අපෙන් රුසියාවට තර්ජනයක් නෑ – නේටෝ

තමන් විසින් රුසියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව නේටෝ සංවිධානය පවසා ඇත.

උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ ප‍්‍රකාශිකා ඔආනා ලූන්ගෙස්කු පවසා ඇත්තේ තම ප‍්‍රතිපත්ති හේතුවෙන් කිසිවිටක මොස්කව් පාලනය වෙත ආරක්‍ෂක තර්ජනයක් එල්ලවී නොමැති බවයි.

නේටෝවේ ප‍්‍රසාරණය කිසිවෙකු ඉලක්ක කරගත්තක් නොවන බව ඇය අවධාරණය කර තිබේ.

ඕනෑම ස්වෛරී රාජ්‍යයකට තමන් සම්බන්ධ වන ගිවිසුමක් හෝ සන්ධානයක් පිළිබඳව තීරණ ගැනීමට අයිතිය ඇති බව ලූන්ගෙස්කුගේ අදහසයි.

පසුගියදා තමන් සමග එක්වන ලෙස නේටෝව විසින් මොන්ටිනිග්‍රෝ රාජ්‍යයට ආරාධනා කරන ලදී.

2016 වසර සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආරක්‍ෂක උපායමාර්ගය පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවද නේටෝ ප‍්‍රකාශිකාව සඳහන් කර ඇත.

නේටෝ සංවිධානයේ ප‍්‍රසාරණය රුසියානු ජාතික ආරක්‍ෂාවට එල්ලවන ප‍්‍රධානතම තර්ජනයක් ලෙස එම ලියවිල්ලේ සඳහන්ව තිබේ.

2014දී ක‍්‍රිමියාව යළිත් රුසියානු ෆෙඩරේෂණයට සම්බන්ධ කරගැනීමට පියවර ගැනීම සහ නැගෙනහිර යුක්රේනයේ අර්බුදකාරී තත්වයක් පැනනැගීම සමග නැගෙනහිර යුරෝපා හා බෝල්ටික් කලාපවල රුසියානු දේශසීමා ආසන්නයේ හමුදා බලය නැංවීමට නේටෝ සංවිධානය පියවරගත් අතර මහා පරිමාණ යුධ අභ්‍යාස රැසක් මේ වන විටත් පවත්වා ඇත.

see

cnews