මම අධිෂ්ඨානශීලි ගමනක්‌ යමින් සිටිමි

2015 ජනවාරි මස 8 වැනිදා මේ රටේ සිදු වූ සමාජ දේශපාලන පෙරළිය අසාමාන්‍ය වූද, ඓතිහාසික වූද ජයග්‍රහණයක්‌ ලෙස මම කල්පනා කරමි. මේ රටේ සිංහල, දෙමළ හා මුස්‌ලිම් ප්‍රමුඛ සියලු ජන කොටස්‌වල අභිලාෂයන් හා අපේක්‍ෂාවන් සංකේතවත් කළ විරල අවස්‌ථාවක්‌ ලෙස ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය මම දකිමි. අලුත් දේශපාලන වෙනසක්‌ මෙන්ම සමාජ ප්‍රතිසංස්‌කරණයක ප්‍රාර්ථනාව බොහෝ දෙනකුගේ හදවත් තුළ තිබුණු බව ඒ වෙනසට පුරෝගාමී වූ සිවිල් සමාජ ක්‍රියාකාරීහුද කියා සිටියහ.

ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය හොබවමින් මෙන්ම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙසද සිටි මා ඒ සියල්ල හැර දමා පොදු අපේක්‍ෂකයා ලෙස මගේම පක්‍ෂයේ නායකයා මෙන්ම රටේ ජනාධිපතිවරයාද වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයට අභියෝග කිරීමට ඉදිරිපත්වීම බැලූ බැල්මට මෝඩ සහ අවදානම් ක්‍රියාවකැයි සමහරු කල්පනා කළහ. එහෙත් මටත් මා සමග සිටි දේශපාලන ක්‍රියාකාරීන් කීප දෙනාටත් ඒ සම්බන්ධයෙන් තිබුණේ වෙනස්‌ම කියෑවීමකි.

මහජන මත විමසුම්වල සැබෑ ප්‍රතිඵලය කුමක්‌ වුවද රාජපක්‍ෂ පාලනයේ සමීපතමයන් මෙන්ම ප්‍රබලයන් විසින් රටට පෙන්වන ලද චිත්‍රය වූයේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා නියත වශයෙන්ම ජයග්‍රහණය හිමිකර ගන්නා බවය. මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල බහුතර ප්‍රතිශතය හිමිව තිබුණේද රාජපක්‍ෂ කඳවුරටය. ජනමාධ්‍ය හා රාජ්‍ය බලයේ හිමිකාරත්වය යනු ස්‌වභාවයෙන්ම පාලන බලය සමග බැඳී පවතින්නක්‌ බව මම අත්දැකීමෙන්ම දැන සිටියෙමි. ජන මතය යනු ස්‌ථාවරව පවතින දෙයකට වඩා කාලය හා යුගයේ අවශ්‍යතා අනුව වෙනස්‌ වන්නක්‌ බව අපි නිගමනය කළෙමු. එය යථාර්ථයම නොවුවද අපට යම් ප්‍රමාණයක මානසික ශක්‌තියක්‌ද ලබා ගැනීමට එබඳු සිතිවිල්ලක්‌ අවශ්‍ය විය.

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරය මෙන්ම ප්‍රබල සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක්‌ද මගේ මැතිවරණ ව්‍යාපාරයට අසාමාන්‍ය ශක්‌තියක්‌ ලබා දුන්හ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එහි සියල්ලෝම මා වටා සිට ගත්හ. මා සමඟ, මහින්ද රජයෙන් ඉවත් වූ කීප දෙනෙක්‌ද එක්‌වූහ.

රාජපක්‍ෂ පාලනයට අභියෝග කිරීම කළුගලක හිස ගසා ගැනීම හා සමාන මෝඩ ක්‍රියාවක්‌ ලෙස සමහරුන් කීවත් ඒ කළුගල පෙරළා දැමිය හැකිය යන සිතිවිල්ලද ඒ සඳහා වූ අධිෂ්ඨානයද මා තුළ තිබිණි. ත්‍රAස්‌තවාදීන් පරාජය කර රටට සාමය උදාකිරීමේ යුද ජයග්‍රහණයේ හිමිකාරිත්වය සහමුලින්ම රාජපක්‍ෂ මැතිවරණ වේදිකාව මත තිබිණි. එහෙත් ඒ යුද ජයග්‍රහණය, මා ඇතුළු මේ රටේ සියලු ජනතාවගේ විජයග්‍රහණයක්‌ බව ජනතාව තීන්දු කර තිබිණි. යුද ජයග්‍රහණයේ නියමුවකු වූ සෙන්පති සරත් ෙµdන්සේකා ද අප සමග සිටි අතර රාජපක්‍ෂ පාලනයේදී ඔහුට සැලකූ නිර්දය විලාසයද බොහෝ දෙනකුගේ නොසතුටට හේතු වී තිබිණි.

කෙසේ හෝ මගේ දේශපාලන ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම සමග සසඳන විට මගේ මෙහෙයුම සුළුÊබව මට හැඟිණි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් මට ලැබෙන ජනතා සහයෝගයේ වර්ධනයක්‌ හා ප්‍රබෝධයක්‌ මට දැක ගත හැකි විය. මැතිවරණ රැස්‌වීම් පැවැත්වීමට මට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම කුමක්‌ වුවද ඒ සඳහා වූ හැම මාර්ගයක්‌ම අහුරා තිබිණි. එහෙත් ඒ කිසිවකින් මා හෝ මගේ පාර්ශ්වය දුර්මුඛ කළ හැකි නොවීය.

ජනතා සංවාද මණ්‌ඩප අපගේ මැතිවරණ සටනේ ප්‍රමුඛ අංගයක්‌ වී තිබිණි. මා වඩාත් ආකර්ෂණය වී සිටි මහත්මා ගාන්ධි චරිතය මෙන්ම අප්‍රිකානු නිදහස්‌ සටනේ වීරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතයේ හා භාවිතාවන්හි අත්දැකීම් මගේ සටනේ පදනම වී යෑයි කීමට මම වඩාත් ප්‍රිය කරමි.

අවිහිංසාවාදීව අධිරාජ්‍යයක්‌ දණ ගැස්‌වූ මහත්මා ගාන්ධිතුමන් මෙන්ම අධිෂ්ඨානයෙන් වර්ගවාදී උමතුව පරාජය කළ විමුක්‌තිකාමියා වූ නෙල්සන් මැන්ඩෙලාගේ මාර්ගයද මම තෝරා ගතිමි. යුක්‌තිය හා ධර්මය පරාජය කළ නොහැකි බව තහවුරු කළ භගවත් ගීතාවේ වචනද මගේ හද තුළ රැව්දෙමින් තිබිණි.

දකුණේ ජනතාවගේ හැසිරීම තුළ යුද ජයග්‍රහණයේ උන්මාදනීය හැඟීම් තිබුණා විය හැකිය. එහෙත් උතුරේ ජනතාව තුළ තිබුණේ යුද පීඩනයේ දුක්‌බර සැමරුම් හා වේදනාවන් බව මම ඉඳුරා දැන සිටියෙමි. මේ ජාතිවාදී චින්තනය අවංකවම මට අප්‍රසන්න එකක්‌ විය. දෙමළ හා මුස්‌ලිම් ජන සහයෝගය මා කෙරෙහි පළවෙද්දී අපේක්‍ෂාභංගත්වයට පත්වූ රාජපක්‍ෂ මැතිවරණ මෙහෙයුමේ ප්‍රබලයෝ මට එරෙහිව නෙයෙක්‌ මඩ ගැසීම්ද අසත්‍ය ප්‍රචාරද දියත් කළහ. දෙමළ නායකයන් හා මා අතර හොර ගිවිසුම් ඇති බවට විශාල ප්‍රචාරයක්‌ද ගෙන ගියහ. මා ජයග්‍රහණය කළහොත් මව්බිම, දෙකඩ වනු ඇතයි කියන්ටද වූහ. අවලාද අපහාස ගංවතුරක්‌ සේ ගලා යද්දීත් ඒ සියල්ලටම මුහුණදීමේ ශක්‌තිය අපට තිබිණි.

අපේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ රටට මැවූ දුර්වර්ණ චිත්‍රය කුමක්‌ වුවද අපට දවසින් දවස ගොඩනැගෙන ජනතා බලයක්‌ තිබෙන බව රාජපක්‍ෂ පාලකයෝ නිසැකයෙන්ම දැන සිටියහ. බුද්ධි අංශවලින් ලැබෙන සත්‍ය තොරතුරු දැන සිටියේද ඔවුන් පමණක්‌ නොවේ. අපටද ඒ තොරතුරු ලබා ගැනීමට හැකි විය.

කෙසේ හෝ විධායක ව්‍යවස්‌ථාදායක අධිකරණ ආදී සියලු ක්‍ෂේත්‍රයන් ඔස්‌සේද බොහෝ ප්‍රමුඛ රාජ්‍ය ආයතන ඔස්‌සේද අසීමිත බලයක්‌ ගොඩ නගා ගෙන සිටි රාජපක්‍ෂවරු නිදහස්‌ මැතිවරණයට සෘජු බලපෑම් කිරීමට අසමත් වූහ. මැතිවරණ කොමසාරිස්‌වරයා ඉතා වැදගත් භූමිකාවක්‌ ඉටු කළේය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වෙමින් තිබියදීම ජන මතය කුමක්‌දැයි අරලියගහ මැදුරේ සිටි සියල්ලෝම දැනගත්හ. ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් නොකිරීමේ උත්සාහයක්‌ සමහරුන් තුළ තිබුණු බව රහසක්‌ නොවේ. එහෙත් අරලියගහ මැදුරේ අවසන් රාත්‍රිය ගෙවී පහන් වෙමින් තිබියදීම රාජපක්‍ෂවරු බලය අත්හැර යැමට පෙළඹී සිටියහ. මේ පිළිබඳව විවිධ සිදුවීම් හා වාද විවාද නොතිබුණා යෑයි හෝ මම නොකියමි. එහෙත් ඒ ප්‍රතිචාරය මේ රටේ ජන මතයට හිස නැමීමක්‌ බව පැහැදිලිය.

සැබවින්ම මුළු රටම මවිතයට පත්කරමින් රාජපක්‍ෂවරු අරලියගහ මන්දිරයේ බල කේන්ද්‍රය අත්හැර ගියහ. රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දීමෙන් පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට මම ක්‍රියා කළෙමි. මා පළමුවෙන්ම ජනතාව අමතමින් කියා සිටියේ මා මේ රටේ පළමුවන මහජන සේවකයා බවය. පාලකයන් රජුන් ලෙස සිංහාසනාරූඪ කරවා ප්‍ර්‍රශස්‌තිද ගායනා කරනු ලබන රටක අලුත් ඇරඹුමක්‌ වුවමනා බව මට හොඳින් පසක්‌ වී තිබිණි. ජාතිවාදයේ අමිහිරි වේදනාවෙන් පීඩාවට පත්වු ජන කොටසට අලුත් ජීවිතයක්‌ නිර්මාණය කළ යුතු බවද මම කියා සිටියෙමි. ජාතික සමගියේ අභිලාෂය මෙන්ම නිදහස්‌ රටක හිස කෙළින් තබා ජීවත්වීමේ වුවමනාව බොහෝ දෙනෙකුට තිබිණි. විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවට අලුතින් හුස්‌ම ගැනීමට වුවමනාවී තිබෙන බව ද මම තේරුම් ගෙන සිටියෙමි.

මගේ මැතිවරණයේදී ජනතාවට ලබා දුන් ප්‍රතිඥව අනුව ක්‍රියාත්මක වූ දින සියයේ වැඩපිළිවෙළ සපුරා ගැනීමට අපට අවශ්‍ය විය. අභිනව දේශපාලන සංස්‌කෘතියකට වුවමනා ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ පිළිබඳව අපි දැඩිව කැපවීමු. ජනාධිපති ධුරය සතු බලතල අඩුකිරීම ඇතුළු එම ධුරය අහෝසි කිරීම අපගේ අරමුණ විය. 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ඒ සියලු අපේක්‍ෂාවන්ගේ කූඨප්‍රාප්තිය වැන්න. මනාප ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම කෙරෙහිද අපගේ අවධානය යොමු වුවද එය කඩිනමින් කළ නොහැකි නීතිමය හා වෙනත් කරුණු නිසා එයට කාලයක්‌ අවශ්‍ය විය.

ස්‌වාධීන කොමිෂන් සභා බල ගැන්වීම, නිදහස්‌ මාධ්‍ය සංස්‌කෘතියකට අවකාශ ලබාදීම, මානව හිමිකම් හා වෘත්තීය අයිතීන් සුරැකීම ඇතුළු නිදහස්‌ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට උචිත පසුබිම සකසා ගැනීමට අපි කැපවීමු. රාජ්‍ය නායකයා ලෙස මෙන්ම ත්‍රිවිධ හමුදාවල ආඥපතිවරයා ලෙස ද රටේ භෞමික අඛණ්‌ඩතාව ස්‌වෛරී හා ස්‌වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රතිඥව ලබාදුන් මම ජන මනසට කාන්දුකර තිබුණු බෙදුම්වාදය හා රට දෙකඩවීම පිළිබඳව පදනම් විරහිත කරුණු නිෂ්ප්‍රභා කළෙමි.

ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට හිමි වූ සියලු නිෂේධනීය තත්ත්වයන් සාධනීය ලෙස වෙනස්‌ කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර නායකයන් සමග සුහදත්වය ගොඩනගා ගැනීමටද මට හැකි විය. ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බැලූ ජගත් නායකයෝ අපට සුහද වූහ. ඒ රටවල් හා ශ්‍රී ලංකාව අතර අභිනව සබඳතා ගොඩනඟා ගැනීමටද මම කැපවීමි. අපේ රාජ්‍ය සේවය තරමටම පිරිහී තිබුණු විදේශ තානාපති සේවය සාධනීය තත්ත්වයකට පත්කර ගැනීමටද අපගේ දින සියයේ ආණ්‌ඩුවට හැකි විය. මිත්‍ර රටවල සහාය ද විශ්වාසය ද අප කෙරෙහි පළවිය.

ශ්‍රී ලනිපයේ සභාපති ධුරය පමණක්‌ නොව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වයද මට හිමි වුවත් එහිදී මට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට බාධා තිබිණි. ජනතාව අපේක්‍ෂා කළ වෙනස උදාකර ගැනීමට නව ආණ්‌ඩුවක්‌ අවශ්‍ය බව අපි තේරුම් ගතිමු. එජාපය හා සන්ධානය වෙන වෙනම මහ මැතිවරණයකට තරග කළත් වසර දෙකක්‌ සඳහා ප්‍රධාන පක්‍ෂ ඒකාබද්ධ වූ සම්මුති ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ අවශ්‍යතාව අපට දැඩිව දැනුණි. මේ අරමුණ අපට අසීරු වූයේ සන්ධානයේම වෙනත් පිරිසක්‌ එයට සහාය නොදැක්‌වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ මහ මැතිවරණයට තරග වැදීම හා සන්ධානයේ ඇතැම් නායකයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා නොයෙක්‌ ගැටලුද මතු විය. මහින්ද රාජපක්‍ෂ මහතාට නාම යෝජනා ලබාදීම පිළිබඳ ප්‍රබල විවේචනද තිබිණි.

මහ මැතිවරණයේදී එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක්‌ හිමි වුවත් සන්ධානයේ බලයද කැපී පෙනුණි. සම්මුතිවාදී ආණ්‌ඩුවට එජාප, ශ්‍රීලනිප ප්‍රධාන පක්‍ෂවලින් තෝරා ගැනීමද අප නිර්මාණය කළ සම්මුතිවාදය පිළිබඳ නිසි වැටහීමක්‌ නොවීමද යන කරුණු මධ්‍යයේ වුවද අලුත් ආණ්‌ඩුව නිර්මාණය කර ගැනීමට අපට හැකි විය. ආණ්‌ඩුවේ සංයුතිය ඇමති පදවි, පිළිබඳ ඉදිරිපත් වූ නොයෙක්‌ ගැටලු නිරාකරණය කර ගනිමින් යහපාලනය ඉදිරියට ගෙන යැමට අපට සිදුවිය. පැවතුණු දේශපාලන සංස්‌කෘතියේ ගති ලක්‍ෂණ සමග යහපාලන පිළිවෙත නොගැළපුණු බව සැබෑවකි. ඇතැම් කරුණුවලට නිර්දය විවේචනද එල්ල විය. සමහරු ප්‍රායෝගික නොවන විවේචනද කළහ.

යහපාලනය සමග බැඳුණු අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ කරා යන ගමන අප ඇරඹූයේ එබඳු වාතාවරණයක්‌ තුළය. රටම වෙලාගත් දූෂණය, භීෂණය, හිංසනය වෙනුවට යුක්‌තිය සාධාරණය, මානව හිමිකම් සුරැකීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී පියවර රැසක්‌ ගැනීමට අපට හැකිවිය. දූෂිතයන් හා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන යැම සිදුවූවත් සමාජයට එම ක්‍රියාවල මන්දගාමි බවක්‌ පෙනී යන්ට ඇත. එහෙත් ආණ්‌ඩුව කිසි විටක හොරුන්, දූෂිතයන් සුරැකීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කළ යුතුය. අබිරහස්‌ ඝාතන වංචනික ගනුදෙනු රාජ්‍ය දේපල අවභාවිතය වැනි දේවල් ජනතාව තිගැස්‌සීමට ලක්‌ කරන ප්‍රවෘත්ති පමණක්‌ වුවද ඒවා නිසි විමර්ශනයකින් තොරව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගත නොහැකි වීමද ස්‌වාභාවිකය.

යහපාලනය නමැති කිරි කළයට ගොම වැටීම කිසිසේත් නොවිය යුතු වූ නොමනා ක්‍රියාවක්‌ බවද නිසැකය. එහෙත් එබඳු අවාසනාවන්ත සිදුවීම් කීපයක්‌ විය. එහෙත් ඒවා පිළිබඳ විධිමත්ව විමර්ශනය කිරීමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමටත් අප සූදානම්ය. නීතිය අතට ගැනීම, බලය අයුතු ලෙස යෙදවීම අපි එකහෙළා ප්‍රතික්‍ෂේප කරන්නෙමු. එබඳු දේශපාලන ගොහොරුවක කර වටක්‌ එරී සිටි අයද අද අපට විවේචන එල්ල කරති. ජාතිවාදයේ විපත් මෙන්ම බලය අවභාවිත කිරීමේ විපාකද තේරුම් ගත් අපේ ආණ්‌ඩුවට ඒ පැරණි මාර්ගයේ ගමන් කිරීමට කිසිම වුවමනාවක්‌ නැත.

ජනාධිපති ලෙස මටද අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට හා අපට ශක්‌තියක්‌ වූ මැති ඇමතිවරුන්ට ද අවශ්‍ය සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්‌කරණ කිරීමට අපි කැපවී සිටිමු. පීඩනයට පත් වූ හා අපේක්‍ෂා භංගත්වයට පත්වූ සියලු දෙනාට විමුක්‌තිය ලබාදීමේ අරමුණ අපගේ දැඩි අධිෂ්ඨානය වී තිබේ. බෙදුම්වාදයට ත්‍රස්‌තවාදයට මෙන්ම සමාජ විරෝධී කිසිදු ක්‍රියාදාමයකට අපි ඉඩ නොදෙන්නෙමු. සැබවින්ම අප අපේක්‍ෂා කළ වෙනස හා යහපාලනය පූර්ණත්වයට පත්වී නැත. එහෙත් ඒ සඳහා යන අර්ථවත් හා ප්‍රබල ගමනක අපි නිරතව සිටිමු. යදමින් බැඳුණු සමාජයක්‌, නිද්‍රdවට වැටුණු සමාජයක්‌, හෘද සාක්‍ෂියක්‌ නැති සමාජයක්‌ අවදි කිරීම පහසු නැත. එහෙත් අපි එය ඉටු කරමු.

යහපාලනය කොහිදැයි අසන අපගේ ප්‍රතිවාදීන්ට පිළිතුරු දීමට වඩා අප කෙරෙහි විශ්වාසයෙන් සිටින මේ රටේ සියලු ජන කොටස්‌වලට ඔවුන් අපේක්‍ෂා කළ නිදහස, සාමය හා සමෘද්ධිය ලබාදීමේ වගකීම අපි දිවිහිමියෙන් ඉටු කරන බවද අවධාරණයෙන් ප්‍රකාශ කරන්නෙමු.

ජාති ආගම් වර්ගභේද ආදියෙන් රෝගී වූ සමාජයක්‌ සුවපත් කළ හැකි එකම ඖෂධය යහපාලනය බව නිසැකය. ඒ ගමනේදී අපට එන බාධක අභියෝග කෙබඳු වුවත් අපි ඒ සියල්ල මැඬ ගෙන අධිෂ්ඨානශීලී ගමනක නිරතවී සිටින්නෙමු.

sir
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
සකස්‌ කළේ ගාමිණි සුමනසේකර