කොළඹ කනපිට හරවන මොකක්ද මේ මෙගා ‍පොලිස්

පසුගිය අගෝස්තුවේ පිහිටුවනු ලැබූ නව රජයේ අමාත්‍යාංශ අතර අපට එතරම් හුරුපුරුදු නැති අමාත්‍යංශයක් ද වෙයි. ඒ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි. ‍පොදු භාවිතයේ මෙගා ‍පොලිස් අමාත්‍යාංශය යනුවෙන් හඳුන්වන එම අමාත්‍යාංශය පිළිබඳ අපට ඇත්තේ ආගන්තුක හැඟීමකි. එම අමාත්‍යාංශයේ අරමුණු සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ අමාත්‍යාංශ ‍ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, අතිරේක ‍ලේකම්වරුන් වන කේ.ඩබ්.ටී. අමරතුංග, මාධව වෛද්‍යරත්න සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර යන අය සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය ලිය වෙයි.

පැණි බිම බෝතලයේ සිට එළිමහන් සංගිත ප්‍රසංගය දක්වා ඕනෑම දෙයක වඩා විශාල බව හැඟවීමට අප භාවිතා කරනා සරලම වචනය වනුයේ මෙගා යන්නයි. එබැවින් මෙගා ‍පොලිස් යනු වඩා විශාල ‍පොලීසියක් යැයි ඔබට සිතෙන්නට බැරි නැත. සැබැවින්ම මෙගා ‍පොලිස් යන ග්‍රීක වචනයේ ‍පොලීසියක් ගෑවිලාවත් නැත. එහි අරුත මහා නගරය යන්නයි. කෙසේ වෙතත් ලාංකික ව්‍යවහාරික ශබ්ද කෝෂයේ මෙගා ‍පොලිස් යන වදන පැමිණෙන්නේ තනිවම නොවේ. බස්නාහිර සංවර්ධන යන වදන ද කැටිව නව අමාත්‍යාංශයක් ලෙසිනි. මේ නව අමාත්‍යාංශය ස්ථාපිත කරනුයේ ඉදිරියේදී ක්‍රියාත්මක වන මහානගර සැලැස්මක මූලික පියවර වශයෙනි.
ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර බවට ශ්‍රී ජයවර්ධනපුරය පත්වනුයේ 1980 දශකයේ පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙන ඒමෙන් පසුවය. එහෙත් එය කිසිදිනක පරිපූර්ණ අගනුවරක් වශයෙන් ක්‍රියාත්මක වූයේ නැත. ප්‍රධාන අමාත්‍යාංශ, ජනපති, අගමැති නිල නිවාස, සංස්ථා, රජයේ කාර්යාල, පාසල්, රෝහල් ආදී කී නොකී දහසක් දේ වාණිජ අගනගරය වූ කොළඹ කේන්ද්‍රකර පවතිද්දී, පාර්ලිමේන්තුව පමණක් කෝට්ටේ පිහිටුවීම බොහෝ දුෂ්කරතා ඇතිකරවන්නට සමත් විය.
කෙසේ නමුත් 1990 දශකයේ අගභාගයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සිය නිල නිවස ඇතුළු අංග ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන ඒමට උත්සාහ ගත්තද ඊට වැයවෙනු ඇතැයි පැවසූ මුදල නිසා එය අතරමග නතර විය. අනතුරුව 2005 තරම් මෑත ඉතිහාසයේදී ද, ජයවර්ධනපුර කෝට්ටේ අවට ප්‍රදේශය විසල් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කළ ද එහිදී සිදුවීමට හැකි මහා පරිමාණ පාරිසරික විනාශය සලකා බලා එම සැලැස්මේ නිර්මාතෘවරුන් විසින්ම එය හකුලා ගන්නා තැනට වැඩ කටයුතු සිදුවිය.
ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය කේන්ද්‍රකර විසල් අගනගරයක් බිහිකිරීම වරක් දෙවරක් නොව තුන්වරක් කල් ගිය යෝජනාවකි. එනිසා මහජනයා සිතුවේ මේ මහා නගර සැලසුමට සැමදා බාලගිරි දෝෂය කියාය. නොඑසේ නම් කෙදිනකවත් ක්‍රියාත්මක නොවනා යෝජනාවක් බවය.
එහෙත් 2015 ජනවාරියේ රටේ සිදුවූ දේශපාලන පරිවර්තනය ඔස්සේ සිදුවිය නොහැකි යැයි සිතූ බොහෝ දේ සිදුවිය. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් ශ්‍රීලනිප මහ‍ලේකම්වරයා ජනාධිපති ධුරයට පත්වීමත්, සදාකාලික පසමිතුරන් වූ එජාපය සහ ශ්‍රීලනිපය එක්ව රජයක් පිහිටුවීමත් මේ කපේදී සිදුවේයැයි කිසිවෙකුත් නොසිතූ දේවල්ය. ඒ පෙළහරේ තවත් එක් අංගයක් ලෙස මෙගා ‍පොලිස් සහ බස්නාහිර සංවර්ධන නමින් අමාත්‍යාංශයක්ද බිහි විය. මේ නව අමාත්‍යාංශය භාර වූයේ රාජපක්ෂ පාලනයේ ගල්ලෙන බිඳීමට මුල් වූ පාඨලී චම්පික රණවක ඇමැතිවරයාටය.
බස්නාහිර පළාතේ පිහිටි දිස්ත්‍රික් තුන තුළ පිහිටි තෝරා ගත් නගර අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගනු වස් විධිමත් ආකාරයෙන් හඳුනාගෙන ඊට ඇවැසි සංවර්ධන කාර්යන් සිදුකිරීම මෙගා ‍පොලිස් ප්‍රතිපත්තියේ මූලික අංගයකි.
මේ වැඩපිළිවෙළ යටතේ කළුතර, හොරණ, මීරිගම හා කටුනායක සිට කොළඹ දෙසට ඇති ප්‍රදේශ ක්‍රමානුකූල සංවර්ධනයකට ලක්කරනු ඇත. මෙහිදී සිදුවනුයේ කර්මාන්ත ඉදිකිරීමට සහ පවත්වාගෙන යෑමට සුදුසු ලෙස යටිතල පහසුකම් සැපයීම පමණක් ද යන සැකය ඔබ තුළද ඇතිවීම සාධාරණය. මන්දයත් මෙතුවක් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ආයෝජන පුනරුදය වෙනුවෙන් ගත් උපරිම පියවර කර්මාන්ත එක බිමකට ගාල් කර කර්මාන්තපුර පිහිටුවීම වන බැවිණි. එහෙත් මෙගා ‍පොලිස් ප්‍රතිපත්ති ඊට ඉඳුරාම වෙනස්ය. මෙහිදී කර්මාන්්ත උදෙසා කෙරෙන සංවර්ධනයේ මුල්ම තැන හිමිවනුයේ මිනිසා සහ පරිසරයටය. නිහාල් රූපසිංහ පවසයි.

ඊට හෙඳම උදාහරණය කටුනායක සහ කොළඹ අතර කලාපයේ ඇති රම්ස්, තෙත් බිමක් වන මුතුරාජ වෙල මෙගා ‍පොලිස් ප්‍රතිපත්ති යටතේ ඉතා ක්‍රමානුකූල සංරක්ෂණයට ලක්කිරීමය. මේ තත්ත්වය කොතරම් ප්‍රබල දැයි කිවහොත් මින් මතු මුතුරාජවෙල තෙත්බිමට ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආරක්ෂාවක් හිමිවනුයේ එය නියත සංරක්ෂිත කලාපයක් වන නිසාය. රත්මලාන ප්‍රදේශයේ අවිධිමත් කම්හල් ව්‍යාප්තිය නිසා අත්තිඩිය තෙත් බිම බොල්ගොඩ ජලාශය සහ වේරැස් ගඟට සිදුවූ විනාශය වැනි දේවල්  මෙගා ‍පොලිස් වැඩපිළිවෙල යටතේ යළි සිදු නොවනු ඇත.
කටුනායක කොළඹ අතර කලාපය මෙගා ‍පොලිස් ප්‍රතිපත්ති යටතේ සංවර්ධනය වනුයේ ‘එරෝ සිටි’ නොහොත් ගුවන් නගර සංකල්පය යටතේය. එහිදී ගුවන් තොටු‍පොළට අමතරව ඒ ආශ්‍රිත වෙනත් කර්මාන්ත යෝජිත එරෝසිටි හි ස්ථාපිත කරනු ඇත. ඒ අනුව ගුවන් මගින් ඉලක්ක කරගත් සංචාරක හෝටල්, ගුවන් යානා සඳහා සේවා සපයන (වතුර, ආහාර, ඉන්ධන) නියෝජිත ආයතන, ගුවන් නියමුවන් පුහුණු කිරීම, බඩු ගබඩා, සංචාරක ආයතන ආදී ගුවනට සෘජුව බැඳෙන අංග එරෝසිටි හි ස්ථාපිත කරනු ඇත.
ආයෝජකයෙකු, සංචාරකයෙකුට හෝ ලාංකික පුරවැසියනට සිය ගුවන් ගමන් හා සම්බන්ධ සියලු කටයුතු එක ප්‍රදේශයකින් කරගත හැකි වීම මෙහි විශේෂයකි. මෝදර, මට්ටක්කුලිය ආදී කොළඹ වරායට ආසන්න සමුද්‍රාසන්න කලාප වරාය නගර (Port City) සංකල්ප යටතේ සංවර්ධනය කරනු ඇත. එහිදී නැව් ගමනාගමනයට අදාළ සියලු කර්මාන්ත සේවා ඒ ආශ්‍රයෙන් ස්ථාපිත කරනා අතර මෙහි වැදගත්කම වනුයේ අදාළ ක්‍ෂේත්‍රයේ සියලු අවශ්‍යතාවන් ඉතා සමීපව ඉතා හොඳින් ජාලගත පරිශ්‍රයකින් ලබාගත හැකි වීමය.
එළඹෙන දශකයේදී ශ්‍රී ලංකාව දැනුමේ හා අධ්‍යාපනයේ කේන්ද්‍රය කරනු රිසින් මාලබේ, හෝමාගම ආදී ප්‍රදේශ විද්‍යාවේ සහ තාක්ෂණයේ පිවිසුම් ලෙස සංවර්ධනය කරනු ඇත. ඉදිරියේදී උසස් අධ්‍යාපන ආයතන සියල්ල ඉදිකළ හැක්කේ මේ ප්‍රදේශවල පමණි. (එහෙත් දැනට පවතින ආයතන එම ප්‍රදේශ වලින් ඉවත්කිරීමක් මෙහිදී සිදු නොවේ.)
මෙගා ‍පොලිස් සංකල්පයට අනුව යම් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී එම ප්‍රදේශයේ පවතින කර්මාන්ත සහ ස්වභාවික පරිසරයත් ආරක්ෂා කිරීමට ද මුල් තැන දෙයි. කළුතර දිස්ත්‍රික්කය හරිත නගරයක් ලෙස සංවර්ධනය කරනුයේ එබැවිනි. මෙහිදී බදුරලිය, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය ආදී පස්යොදුන් කෝරළයේ සහ රයිගම් කෝරලයේ නොඉඳුල් වනබිම් ආරක්ෂා කිරීමට මුල්තැන දෙන අතර තේ, රබර් කර්මාන්ත ආදීන්ගේ සංවර්ධනය උදෙසා කළුතර හරිත නගරයේ වැවිලි නගර සංකල්පයද ක්‍රියාත්මක කෙරෙනු ඇත.
නාගරික තදබදය අවම කිරීමටද මෙගා ‍පොලිස් සංකල්පයේ කදිම පිළිතුරු ඇත. ඒ අනුව ත්‍රීකේ සිටීස් (කළුතර, කඩවත, කොට්ටාව) යන නගර පරිපාලන නගර ලෙස සංවර්ධනය කරනු ඇත. එනිසා ජනතාවට සිය ෙදෙනික කටයුතු උදෙසා ප්‍රධාන නගර වෙත පැමිණීම අනවශ්‍ය වෙන බැවින් මහා නගර වෙත ෙදෙනිකව එන වාහන සහ මිනිසුන් ප්‍රමාණය අවම වනු ඇත. දැනට කොළඹට ප්‍රධාන ද්වාර හතක් ඔස්සේ මිලියනයකට වඩා වැඩි පිරිසක් ෙදෙනිකව පැමිණේ. කළුතර, කඩවත, කොට්ටාව වැනි නගර උපනාගරික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනයවීමත් සමග හොඳ තත්ත්වයේ රෝහල්, පාසල් ආදියද ඒවායේ ඉදිවනු ඇත. එබැවින් එකී සේවාවන් සඳහා නගරයට ඇතුළු වන පිරිස අවම වෙයි. නගරයෙන් පිටත යෑමට සාපේක්ෂව නගරයට පැමිණෙන පිරිස ද අඩුවන බැවින් නාගරික තදබදය සැලකිය යුතු ලෙස අඩුවන බව පැහැදිලිය.
මෙගා ‍පොලිස් ප්‍රතිපත්ති යටතේ නාගරික කසළ කළමනාකාරණයටද සාර්ථක විසඳුම් හිමිවෙයි. වර්තමානයේ භූවිද්‍යා සිතියමේ නැති කඳු කසළ කඳු ලෙස අගනගරය මැදිකොට නිර්මාණය වෙමින් පවතින මුත් නව සංවර්ධන සැලැස්ම අනුව දෑ වසරක් තුළ කොළඹ කසළ ගැටලුවට විධිමත් ආකාරයෙන් කළමනාකරණය කර නිමා කරනු ලැබේ.
දැනට කොළඹ සහ අවට ඇති එහෙත් නගරයෙන් බාහිරව ස්ථාපිත කළ ආයතන රාශියක් මෙම වැඩපිළිවෙළ යටතේ හඳුනා ගෙන ඇත. ඒ අනුව මැගසින් බන්ධනාගාරය පවා ඉවත් කිරිමට යෝජනා වී තිබේ. එම බන්ධනාගාරය ඉවත් කළ පසු ඒ ඔස්සේ මාලබේ තෙක් නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සැකසී ඇත.
ඊට අමතරව ඒ ඒ ප්‍රද්ශයේ ඇති අවශ්‍යතා සලකා බලා නව මාර්ග ආදිය ඉදිකිරීමට දැනට පවතින දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීමට ද සැලසුම් සැකසී ඇත. ඒ අනුව කොළඹ නගරය බලා ක්‍රියාත්මක දුරගමන් බස් සේවා පෙර කී උපනාගරික මධ්‍යස්ථානවලින් නතර කර එහි සිට අග නගරය තුළට දියුණු ‍පොදු ප්‍රවාහන සේවා සැපයීමට සැලසුම් සැකසෙමින් පවතී. මේ වැඩපිළිවෙල අනුව කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පවතින මාර්ගයට සමාන්තරව ඊට උඩින් ගමන් ගන්නා මාර්ගය ද තවත් තැනකදී තනිපීල්‍ලේ ධාවනය වන දුම්රිය (Mono Rail) හඳුන්වාදීමටද යෝජිතය. ඊට අමතරව නව පිවිසුම් මාර්ග ඉදිකළ හැකි ස්ථාන හඳුනා ගැනීමද මෙම වැඩපිළිවෙලට ඇතුළත්ය. ආපදා කළමානාකරණය කිරීමටද මෙගා ‍පොලිස් සැලැස්මේ වැදගත් තැනක් ලැබි ඇත.

නාගරික ගංවතුර පාලනය උදෙසා දැනට ගොඩකර ඇති තෙත්බිම් යළි තහවුරු කිරීම සහ ජලවහනයට බාධා වන පරිදි සිදුකර ඇති පාරිසරික වෙනස්කම් සියල්ල යථාවත් කිරීමට ද සිදුවනු ඇත.
මෙගා ‍පොලිස් ක්‍රමය යටතේ බස්නාහිර පළාත සැලසුම් සහගත නාගරික ඒකකයක් බවට පත්කිරීම සිදුවන අතර එය සිවිල් ජනතාවට මෙන්ම ආයෝජකයන්ට ද පහසුවකි. ඉදිරියේදි ශ්‍රීලංකාවට එන ආයෝජකයන්ට තමුන්ගේ ආයෝජන සඳහා සුදුසු බිම් මෙන්ම යෝග්‍ය ව්‍යාපෘතින් ද තෝරා දීමට මෙගා ‍පොලිස් වැඩපිළිවෙළ අනුව පහසුකම් ලැබේ.

එමෙන්ම ඒ ඒ කර්මාන්ත සඳහා සුදුසු බිම් කල් තබා වෙන්කර තැබිමත් ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පාදනය කර තිබිමත් ආයෝජනය දිරිගන්වන සුළු කරුණු වෙයි. මෙතුවක් කල් පැවැති කර්මාන්තපුර ක්‍රමය යටතේ මිනිස් වාස මැද කර්මාන්ත පිහිටුවීම සිදුවිය. අද වන විට ජනතාව බොහෝ කර්මාන්තවලට එරෙහිව වීදි බසිනා තැනට පත්වීමට මෙලෙස නොසුදුසු ස්ථානවල කර්මාන්ත ස්ථානගත කිරීම හේතුවී ඇත. එහෙත් මෙගා ‍පොලිස් වැඩපිළිවෙළ යටතේ කර්මාන්ත සඳහා ඉඩකඩ වෙන්කරනු ලබනුයේ මිනිසුන් සහ පරිසරය හා නොගැටෙන පරිදිය. එබැවින් මෙතුවක් කල් අපට ආගන්තුක වූ ප්‍රජා කාර්මික සහජීවනය ගොඩනැගීමටද මෙගා ‍පොලිස් සංකල්පය හේතුවනු ඇත. එපමණක්ද නොව කර්මාන්ත සහ පරිසරය අතර සැබෑ තුලනයක් ඇතිවනු වස් මෙගා ‍පොලිස් සංකල්පය මගින් ඉඩ සලසා ඇත. ඒ අනුව ධනය හෝ දේශපාලන බලය යොදා තම අභිමතය පරිදි කර්මාන්ත ඉදිකිරීමට ව්‍යාපාරික ප්‍රජාවට මින් ඉදිරියට නොහැකිවනු ඇත.
එමෙන්ම පරිසර වාර්තා ඇතුළු කර්මාන්තකරුවන් සහ සිවිල් පුරවැසියන්ට අත්‍යවශ්‍ය ෙනෙතික කරුණු රැසක් මේ නව වැඩපිළිවෙළ යටතේ එකම ආයතනයකින් ලබාගත හැකිවනු ඇත. දැනට කියාත්මක විදුලිබල, මාර්ග, ප්‍රවාහන, අධ්‍යාපන ආදී ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ සියලු ආයතන සහ ව්‍යුහයන් මෙගා ‍පොලිස් වැඩපිළිවෙල යටතේ ද සක්‍රියව පවතියි. එහෙත් ඒක ආයතන වෙනුවෙන් ඔවුන්ගේ සේවා ව්‍යාප්තිය වෙනුවෙන් සැලසුම් සකස් වනුයේ මෙගා ‍පොලිස් සීමාවේ සහ ප්‍රතිපත්ති මත සිටය. එබැවින් සියලු ආයතන මනා සම්බන්ධීකරණයකට සහ කළමනාකාරීත්වයට නතුව කටයුතු කිරීම මෙම වැඩපිළිවෙ‍ලේ විශේෂාංගයකි. ඒ නිසා දුරකතන රැහැන් එලා දිනකට පසු ජලනල එළීමට මාර්ගය හෑරිම වැනි අනවබෝධික කටයුතු මෙගා ‍පොලිස් වැඩපිළිවෙළ යටතේ සිදුනොවනු ඇත. සිංගප්පූරුව, තායිලන්ය, ද. කොරියාව අපට පෙර මෙගා ‍පොලිස් සංකල්පය ක්‍රියාවට නැගූ රටවල්ය.
එහිදී ඔවුනට බොහෝ වැරදි සිදුවිය. දකුණු කොරියාව පසුගියදා අධිවේග මාර්ගයක් කඩා දමා ඊට යටවූ ගංගාවක යළි මතුකර ගැනීම ඊට උදාහරණයකි. එවැනි වැරදි කල් තබා හඳුනා ගෙන ඉන් වැළකීමට අපට හැකිව ඇත්තේ අප මදක් පමා වී මෙගා ‍පොලිස් ප්‍රතිපත්තියට අවතීර්ණ වීම නිසාය.
මෙගා ‍පොලිස් ව්‍යාපෘතියේ සියලු මූලික සැලසුම් මේ වන විට සිදුවෙමින් පවතී. 2020 වන විට මෙහි මූලික අරමුණු සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර සමස්ත ව්‍යාපෘතිය නිමවීමට තවත් කලක් ගතවනු ඇත. මෙගා ‍පොලිස් ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යාපෘතින් 10කට සම්බන්ධ උපව්‍යාපෘතින් 100 පමණ තිබෙනා බැවින් සමස්ත ව්‍යාපෘතිය නිමවන විට අලුත්ම නගරයක් නිර්මාණය වී තිබෙනු ඇත. එවැනි මහා වෙනස්කම්වීමට රටවැසියන් ක්‍රමිකව සූදානම් වන අතර දැවැන්ත ආකල්පමය වෙනසක්ද රට තුළ සිදුවිය යුතුය.
අක්‍රමවත් නගර ක්‍රමවත් කරන අගනගරයට කේන්ද්‍රවූ පාලන ක්‍රම ප්‍රත්‍යන්තයට විමධ්‍යගත කරනා ගහකොළ, සතා සීපාවට පවා නිසි තැන ලබා දෙන මෙගා ‍පොලිස් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් හෝ බැංකොක් පුරයක් කරන්නට ගන්නා උත්සාහයක් නොවේ. එය අතීත සංවර්ධන යෝජනා ක්‍රමයන්හිදී මහ‍පොළවට සිදුකළ වැරදි පවා නිවැරදි කරනා භුමිය, ජලය සහ සියලුම සම්පත් තිරසාර සංවර්ධනය උදෙසා ක්‍රමවත්ව ආයෝජනය කරනා ඔබ අපට පමණක් නොව නූපන් පරපුරට ද සෙත සඳනා මහා ව්‍යාපාරයකි. මේ මහා ජනතා ව්‍යාපාරය ජනගත කිරීම 2016 ජනවාරි මස 14 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

city
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු