ඉලෙක්ට්‍රික් කාර් තීරු බද්ද වැඩි නොකිරීමට තීරණයක්

ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 5% තීරු බදු ගාස්තුව, 2016 අයවැය යෝජනා අනුව 50% දක්වා ඉහළ නැංවීම අවලංගු කිරීමට පසුගියදා පැවති කැබිනට් ඇමති හමුවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසා ඇත්තේ පාර්ශව ගණනාවකින් කෙරුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගැනීමට රජය පියවර ගත් බවයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති 50% තීරුබදු ගාස්තුව ඉවත් කිරීමට යෝජනාවක් ජනාධිපතිතුමන් විසින් කර තිබෙනවා. මෙම යෝජනාව බලාත්මක වීමට නම් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඊට හිමිවිය යුතුයි.“

“මෙලෙස බදු සංශෝධනයක් සිදුවනවා නම් නිෂ්පාදන විශේෂ බදු විධිවිධාන පනතේ 3C උපවගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ඒ බව රේගුවට ඒ බව දැනුම් දිය යුතුයි. එය අත්සන් කිරීමේ බලය ඇත්තේ මුදල් ඇමතිවරයාට පමණයි. තම දැනුම පරිදි මුදල් අමාත්‍යවරයා මේ වන විටත් පසුවන්නේ විදේශගතවය. මුදල් අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් එවැනි නියෝගයක් මේ දක්වා සිදුවී නැති බව දැනගන්නට ලැබී තිබෙනවා“, යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

car

biz.adaderana