රාජිත ඇමති යලිත් හත්පොලේ ගාගනී

“සිංහලේ” නම් වූ අන්ත ජාතිවාදී කල්ලිය පිටුපස සිටින්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හිටපු ලේකම් වරයෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩිස් මහතා බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව සොයාගැනීමක් සිදුකර ඇත.
ඒ මහතා මේ ප්‍රකාශය සිදුකළේ ඊයේ (07) කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

එහිදී මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්නය වුයේ “සිංහලේ කියලා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. මේක ගැන රජයේ ස්ථාවරය මොකක්ද? ” කියාය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දෙනු ලැබීය.

“සිංහලේ කියන ව්‍යාපෘතිය ගැන අපිට සම්පුර්ණ බුද්ධි අංශ වාර්තා ලැබිලා තියනවා. මංගල සමරවීර ඇමතිතුමා ළඟ ඉඳලා ගියපු ලේකම් කෙනෙක් ගැන තමයි මේ තොරතුරු ලැබුනෙ. එයා මුලින් සුළු ජාතීන්ගේ අයිතීන් ගැන කතා කරපු කෙනෙක්. රුවන් ෆර්ඩිනැන්ඩිස් ගැන තමයි ඔය තොරතුරු අපිට ලැබුණේ….”

මාධ්‍යවේදියා ඉහත ප්‍රශ්නය අසන්නට පෙර ජාතිවාදය ඇවිස්සීම සිදුකරන අය පිටුපස මාධ්‍යවේදීන් සිටින බවත් ඔවුන් පිළිබඳව රජයේ බුද්ධි අංශය අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

මීට පෙර සිංහලේ නාමයේ හිමිකරු රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා බව පවසමින් ඊට සාක්ෂි ලෙස වෙබ් අඩවි හා සමාජ ජාලා තුළ ඡායාරූප 2ක් පළවූ අතර ඒ පිළිබඳ අප තහවුරු කරගත් ආකාරයට නම් ඒ 2015 අගෝස්තු 25 වැනිදා කොළඹ ෂැම්රොක් හෝටලයේ පැවැති අපේ ජාතික පෙරමුණේ සභාපති හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් සේනක ද සිල්වා මහතාගේ උපන්දින සාදයේදී ගන්නා ලද ඡායාරූප 2ක් ය.

එසේම එම උපන්දින සාදය රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා සහ ඩිලන්ත විතානගේ මහතා පමණක් නොව මුදල් අමාත්‍ය රවී කරුණානායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ආරාධිතයන් 200ක් පමණ සහභාගී වුවක්ය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව අප රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගෙන් විමසු කළ ඔහු පවසා සිටියේ රාජිත අමාත්‍යවරයා වරින් වර මෙවැනි කතා කියමින් සිටින බවත් ඒ කතා කිසිවක් බරපතල ලෙස කිසිවකු නොගන්නා බවය.

සැබවින්ම පසුගිය සමයේදී රාජිත අමාත්‍යවරයා රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අපරාධ සාක්ෂියක් ලෙස අනාවරණය කරගෙන තිබු CCTV දර්ශන ඇතුළත් වීඩියෝ පට පිළිබඳ මාධ්‍ය හමුවේ ජනප්‍රිය ප්‍රකාශ සිදුකල අතර එහිදී ඔහු පවසා සිටියේ එම දර්ශන හරහා අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවත් ළඟදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය. එහෙත් පසුගියදා එම වීඩියෝ පට අපැහැදිලි බැවින් ඒවා විදේශීය පරීක්ෂණ අංශයක් වෙත යොමු කළයුතු බව අධිකරණයේදී අනාවරණය විය. එසේම ඇවර්න් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් සත්හඬ පුවත්පත සිදුකළ අපක්ෂපාතී මැදිහත්වීම නිසා උරණ වූ රාජිත අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරු දෙදෙනෙක් ඉතිහාසයට එක්වුයේ අමාත්‍යවරුන්ගේ නිල ලිපි ශීර්ෂ සහිත ලිපියක් මඟින් පැමිණිල්ලක් කිරීම සහ එහි මාධ්‍යවේදීන්ගේ නම්ද ඇතුලත් කරමින් මෙරට එවැන්නක් සිදුකල පළමු අවස්ථාවේ හිමිකරුවන් වෙමින්ය.

එදා අප ප්‍රධාන කතෘවරයා සහ නියෝජ්‍ය කතෘවරයා හතරවැනි තට්ටුවට ගෙනගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවවත් ඒ දොළ සංසිඳුණු බවක් පෙනෙන්නට නැත. කෙසේ වුවත් මේ ඇමති වෛරයට මුහුණ දෙන්න මාධ්‍යවේදීන් වන අප සුදානම්ය. ඒ වෙනුවෙන් උඩගෙඩි දෙන ලියන්නන් වෙතද අපට ඇත්තේ අනුකම්පාවක්ය. ඒ මිස වෙනත් ආරෝවක් අපට නැත.

නමුත් මෙවැනි අතේ පැලවෙන මුසා සහ බයිපෝලා පන්නයේ ප්‍රකාශ රජයේ කැබිනට් තීරණ දැනුම්දෙන අවස්ථාවන්හී ප්‍රකාශ කිරීම හරහා ජනතාව ඉදිරියේ හෑල්ලු වන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවය. ඒ පසුබිමේ මේ බැටළු හම් පොරවාගත් උදවියගෙන් පෞද්ගලික ඇරියස් වෙනුවෙන් ආණ්ඩුව ගාව නොගන්නා මෙන් ඉල්ලන අවම මහත්මා හැසිරීමක් අප අපේක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට අප යහපාලන ආණ්ඩුවේ සියලු දෙනා වෙත දැනුම් දෙන්නේ කඩුව වැරදි අයට දී විවේක ගත්විට වැඩිම අවධානම කාටදැයි සොයා බලන්න කියාය.

cv

sathhada