රාජිත කංසා වවයි

ආයුර්වේද ඖෂධ සංස්‌ථාව විසින් කංසා (ගංජා) වගා කිරීමේ නව වැඩසටහනක්‌ ළඟදීම ආරම්භ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඖෂධ සෑදීම සඳහා විශාල මුදලක්‌ වැයකර දැනට ඉන්දියාවෙන් කංසා මිලදී ගන්නා බවත් ශ්‍රී ලංකාව තුළ අරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යටතේ කංසා වගා කිරීමෙන් විශාල මුදලක්‌ ඉතිරි කර ගැනීමට හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මෙසේ වගා කරනු ලබන කංසා පැළ ආරක්‍ෂා කර ගැනීමට යුද්ධ හමුදා සහායද ලබා ගැනීමට අදහස්‌ කරන බවද (පෙරේදා 2 දා) රාත්‍රි වාද්දුව පොතුපිටිය වෙන්ඩෝල් ආයුර්වේද රෝහල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්‌වීමේදී ඇමැතිවරයා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය ඇමැතිවරයා බටහිර වෛද්‍යවරුන් යම්කිසි ඖෂධයක්‌ සොයාගත් විට ප්‍රසිද්ධියට පත් කරන අතර දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ යම්කිසි ඖෂධයක්‌ සොයාගත් විට ප්‍රසිද්ධියට පත් නොකිරීම නිසා දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වී නැතැයිද කීය.

දේශීය වෛද්‍ය නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට නාවින්න වෛද්‍ය මධ්‍යස්‌ථානයට විශාල මුදලක්‌ වෙන්කර ඇතැයිද නිකවැරටිය ආයුර්වේද නිෂ්පාදන ගොවි පළ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඖෂධ සංස්‌ථාවට පැවරීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

rajitha