නිශාන්තට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට සීල් තියලා !

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාගේ ප්‍රධානියා, පසුගිය 03 දා පැවති ක්‍රිකට් නිලවරණයේදී නිශාන්ත රණතුංග මහතාට පක්ෂව ඡන්දය නොදීම ගැන කෝපයට පත් රණතුංග සොයුරන් ඔහුගේ කාර්යාලයට සීල් තබා ඔහුට එරෙහිව ආයතනික විමර්ශනයක් ආරම්භකර ඇතැයි එහි වෘත්තීය සමිති ප්‍රධානියකු  පැවසිය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කාර්යාලයට  (05) පස්වරුවේ සීල් තබා ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

වරාය විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නියෝගය මත ඔහුගේ සොයුරු,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු කියා සිටීයේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන මොහු, නාලන්ද මාධ්‍ය සංසදයේ ප්‍රධානියකු ද වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති මොහු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අතරම,  ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

බලපෑම් : ඡන්දය දීමෙන් වලකී !

ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතාට පක්ෂව සිය ඡන්ද දෙක පාවිච්චි කිරීමට තීන්දුවකට එළඹ තිබිණ.

ආදී නාලන්දියකු වන තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට ජනසතු සේවා ක්‍රිකට් සංගමය ගත් තීන්දු වෙනස් කර, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්ද දෙක ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් අපොන්සු මහතාට දැඩි බලපෑමක් එල්ලවී තිබු බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේ සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපොන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

එහෙත් උප සභාපතිධූරය සඳහා තරග වැදුණු තම විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට පක්ෂව ඔහු සිය ඡන්දය පාවිච්චි කළේය.

ඡන්ද බලය හිමිව තිබු රාජ්‍ය ආයතනවල නිළධාරීන්ට රණතුංග පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ බව ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටි අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද කියා සිටියේය.

c

srilankamirror