ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක නිලධාරියාගේ රාජකාරි අත්දැකීම්

දශක හතරකට ආසන්න කාලයක් ‍පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කර ඇති රාජා වීරකෝන් විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකි. ඔහු සිය සේවා කාලයෙන් වසර දහයක් රාජකාරි කළේ ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක නිලධාරියා ලෙසය. ‍පොලිස් දිවියේ අත්දැකීම් ඇසුරින් ඔහු සිය ස්වයං ලිඛිත චරිතාපදානය දෙසතියකට ඉහතදී එළිදැක්වූයේ එවැනි කෘතියක් ලියූ මුල්ම ‍පොලිස් නිලධාරියා ලෙස පත්වෙමිනි. ජනපති ධුරයේ සිටි කාලයේ පමණක් නොව ජේ.ආර්. විශ්‍රාම ගොස් මියෙන තුරාම ඔහු ළඟ හුන් රාජා වීරකෝන්, හිටපු ජනපතිවරයා ගැන තම මතක සටහන් අපට කීවේ මෙසේය.

ඔබ ජනපති ආරක්ෂක අංශයට පත්වුණේ කොහොමද?
මම ඉල්ලාගෙන නොවෙයි ජනපති ආරක්ෂක අංශයට ගියේ. මාව මේ අංශයට මාරු කරලා තියනවා කියලා මට ‍පොලිස් පණිවුඩයක් ආවා. මම ගිහින් වැඩ භාර ගත්තා.

කවුද ඔබ ජනපති ආරක්ෂක අංශයට නිර්දේශ කළේ?
ජනපති ‍ලේකම් මැණික්දිවෙල මහත්මයා.

ඔබ ජනපති ආරක්ෂක අංශයට ගිහින් ජේ.ආර්. මුල් වරට හමුවුණේ කවදද?
ඒ කා‍ලේ ජනපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ වුණේ මුණි ගෝමස් මහත්තයා. ඔහු මා සමග වෝඩ් පෙදෙසේ ජනපතිතුමාගේ බ්‍රිමාර් නිවසට ගොස් මාව එතුමාට හඳුන්වා දුන්නා. ඒ දවස අසූ හතේ ජනවාරි දෙවැනිදා. මුල් දවසේ එතුමා කතා කළේ නෑ. හිනාවෙලා ඔළුව වැනුවා විතරයි.

ජේ.ආර්.  දේශපාලනයේ ප්‍රසිද්ධ වී ඇත්තේ  ලංකාව උඩුයටිකරු කළ ඒකාධිපති නායකයකු ලෙසයි. සාමාන්‍ය දිවියෙත් ඔහු එවැනි චරිතයක්ද?
නෑ. එතුමා නිහතමානී මනුස්සයෙක්. සරල දිවියක් ගත කළා. ජනපති වුණත් ජීවත් වුණේ තමන්ගේ ගෙදර. ඔහු වැඩිය කතා කරන්නේ නෑ. අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ.

ජනපති ආර්යාව කෙබඳු චරිතයක්ද?
එලීනා ජයවර්ධන ආර්යාවත් හරිම අහිංසක චරිතයක්. ප්‍රසිද්ධියට කැමැති වුණේ නෑ.

ජනපතිගේ එකම පුතා රවි ජයවර්ධන?

එතුමා නිතරම ජනපතිතුමාගේ ආරක්ෂාව ගැන සොයා බැලුවා. ඒ ගැන අපට උපදෙස් දුන්නා. විශේෂ කාර්ය බළකාය හැදුවේත් එතුමානේ. ඔහුට ආරක්ෂාව පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණා.

ජනපතිවරයා ජනපති ආරක්ෂක අංශයේ උපදෙස් පිළිගන්නවාද?
බොහෝ අවස්ථාවලදී පිළිගන්නවා. වරක් එතුමාට කොටහේනේ කෝවිලක පැවැති උත්සවයකට යන්න ඕනෑ වුණා. නමුත් අපට ලැබුණු බුද්ධි තොරතුරු අනුව එතුමා ඝාතනය කිරීමට කොටි ඒ අවට සැලසුම් කරමින් සිටියා. මේ නිසා අපි එතුමාට කීවා මේ ගමන යන්න එපා කියලා. නමුත් එතුමා කීවා යන්නම ඕනේ කියලා. ටික වෙලාවක් යනකොට ජනපතිතුමා පණිවුඩයක් එවලා තිබුණා ගමන යන්නේ නෑ කියලා.
හැබැයි තවත් දවසක එතුමා අපේ උපදෙස් නොතකාහැරියා. උත්සවයකට යාමට අපි එතුමාව ආරක්ෂක හේතූන් මත වෙනත් වාහනයකට නංවන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ජනපතිතුමා මම යන්නේ මගේ කාර් ඒකේ විතරයි කියලා එතුමාගේ කාර් එකේ නැග්ගා.

ජනපතිවරයා මරණ තර්ජනවලට බිය වුණාද?
නෑ. ස්වාභාවික මරණයක් මිස තමාව ඝාතනය කරන්න බෑ කියලා එතුමා විශ්වාස කළා. ඒකට එතුමාට වාසනාවත් තිබුණා. වරක් ජනපතිතුමා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිවසේ පැවැති භෝජන සංග්‍රහයකට ගියා. ඒ වෙලාවේ මහ කොමසාරිස්වරයා ඇහුවා ජනපතිතුමනි ඔබ ඔබගේ ආරක්ෂක අංශය ගැන සෑහීමකට පත්වෙනවාද කියලා. යම්කිසි කෙනකුට මාව මරන්න ඕනෑ නම් ඒක කාටවත් නතර කරන්න බෑ කියලා එතුමා ගත් කටටම කීවා.

දේශපාලන වශයෙන් එල්ල වන තර්ජන ගර්ජන ගැන එතුමා මොනවද කීවේ?
පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතාවලට එතුමා බිය වුණේ නෑ. ඒවා සත පහකට ගණන් ගත්තෙත් නෑ. තීන්දු ගන්න විට ඔහු නැ‍පෝලියන් වගේ දැඩි තීරණ ගන්න බිය වුණේ නෑ. මම ගත්තු තීරණ හරිද වැරදිද කියලා ඉතිහාසය තීන්දු කරයි කියලා එතුමා කීවා.

ජේ.ආර්. මරමු කියලා රට පුරා ‍පෝස්ටර් ගහන විට එතුමා මොනවද කීවේ?
ජනපතිතුමා ඕවාට බය වුණේ නෑ. ඔය ‍පෝස්ටර් ගහපු අය පිටුපස්සේ ප්‍රේමදාස අගමැතිතුමාගේ ආධාරකරුවන්ද සිටියා. මොකද ඔවුන් හිතුවේ ජනපතිතුමා අසූ අටේදී ජනපති අපේක්ෂකත්වය ප්‍රේමදාසට නොදී ලලිත්ට හරි ගාමිණීට හරි දෙයි කියලා. නමුත් ජනපතිතුමා එහෙම කළේ නෑ. එතුමා සුදුස්සාට සුදුසු තැන දුන්නා.

ජනපති අපේක්ෂකත්වය ගැනීමට ආර්. ප්‍රේමදාස ජේ.ආර්.ට තර්ජනය කළ බවට පැවැසෙන කතාව සත්‍යයක්ද?
නෑ. ඒක බොරු කතාවක්. ඔය වගේ ප්‍රශ්නවලට ජනපතිතුමා ඉංග්‍රීසියෙන් හරි අපූරු උත්තර දෙනවා. ඔබ තුන්වැනි වරටත් තරග කරනවද කියලා ඇහුවාම එතුමා කීවේ ටෙස්ට් මැච් එකක තියෙන්නේ ඉනිම දෙකයි. මටත් තියෙන්නේ අවස්ථා දෙකයි කියලා.

raja-weerakon1

පාර්ලිමේන්තුවේදී ජනපතිවරයාට බෝම්බ ගහපු වෙ‍ලේ ඔබ කොහේද හිටියේ?
එදින මට රාජකාරි පැවැරී තිබුණේ ජනපතිතුමාගේ නිවසේ සිට කාසල් රෝහල දක්වා ප්‍රදේශයයි. බුද්ධි තොරතුරුවලින් කීවේ එතුමා පාරේ යන විට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තියෙනවා කියලා විතරයි. ඒ නිසා අපි පාර දිගේ ආරක්ෂාව තර කළා. නමුත් සිද්ධ වුණේ අනපේක්ෂිත ප්‍රහාරයක්. කවුරුවත් හිතුවේ නෑ පාර්ලිමේන්තුව වගේ දැඩි ආරක්ෂාව තිබෙන තැනකට ප්‍රහාරයක් එල්ල වේවි කියලා. ප්‍රහාරයෙන් දිවි බේරාගත් ජනපතිවරයා ආපහු ගෙදර එන විට එතුමාගේ ඇඳුම පුරාම ‍ලේ තැවරී තිබුණා. මේ සිද්ධියෙන් පස්සේ ජනපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් කීපදෙනකු මාරු කෙරුණා.

ලංකාවට පැමිණි රජිව් ගාන්ධිට නාවික භටයකු පහර දෙන අයුරු ඔබ දුටුවද?
ඔව්. ඒ වෙලාවේ මම සෝනියා ගාන්ධි මැතිනියගේ ආරක්ෂාවට යොදවලා තිබුණා. ජනපති ආරක්ෂක අංශයට අමතරව ඉන්දියාවෙන් පැමිණි ප්‍රභූ ආරක්ෂක භටයන් රැසකුත් එදින ආරක්ෂාවට යොදවලා තිබුණා. ඔවුන්ට ගිනිඅවි තබා ගැනීමටත් විශේෂ අවසරයක් ලැබි තිබුණා.
ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ආචාර පෙළපාළිය තිබුණේ ජනපති මැදුර ආසන්නයේ පිහිටි මහ තැපැල් කන්තෝරුව ඉදිරිපිටයි. මම සෝනියා ගාන්ධි මැතිනියට ආරක්ෂාව දෙමින් ඉදිරිය දෙස බලන විට එක පාරටම දැක්කා රජිව් ගාන්ධි අගමැතිතුමා පහත් වෙනවා. ඒ සමගම ඉන්දීය
ආරක්ෂක නිලධාරීන් එතුමාත් සෝනියා ගාන්ධි මැතිනියත් ඇදගෙන ගිහින් මෝටර් රථයට දැම්මා. ඒ සමගම රථය ගාලුමුවදොර දෙසට ගියා. අඩුම තරමේ ඉන්දීය අගමැතිතුමා ගියේ කාටවත් සමුදීලත් නොවේ. ගාලු මුවදොර තිබූ හෙලිකොප්ටරයෙන් එතුමා කටුනායක ගුවන්තොටුපළට රැගෙන ගියා.

raja-weerakon2

මේ සිද්ධිය ගැන ජනපතිතුමා දැක්වූයේ කෙබඳු ප්‍රතිචාරයක්ද?
විදේශීය මාධ්‍යවේදියෙක් එතුමාගෙන් ඇසුවා මොකද වුණේ කියලා. ඉර එළියට ක්ලාන්තයක් හැදිලා වැටුණා කියලා එතුමා කීවා.

ජනපති ළඟ රාජකාරි කරන විට ඔබට වැරදීම් වෙලා නැද්ද?
එක දවසක් මට ලොකු වැරැද්දක් වුණා. එදා ජනපතිවරයාගේ කාලසටහනේ උදේ වරුවේ ජනපති ‍ලේකම් කාර්යාලයත්, ජනපති මන්දිරයටත් යාමට නියමිත බව ‍ලේකම්වරයෙක් මට දැනුම් දුන්නා. මම ජනපතිතුමා බ්‍රිමාර් නිවසින් මෝටර් රියට නංවාගෙන ජනපති මන්දිරයට රැගෙන  ගියා. වාහනය නතර කර සැනින් එතුමා මගෙන් ඇසුවා. කොහේද මාව එක්කන් ආවේ උදේ නමයට මට යන්න ඕනේ ජනපති ‍ලේකම් කාර්යාලයට කියලා.
‘මට සමාවෙන්න ජනපතිතුමනි’ කියලා වහාම එතුමා කාර්යාලයට රැගෙන ආවා. ඊට පස්සෙ මේ ගැන මගෙන් නිදහසට කරුණු විමසලා ලියුමක් ලැබුණා. මගෙන් වරදක් වුණා කියලා මම කීවාම ඒක එතැනින් ඉවර වුණා. ජනපතිතුමාත් ඒක ගණන් ගත්තේ නෑ.

ජනපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ මොනවද කළේ?
විශ්‍රාම ගියා කියලා එතුමාට තියෙන වැඩවලින් අඩුවක් වුණේ නෑ. හැමදාම උත්සවවලට ආරාධනා ලැබුණා. එතුමා පුළුවන් සෑම උත්සවයකට ගියා. දවසක් එතුමා මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකට යන විට එහි මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් හා හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රේමදාස උඩුගම්‍පොළ සිටියා. ඒ වේලාවේ මහාචාර්යවරයා  හිටපු ජනපතිතුමාට කිවා ‘උතුමාණෙනි එයා (උඩුගම්‍පොළ) ලංකාව බේරා ගත්තා කියලා ගත් කටටම ජනපතිතුමා කීවා මම එයාව බේරා ගත්තා කියලා එතුමා තැනට සුදුසු විදියට ක්ෂණික උත්තර දෙන්න සූරයා.

ආර්. ප්‍රේමදාස ජනපතිවරයා ඝාතනය වූ වෙලාවේ ජේ.ආර්. සිටියේ ඉන්දියාවේ. ඔබත් ඔහු සමග ඉන්දියාවේ ගියාද?
නෑ. මම සිටියේ වෝඩ් පෙදෙසේ නිවසේ. මේ සිද්ධිය ආරංචි වුණු ගමන්ම එතුමා මට කතා කරලා කීවා ප්‍රේමදාස ජනාධිපතිතුමාට මොකද වුණේ කියලා හොයලා වහාම කියන්න කියලා. මම මෝචරියට ගිහින් බලන විට බිම හැම තැනම මස් වැදලි. කවුද මැරිලා ඉන්නේ කියලා හඳුනා ගන්නවත් බෑ. එතැන සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලකගෙන් මම ඇහුවා. හිටපු ජනපතිතුමා ඉන්දියාවේ ඉඳන් කතා කරලා ඇහුවා ජනපතිතුමාට මොකද වුණේ කෝ ජනපතිතුමා කියලා. ඔහු කීවා මේසය උඩ සුදු රෙද්දෙන් වහලා තියෙන්නේ එතුමාගේ දේහය කියලා.  මම සුදු රෙද්ද ඉවත් කරලා බැලුවා. ජනපතිතුමාගේ මිනියත් මස් ගුලියක් වෙලා තිබුණේ. මේ විස්තර මම ඉන්දියාවට කතා කරලා හිටපු ජනපතිතුමාට දැනුම් දුන්නාම එතුමා සංචාරය  අතරමග නතර කරලා ලංකාවට ආවා.

ප්‍රේමදාස ජනපතිවරයාගේ අනපේක්ෂිත මරණයත් සමග ජේ.ආර්.ට නැවත වරක් ජනපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් ආවද?
ඒ වෙලාවේ එතුමා කීවේ මම හදපු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන නිසා ව්‍යවස්ථාව බලන්න කියලා. ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මියගියොත් වැඩ බලන ජනපති ලෙස අගමැති පත්වෙනවානේ. එතුමා හැම තිස්සෙම වැඩ කළේ නීතියට. එතුමාගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්නේ. මම හිතන්නේ ඔහුට ඒ ආභාසය එන්න ඇත්තේ තාත්තාගෙන්.

ලලිත් හා ගාමිණීගේ ඝාතන ජේ.ආර්. දරා ගත්තේ කොහොමද?
ඒ සිද්ධීන් දෙකේදීම එතුමා හුඟක් කම්පා වුණා. ප්‍රේමදාස ජනපතිවරයා සමග ගැටුමක් ඇති කරගෙන ඔවුන් පක්ෂයෙන් ගියාට පස්සේ ලලිත්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙලාවේ හිටපු ජනපතිතුමා ලලිත්ව බලන්න ගියා. එතුමා ලලිත් බලන්න ගියා කියලා ප්‍රේමදාස ජනපතිතුමා හිත හොඳින් නොවේ සිටියේ.

ජේ.ආර්.ගේ විශ්‍රාම දිවියේදී ඔබට අමතක නොවන සිද්ධිය කුමක්ද?
දිනක් එතුමාට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගෙන් ආරාධනාවක් ලැබුණා අරලියගහ මන්දිරයට එන්න කියලා. එතුමා අරලියගහ මන්දිරයට ගිය වෙලාවේ ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවේදී වාහනය නතර කරා. මම ඔවුන්ට කීවා වාහනයේ ඉන්නේ හිටපු ජනපතිතුමා කියලා. නමුත් ඔවුන් කීවා ඒ වුණාට පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. එතුමා මට කීවා වීරකෝන් සිදුවූ දේට මගේ හිතට හරිම අමාරුයි කියලා. අදටත් වුණත් ඒ සිද්ධිය මතක් වෙනකොට මගේ හිතටත් දුකයි. එතුමා හිටපු ජනපතිවරයා. ආරාධනාවක් කරලා එන්න කියලා එහෙම සලකපු එක වැරදියි.

raja-weerakon

ජේ.ආර්. අභාවප්‍රාප්ත වන විට ඔබ කොහේද හිටියේ?
එතුමාගේ කාමරය ළඟයි මම හිටියේ. එතුමා රෝගාතුර වී දින තුනක් පමණ නවලෝක රෝහ‍ලේ ප්‍රතිකාර ලැබුවා. එතුමා නැතිවෙන වෙලාවේ මම හිටියේ දොරකඩ ළඟ.

ජේ.ආර්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස වසර දහයක් රාජකාරි කළ ඔබට ඒ අතීතය ගැන දැන් මොකද හිතෙන්නේ?
ජේ.ආර්. වැනි නීතියට වැඩ කළ අයකු ළඟ රාජකාරි කිරීමට ලැබිම ගැන මම ආඩම්බර වෙනවා. එතුමා වටේ ඩීල්කාරයෝ, ගේම්කාරයෝ, මිනීමරුවෝ සිටියේ නෑ. කවදාවත් ඔහු වැරදි වැඩ කිරීමට අපට කීවේ නෑ. වැරදිවලට ඉඩ දුන්නේත් නෑ.
ඉකුත් කාලයේ ජනපති ආරක්ෂක අංශයට විවිධ චෝදනා එල්ල වුණානේ ජනපතිගේ බලය අතට අරන් නීති විරෝධී දේවල් කරා කියලා. නමුත් ජේ.ආර්.ගේ කාලයේ ජනපති ආරක්ෂක අංශය කවුරුවත් ගණන් ගත්තේවත් නෑ. ජනපති ළඟ හිටියා කියලා අපට විශේෂ බලයක් තිබුණේ නෑ. ජනපති ආරක්ෂක අංශයට එන විට ‍පොලීසිය මට දීලා තිබූ අලුත්ම කාර් එකත් ආපසු ගත්තා. ජනපති ආරක්ෂක අංශයේ සිටින විට මට කොළඹ නතර වෙලා ඉන්න තැනක් තිබුණේවත් නෑ. කොටින්ම කියනවා නම් මම බැංකු ණයක් අරන් ගෙයක් හැදුවෙත් විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියලා. ඒ කා‍ලේ රාජකාරි කළේ එහෙමයි.

මිහිරි ෆොන්සේකා

ඡායා:නාලක කළුවිතාරණ