රශ්න කිරීමට සිදු වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි 2009 වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඔහු ඝාතනයට ලක් වූ රත්මලාන ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට එවකට නම් කර තිබිණි. එය භාරව සිටි හමුදා නිලධාරියා වූයේ එවකට බි‍්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන මහතාය. ඔහු ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතම නිලධාරියෙකි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප නිලධාරියකු වූ එවකට බුද්ධි අංශ ප‍්‍රධානියකුව සිටි අමල් කරුණාසේකර මහතාට මෙම සිදුවීමට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එමෙන්ම එවකට පොලිස්පතිව සිටි ජයන්ත වික‍්‍රමරත්න මහතා භාරයට ගෙන තිබූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ සටහන් පොත අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

ලසන්ත වික‍්‍රමතුංග මහතාව හඹා ආ වාහනවල අංක සටහන් කර තිබිණැයි පැවසෙන එම සටහන් පොත ගල්කිස්ස පොලීසිය විසින් තම භාරයට ගෙන එය ලසන්ත වික‍්‍රමතුංග ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ලැයිස්තුගත කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. ජයන්ත වික‍්‍රමරත්න මහතා මෙම සටහන් පොතට සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මේ වන විට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී, ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති, මහේෂ් පෙරේරා යන අයගෙන් ද කටඋත්තර සටහන් කරගෙන තිබේ.

1

 

sathhada