එක්නැළිගොඩ ඝාතනය උදය ඇඟිල්ල දිගු කරන්නේ පාඨලීටද?

ප‍්‍රගීත් එක්නැළිගොඩව ඝාතනය කළ බව කියන හමුදා සාමාජිකයන් හමුවීමට ඔබ ගියාද?

ඔව්, මම ගියා.

 

ඇයි ඒ?

මේ අය අත්අඩංගුවට අරන් දීර්ඝ කාලයක් වෙනවා. හැබැයි, මා සමඟ දේශපාලනය කළ දේශපාලන සගයකුටත් ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධව චෝදනා තිබුණා. ඒ නිසාම මේ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ උද්ඝෝෂණ කළත් මම ඒකට සම්බන්ධ වීමට කැමැති වුණේ නැහැ. එහෙත් සැකපිට සිටින එක් හමුදා නිලධාරියකුගේ පවුලේ කෙනෙක් මා හමුවට ඇවිල්ල සඳහන් කළා ඔබතුමාගේ උදව් අපට ඕනා, අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට සම්බන්ධ බවට වන ප‍්‍රකාශවලට අත්සන් ලබා දෙන්න කියා අපට දිගින් දිගටම බලපෑම් කරනවා. හැබැයි අපේ දරුවෝ ඒක කරන්නේ නැහැ කියලා.

 

අදාළ හමුදා නිලධාරියා කවුරුන්ද කියා ඔබට හෙළිදරව් කළ හැකිද?

ඒ හමුදා නිලධාරියා ඉන්නේ තවමත් අත්අඩංගුවේ. එම දෙමාපියන් හරිම අනාරක්ෂිතයි. ඥාතීන් අනාරක්ෂිතයි. ඒ නිසා මම නම කියන්නේ නැහැ. කාරණය කියන්නම්. මේ අය කිව්වේ මේ අසාධාරණයට විරුද්ධව ක‍්‍රියාත්මක වන්න කියලයි. මම විශ්වාසය හමුදා නිලධාරීන් නොවෙයි, පාරේ ඉන්න හිඟන්නෙක්වත් මෙවැනි ඉරණමකට ලක් නොවිය යුතුයි. බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින්, ඔබව නිදහස් කරන්න නම් මේකට අත්සන් කරපන් කියා නොකළ දෙයක වගකීම භාර ගන්නට අත්සන් කරපන් කියා බලපෑම් කරනවා නම් එය යහපාලන ආණ්ඩුවකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ දේ මේ මහ පොළොවේ සිද්ධ වෙනවා. එනම් මෙරටේ හැම කෙනෙක්ම අනාරක්ෂිතයි.

ඔබ සඳහන් කළේ හමුදා නිලධාරීන්ගේ පවුල්වල අය කියූ දෙයයි. හමුදා නිලධාරීන් කීවේ කුමක්ද?

ඔවුන් කීවා “අපි හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්, අපි ටොසි ඔත්තු සේවයේ පොට්ටු අම්මාන්ගේ සමීපතමයකු වූ තවේන්ද්‍රන් යුද්ධය අවසන් වූ වහාම හමුදාවට භාරවී හමුදාවට උදව් කරගෙන ඉන්න කැමතියි කියලා”. ඔහු තමයි සිංහල කොටින් භාරව කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව තවේන්ද්‍රන් සමඟ කටයුතු කරමින් ඔහු දන්නා තොරතුරු ලබා ගැනීම තමයි මේ අයට භාර වී තිබුණේ. මේ පිරිස අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම භාර වී තිබුණේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමතිලක සහ සැරයන් මෙන්ඩිස් යන තිදෙනාටයි. ප‍්‍රශ්න කිරීම්වල දී අසා තිබෙනවා පී. රන්ජිත් නමින් තවේන්ද්‍රන් සමඟ ගනුදෙනු කළ තැනැත්තා ප‍්‍රගීත් එක්නැළිගොඩ නේද කියා. මේ අය ප‍්‍රගීත් එක්නැළිගොඩ කියා පුද්ගලයකු ගැන ජීවිතයට අසා තිබුණේ නැහැ. ප‍්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියකුයි කීවාට ඔහු අතුරුදන් කෙරෙන තුරු එවැනි මාධ්‍යවේදියකු ඉන්නවාය කියා අවංකව මා දැන සිටියේ නැහැ.

පින්තූර ප‍්‍රහේලිකාවක පුංචි පුංචි කෑලි එකතු කර මහා චිත‍්‍රයක් හදා ගන්නවා වගේ මේ අයට පොලීසිය කියා තිබෙනවා ”අපි දන්නවා ඇත්ත කතාව, ප‍්‍රගීත් එක්නැළිගොඩව මැරුවේ ඔයගොල්ලෝ. ඒ සඳහා කණ්ඩායමේ නායකයා වූ ලූතිනන් කර්නල් ශම්මි කරුණාරත්නට දුරකථනයෙන් උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඔයගොල්ලන් කියන්න ඕන කතාව අපි දැනටමත් ටයිප් කරලයි තියෙන්නේ. මේ කතාවට අත්සන් කළොත් ඔයගොල්ලන්ට ගෙදර යන්න පුළුවන්. මේක අත්සන් නොකළොත් ගෙදර යන්න හිතන්න එපා, ඞී.අයි.ජී. වාස් ගුණවර්ධනට වගේ එල්ලූම් ගස් යන්න පුළුවන්”ය කියා. සාජන් මේජර් රන් බණ්ඩා මේ පීඩනය දරා ගන්න බැරිව මේකට අත්සන් කළාට පස්සේ එයාව ගෙදර යවා තිබෙනවා. දවසක් අර සාජන්ට් මේජර්වරයා හා කෝප‍්‍රල්වරුන් දෙදෙනාව ගෝල්ෆේස් හෝටලයේ ග‍්‍රීන් කැබින් එකට ගෙන ගොස් මත්පැන් පානය කරන්නට දීලා ඒ අතරවාරයේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට බලපෑම් කර තිබෙනවා ”ඔයගොල්ලන්ගේ මහත්තුරු දරුවන්ට, ඔයගොල්ලන්ට ආදරය නැහැ නේද, නැතිනම් අපි දෙන මේ ප‍්‍රකාශයට අත්සන් කර ගෙදර එන්නට පුළුවන්කම තිබෙද්දී ඇයි මේ හිරේට වෙලා ඉන්නේ” කියලා.

 

රක්ෂිත බන්ධනාගාරගත කළ අයව කොහොමද බොන්න දෙන්න අරන් යන්නේ?

ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළේ මෑතකදියි. ඒ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මතයි.

 

ඔබ මේ සාකච්ඡාව ආරම්භයේ දී ඔබ හා එක්ව දේශපාලනය කළ සගයකු ගැන කිව්වා. වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්න කවුද මේ දේශපාලනඥයා?

ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට ඔහු සම්බන්ධ බවට මට ඍජුව සාක්ෂි නැහැ. හැබැයි එතුමා සම්බන්ධව ලිපියක් විද්‍යුත් තැපෑලේ සැරිසරද්දී එතුමා කලබල වූ ආකාරය මා දන්නවා. එය ලිව්වේ ප‍්‍රගීත් එක්නැළිගොඩ බවට ඔහු සොයා ගත් බව මා දන්නවා. මා දන්නා දේ මේතාක් පොලීසියට නොකීවේ මේ පොලිස් පරීක්ෂණය ගැන මගේ කිසිදු විශ්වාසයක් නැති නිසයි. මෙය සැබෑ අපරාධකරුවා සොයනු වෙනුවට සැබෑ අපරාධකරුවා ආරක්ෂා කරන පොලිස් පරීක්ෂණයක් බව පැහැදිලියි.

 

අද වන විට එකී සගයා ඔබ සමඟ දේශපාලනය කරනවාද?

සැබැවින්ම නැහැ. ඔහු මගේ විරුද්ධ පිලක ඉන්නේ. මා දන්නා දෙයක් ප‍්‍රකාශ කළ යුත්තේ සාධාරණ පරීක්ෂණයක් සිදු වන විටදියි. ඔහු ප‍්‍රගීත් එක්නැළිගොඩ සමඟ කේන්තියෙන් සිටි බවට සාක්ෂි තිබුණත්, ප‍්‍රගීත්ව අතුරුදන් කළ බවට තිබෙන්නේ කටකතා මිස සාක්ෂි නොවෙයි. මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී ආන්දෝලනාත්මකව මේ නම කියවුණ නිසා එක්කෝ ඔහු තමන් දන්නා දේ පොලීසියට කිව යුතුයි. නොඑසේ නම් පොලීසිය ඔහුගෙන් ප‍්‍රකාශයක් ගත යුතුයි.

 

හරි, ප‍්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව සයිබර් අවකාශයේ නමක් ලෙස කතා බහට ලක් වූයේ පාඨලී චම්පික නම් දේශපාලනඥයාගේ නමයි. ඔබත් සමඟ දේශපාලනය කළ සගයා කියන්නේ ඔහුටද?

ඒ නම හෙළි කරන්නේ නැහැ කියා මා කියුවා. පාඨකයාගේ හිතේ කුකුසක් එහෙම ඇති වෙලා තිබුණා නම් ඔබ ඒ කුකුස නැති කරමින් ඉන්න බව මට ඉතා පැහැදිලිව කියන්න පුළුවන්.

 

ඔබේ දේශපාලන ගමන් සගයා එදා කලබල වෙද්දී ඇයි ඔබ කලබල වන්නේ කියා එදා ඔබට අසන්නට තිබුණා නොවේද?

ඇත්තෙන්ම ඒ විද්‍යුත් ලිපිය කියවූ ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා එය එකී දේශපාලනඥයා ඉලක්ක කරගත් විද්‍යුත් ලිපියක් කියලා. ඒ වගේම එහි තිබූ කාරණා මා පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ. එම දේශපාලනඥයා ගැන මා දන්නා දේවල්, මා ළඟ තිබෙන දේවල් ප‍්‍රසිද්ධියේ කතා කළොත් ඔහුට එමඟින් වන හානිය පිළිබඳව මා දුක් වන්නේ නැහැ. ඒ ඔහු කවුද කියා මේ රටේ ජනතාව දැනගත යුතු නිසා. එහෙත් අවාසනාවකට ඔහුගේ දික්කසාද බිරිඳ, පාසල් වයසේ ඉන්න දියණියන්ට එමඟින් යම් බලපෑමක් වෙනවා. මේ දේශපාලනඥයා පිළිබඳව හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා වගේම ඒ පුංචි දියණියන් අසීරුතාවට පත් කිරීම අපට යුතු නැහැ.

මා දරු දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්. මා පිළිබඳව එකී දේශපාලනඥයා බොරු චෝදනා නගමින් අපහාස කරද්දී මගේ දරුවන් වින්ද පීඩා මා දන්නවා. මා ගෙදර නැති වෙලාවේ මගේ දරුවන් හුදෙකලාව ගෙදර ඉන්න විට මගේ නිවස වට කර උද්ඝෝෂණයක් පැවැත්වුවා. පුංචි දරුවෝ දෙන්න බියෙන් සැලූණා. රට දන්නේ නැහැ මගේ පුතා මෙනින්ජයිටිස් රෝගියෙක් කියලා. හැබැයි ඒ දේශපාලනඥයා හොඳින්ම දන්නවා ඒ දරුවා මෙනින්ජයිටිස් රෝගියෙක් කියලා. මෙනින්ජයිටිස් රෝගියෙක්ගේ මොළය විනාශ වෙලයි තිබෙන්නේ. එවැනි අයට කම්පනයක් දරා ගන්නට බැහැ. බරපතළ ලෙස අසනීප වෙනවා. ඒ බව හොඳටම දනිමින් මෙනින්ජයිටිස් රෝගී දරුවකු හා තවත් දරුවකු හුදෙකලාව සිටින නිවසක් වටලා උද්ඝෝෂණයක් පවත්වන්නට ඔහුට කුරිරු සිතක් තිබුණා. ඔහු කුරිරු ඇති. එහෙත් මට කුරිරු වන්නට බැහැ.

ඉතිහාසය ගත් විට මේ දේශපාලනඥයා කවුදැයි කියා පැහැදිලියි?

දන්නෝ දනිති. ඇත්තෙන්ම ඔය ප‍්‍රස්තුත දේශපාලනඥයාගේ අතිශය පෞද්ගලික ලේඛන මා ළඟ තිබෙනවා. ඔහු මට කෙතරම් අපහාස, පරිභව කළත් මා ඒ කිසිවක් ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන්නේ අහිංසක දියණියන් දෙදෙනෙක් මේ දේශපාලන අරගලයට හා පෞද්ගලික කෝන්තරවලට ගොදුරු නොවිය යුතු නිසයි. මෑතක දී ඉංග‍්‍රීසි පුවත්පතක් මගෙන් විමසා සිටියා, “ඔබගේ පැරණි සටන් සගයා 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවලූ නේද? තරහ මරහා අමතක කර ඔහුට සහය දෙන්න සූදානම්ද?” කියලා. මා කිව්වා ඔබ හිට්ලර් ගැන දන්නා සියලූ දේ මාත් දන්නවා. හැබැයි, මම ඒ දේශපාලකයා ගැන දන්නා බොහෝ දේ ඔබ දන්නේ නැහැ. හිට්ලර් සහ එම දේශපාලකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මගේ සහය හිට්ලර්ටයි. ඒ හිට්ලර් හොඳ නිසා නොවෙයි, හිට්ලර් අර පුද්ගලයාට වඩා දහස් ගුණයක් හොඳ නිසයි.

 

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ සහාය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාටයි. එතැන දී ඔබ හා පාඨලී අතර විරසකය උග‍්‍ර වුණා. දැන් පාඨලී හා රතන හිමි අතර දේශපාලන ආරවුල ඇවිළී තිබෙනවා. මේ ගැන මොකද කියන්නේ?

මම ජාතික හෙළ උරුමයේ සිටිය දී කියූ දෙයක් තමයි, “අපේ පක්ෂය හරියට හිල්වුණ බාල්දියක් පුරවනවා වගෙයි” කියන එක. අපි නිරන්තරයෙන් පක්ෂයට අලූත් සාමාජිකයන් ගෙන එනවා. ඒ හා සමාන වේගයකින් සිටිය සාමාජිකයන් පක්ෂය හැර යනවා.

සෝම හිමියන්ට පින් සිදු වන්නට අපට 2004 දි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 9 ක් ලැබුණා. එහිම අතුරු ප‍්‍රතිඵලයක් විදිහට 2007 දී චම්පික මැතිතුමාට ඇමැති ධුරයක් ද ලැබුණා. හැබැයි එතුමා ඇමැති ධුරයක් දරා 2010 දී පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නම අර මන්ත‍්‍රී ධුර නවය, දෙක දක්වා පහළට වැටෙනවා. අද වන විට එය 1 දක්වා පහළට වැටිලා. පක්ෂය දේශපාලනය කරන්න කරන්න ශක්තිමත් වෙනවා වෙනුවට මේ පක්ෂය අතිදුර්වල වී තිබෙනවා. මෙයට හේතුව දේශපාලනමය, දාර්ශනිකව ගන්න තීන්දුවල වරදට වඩා පක්ෂයේ නායකයන්, සාමාජිකයන්, මානුෂීය සබඳතා ගැන සංවේදී නොවීමයි. යන්ත‍්‍ර වගේ සිත් පිත් නැති කුරිරු මිනිසුන් වගේ හැසිරීමෙන් පක්ෂයක් කියන මානුෂික ජාලය ගොඩනගන්න බැහැ. ත‍්‍රස්ත විරෝධී ව්‍යාපාරයෙන් මේජර් ජෙනරාල් තිලක් පරණගම, සිහල උරුමයෙන් එස්.එල්. ගුණසේකර, ජාතික හෙළ උරුමයෙන් මුලින්ම තිලක් කරුණාරත්න, කොලොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, එල්ලාවල මේධානන්ද හිමි ඉවත් වූ හැටි අපට මතකයි. මෙය සිද්ධ වූයේ පක්ෂය තුළ සාමූහිකව කටයුතු කරගැනීමට තිබූ දුෂ්කරතාව නිසයි. විශේෂයෙන් චම්පික ඇමැතිතුමාගේ තිබෙන කර්කශ, දරදඬු පාලනය නිසයි.

මේවා ගැන මා මෙතෙක් විවෘතව කතා කළේ නැහැ. අද මා විවෘතව කතා කරන්නයි හදන්නේ. චම්පික හා රතන හිමියන් අතර ගැටුම දීර්ඝ කාලයක් තිබුණා. රතන හිමියන් කියන්නේ ඉතාම සංවේදී මානුෂික චරිතයක්. උන්වහන්සේගේ මතයට අපි විරුද්ධ වුණාය කියා කවමදාකවත් පෞද්ගලිකව වෛර බැන්දේ නැහැ. පක්ෂය ඇතුළේ පාඨලී මැතිතුමාගේ මතය හා විරුද්ධ වන අයව පාඨලී දුටුවේ තමන්ගේ සතුරන් ලෙසයි. රතන හාමුදුරුවන් පාඨලීගේ ඒකාධිපති ස්වරූපය දිගින් දිගටම අභියෝගයට ලක් කරන නිසාම උන්වහන්සේ පාඨලීගේ වෛරයට පාත‍්‍ර වුණා. ඒ නිසා රතන හාමුදුරුවෝ බොහෝ විට පක්ෂයේ රැස්වීම්වලට සහභාගී නොවී මඟ හරින්නට පටන් ගත්තා. මම විශ්වාස කරන විදිහට පාඨලී රණවක මැතිතුමා පක්ෂය කරගෙන යන ආකාරය ගැන රතන හාමුදුරුවන්ට ලොකු කලකිරීමක් තිබුණා. රතන හාමුදුරුවන් කියන්නේ පාඨලී රණවක වගේම මේ දේශපාලනයේ ජ්‍යේෂ්ඨ චරිතයක්. මේ පක්ෂය ගොඩනගන්නට මහා කැප කිරීම් කළ චරිතයක්. උන්වහන්සේ නොතකා පාඨලී කටයුතු කිරීම ගැන උන්වහන්සේ තුළ සිත් වේදනාවක් ඇති බව මා විශ්වාස කරනවා.

 

මෙවර හෙළ උරුමයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාට ලබා දීමට චම්පික දැරූ උත්සාහය මෙකී ගැටුමේ ප‍්‍රතිඵලයක්ද?

පාඨලී කවදාවත් ඔහුත් සමඟ එකට වාද කරන, එකට ගැටෙන සමකාලීනයන් සමඟ කටයුතු කිරීමට කැමැති වුණේ නැහැ. ගෝලයන් සමඟ කටයුතු කරන්නැයි කැමැති. රතන හාමුදුරුවෝ චම්පික කියන දේට ඇහුම්කන් නොදෙන, ඒ වෙනුවට ඔහුත් සමඟ වාද කරන, ඔහුට එරෙහිව අභියෝග කරන චරිතයක්. නිශාන්ත කියන්නේ චම්පික කියන ඕනෑම දෙයක් දේවභාෂිතයක් සේ පිළිගන්නා, ඔහු දෙන ඕනෑම අණක් කීකරුව ඉටු කරන චරිතයක්.

 

පිවිතුරු හෙළ උරුමය හරහා ඔබ ආමන්ත‍්‍රණය කරන්නේ ජාතික හෙළ උරුමයේ යම්කිසි කොටසකටයි. එහෙම නම් ඔබගේ පක්ෂයේ අනාගතය කවරාකාරද?

ජාතික හෙළ උරුමය තමන්ගේ සාම්ප‍්‍රදායික දේශපාලනය අත හැරීමෙන්, ඉතාම සුළු මුදලක් වියදම් කරමින් 2010 දී සන්ධානයට වැටුණු ඡන්දවලින් සියයට 26 ක ඡන්ද ගන්නට රණවක මැතිතුමාට පුළුවන් වුණා. 2015 දී අසීමිත ධනස්කන්දයක් වියදම් කරමින් එ.ජා.ප. යට ලැබුණු ඡන්දවලින් ලබා ගන්නට පුළුවන් වුණේ සියයට 16 යි. සන්ධානය වගේ නොවෙයි අවුරුදු 21 ක් විපක්ෂයේ සිටි එ.ජා.ප. යට ආණ්ඩුවක් හදන්න තීරණාත්මකව කටයුතු කළ පුද්ගලයෙක් තමයි චම්පික කියන්නේ. චම්පික, සිරිසේන මහත්තයට එකතු වෙන්නේ පක්ෂයක් හා මතවාදයක් සමඟයි. එසේ මුකුත් නැතිව සිරිසේන මහත්තයට එකතු වූ රාජිත සේනාරත්න මැතිතුමාට, 44%ක මනාපයක් ලබා දෙන්න තරම් කළුතර එ.ජා.ප. පාක්ෂිකයන් කාරුණික වුණා. ගම්පහට හදිසියේ කඩා පාත් වුණ අර්ජුන රණතුංග එ.ජා.ප. ලැයිස්තුවේ දෙවැනියාට ඔසොවා තබලා රුවන් විජේවර්ධනලා ඊට වඩා පහළට තල්ලූ කරන්නට තරම් ගම්පහ එ.ජා.ප. පාක්ෂිකයන් කාරුණික වුණා. හැබැයි පක්ෂයක් අරන් ඇවිත් තීරණාත්මක කාර්යභාරයක් කළ, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තම අත් අකුරෙන් ලියපු චම්පික රණවකට ලැබුණේ 16% යි. එමඟින් පෙනී යන්නේ හෙළ උරුමයේ සාම්ප‍්‍රදායික දේශපාලනය විශ්වාස කළ ජනතාව මේ පිල් මාරුව, මේ ප‍්‍රතිපත්ති මාරුව, මේ පාවා දීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. මම ඉතාම සීමිත මුදලක් සහ අලූතෙන් හදාගත් පක්ෂයක සහාය ඇතිව කුළුඳුලේ පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කර 44% ක ප‍්‍රතිශතයක් සමඟ කොළඹින් දෙවන ස්ථානය ලබා ගත්තා. ජාතික හෙළ උරුමයේ දේශපාලනය අතීතයේ බවත් පිවිතුරු හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ අනාගතය බවත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔප්පු වී හමාරයි.

ss

සාකාච්ඡාව – ප්‍රභාත් වීරරත්න