රොබොටික් ලෝක ශුරතාවය දිනූ ජර්මන්ටෙක් සිසුන්ට ඉහල පිළිගැනීමක්…

ඉන්දීය තාක්ෂණ ආයතනය ( Indian Institute of Technology ) විසින් ඉන්දියාවේ මුම්බායිහීදි පැවැත්වූ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය TECHFEST- 2015 වෙනුවෙන් රොබෝ තාක්ෂණ ( Robotics ) අංශයෙන් තරඟ කර ලෝක මට්ටමේ පළමු ස්ථානයක් දිනාගත් ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතන ( German Tech ) ශිෂ්‍ය කණ්ඩායම ඊයේ( 01 ) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී උණුසුම් ලෙස පිළිගනු ලැබුවේය.

මෙසේ ජර්මන් ටෙක් ආදී සිසුන්ගේ උණුසුම් පිළිගැනීමට ලක්වූයේ එච්.ආර්.අර්ජුන ප්‍රේමචන්ද්‍ර , පී.කේ.ඩී.පල්ලෙවෙල , ආර්.ටී.එල්.දෙහිපිටිය, ජේ.ඩී.විතානාච්චි , එස්.පී.සී.එස්. කරුණාරත්න යන ලංකා ජර්මානු තාක්ෂණ ශිල්පායතනයේ සිසුන් 05 දෙනා වෙති.
මෙම තරඟාවලිය ලෝකයේ තාක්ෂණ විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන්නක් වන අතර මෙරටින් මොරටු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් හා ICBT විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් සහාභාගි වී තිබුනි.

සිසුන් පිළිගැනීම සංවිධානය කර තිබුනේ ලංකා ජර්මානු තාක්ෂණ ශිල්ප ආයතනයේ ජාත්‍යන්තර ශාඛාව වන CGTTI ( Ceylon German-tech Training Institute Alumnae Global ) සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ඩබ්.ඩබ්. සොයිසා මහතා ඇතුළු නියෝජිතයන් වන නිපුල් ගුණසේකර , ගන්දික වැළිගමගේ , සුනිල් විතානාච්චි ඇතුළු පිරිසක් විසිනි.

මෙම සිසුන් 05 දෙනා විසින් දුරස්ථ පාලක හා පරිගනක තාක්ෂණය ඇසුරින් විනිසුරුවන් ලාබාදෙන කාර්ය ඉතාම කෙටි කාලයකින් ( මි.02කින් ) නිම කර ප්‍රංශය , ඉන්දියාව, දකුණු කොරියාව , ඊජිප්තුව, පිළිපීනය, පාකිස්ථානය වැනි රටවල් 20 ක තරඟකරුවන් පාරජයට පත්කර මෙම ලෝක සම්මානය දිනාගෙන තිබේ.

කෙසේ වෙතත් කණගාටුවට කරුණ වූයේ මෙවන් දක්ෂතාවයක් හා මව්බිමට කීර්තියක් අත්කරදුන් මෙම සිසුන් 05 දෙනා පිළිගැනීමට ආදී සිසුන් හා මව්පියන් ඇරෙන්නට කිසිදු ඉහල නිලධාරියකු ගුවන්තොටුපොලට පැමිණ නොසිටීමයි.

– රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය

zx