විනාශ කළ රටක ප‍්‍රාතිහාර්ය පාන්න අවුරුද්දකින් බැහැ

ජනවාරි අට වනදා සිදු වූ ‘නිහඬ විප්ලවය’ තුළ බොහෝ විට ‘තරු’ බවට පත්ව ඇත්තේ, ප‍්‍රසිද්ධ වේදිකාවේ අතින් කටින් ශිල්ප දැක්වූවන්ය. නමුත් එම ‘විප්ලවය’ මහ පොළොවේ ඇත්තක් බවට පත් කිරීමේ දී තිරයෙන් පිටුපස සුවිසල් වැඩ කොටසක් ඉටු කළ පුද්ගලයන් ද බොහෝ විය.

එජාප මාධ්‍ය අංශ ප‍්‍රධානී ක‍්‍රිෂාන්ත ප‍්‍රසාද් කුරේ යනු ද එවැන්නෙකි. මෙම ‘විප්ලවය’ යථාර්ථයක් වීමට ඔහුගෙන් වූ දෑ දන්නෝ දනිති. ජනවාරි අට වන දින පාලන වෙනස සිදුව වසරක් ගෙවුණ තැන, ඒ පිළිබඳව කතා කිරීමට ඔහුට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇත. මේ ඒ වෙනුවෙන් අප ක‍්‍රිෂාන්ත සමඟ කළ කතාබහ පෙළගැසෙන ආකාරයයි.

 

x ජනවාරි 8 වන දා සිදු වූ පාලන වෙනසට දැන් අවුරුද්දක් වෙනවා. ඒ වෙනස වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ කෙනෙක් විදිහට ‘වෙනස සැපද’ කියලා මම මුලින්ම ඔබෙන් අහන්න කැමැතියි…?

ජනවාරි 8 වන දා මේ රටේ සිදු වූ බල හුවමාරුව විප්ලවයක් විදිහට ජනතාව හඳුන්වනවා. ඒ හැඳින්වීම සාධාරණයි කියන තැන මමත් ඉන්නවා. ලේ බිඳක් හෝ නොසොල්වමින් ආඥාදායක ඒකාධිපතියකුව ගෙදර යවන්න මේ රටේ ජනතාව එදා සමත් වුණා. ඒක සැබෑ ජනතා ජයග‍්‍රහණයක්. දේශපාලන, මාධ්‍ය, මුදල් ආදී මේ සෑම බලයක්ම තිබුණු මහින්ද රාජපක්ෂව පැරදවීම වෙනුවෙන් ජනතාව එදා තාර්කිකව හිතලා ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ වෙනස කරද්දී ජනතාව, ඉරහඳ තාරකා අපෙන් ඉල්ලූවේ නැහැ. වෙන මොනවටත් වඩා රටේ නිදහසක් නැහැ කියලා මිනිස්සු බැරෑරුම්ව එදා කල්පනා කළා. ඒ නිදහස වෙනුවෙන් රට ගමන් කරමින් තිබුණු මාවත වෙනස් කරන්න, ජනතාව නිස්සරණධ්‍යාශයෙන් එදා එකට එකාවන්ව පෙළ ගැහුණා. ඒ වෙනස සිදු වී අවුරුද්දක් ගතව තිබෙන මේ මොහොතේ දී ජනතාව අපේක්ෂා කළ සියලූ දේවල් ඉෂ්ට වෙලාය කියලා මම කියන්නේ නැහැ.

නමුත් හිටපු තැනට වඩා ප‍්‍රජාතන්ත‍්‍රීය දියුණුවක් රට තුළ සිදුව තිබෙනවා. මිනිස්සුන්ට අද නිදහස ලැබී තියෙනවා. කතා කිරීමේ නිදහස, දේශපාලන මත දැරීමේ නිදහස, මාධ්‍ය නිදහස යන කාරණා දිහා බලද්දී යම් සාධනීය වෙනසක් පසුගිය දින තුන්සිය හැටපහ තුළ සිදුව තියෙනවා. නමුත් තව කළ යුතු දෑ බොහෝයි.

 

x මොනවද තව කරන්න තියෙන්නේ?

වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ කිහිපයකට දැනටමත් ආණ්ඩුව මුල පුරා තියෙනවා. නමුත් තවම ඒවා ක‍්‍රියාකාරී මට්ටමට ඇවිත් නැහැ. ඊළඟට ආර්ථිකය. ජනවාරි අට වන දා ජනතාව වෙනසක් වෙනුවෙන් පෙළගැසෙද්දී ආර්ථිකමය සාධකයත් සෑහෙන දුරට බලපෑවා. රාජපක්ෂලා මොනතරම් පුරාජේරු කතා කිව්වත් ඒ කාලේ ආර්ථික වශයෙන් ජනතාවට ලැබුණ දෙයක් නැහැ. දැඩි ආදායම් විෂමතාවක් තිබුණා. පහළ පන්තියට විතරක් නෙවෙයි, මධ්‍යම පන්තියටත් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ නිසා දේශපාලන වෙනසට සමාන්තරව ආර්ථික වෙනසකුත් ජනතාව අපේක්ෂා කළා. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම රජය මේ වෙද්දී දාලා තියෙනවා. ඇත්තටම මේක මැරතන් එකක්. ඒ තුළ මුල සිටම අධිවේගී ධාවනයකට මෙතැන ඉඩක් නැහැ. ඒ නිසා අවුරුද්දකින් ප‍්‍රාතිහාර්යයක් අපේක්ෂා කරන්න බැහැ.

 

x ‘වෙනසක්’ සඳහා බලය ඉල්ලද්දී හොරකම, නාස්තිය, ඥාති සංග‍්‍රහය, යහපාලන කඳවුරට හොඳ ‘කටගැස්මක්’වුණා. එහෙම විරුද්ධ වුණාට බලය ලැබුණට පස්සෙ අරවා හුදු ‘අලංකාරික’ පමණක් වුණාය කියලා සමහරු රජයට ඇඟිල්ල දික්කරනවා. ඒවාම මේ ආණ්ඩුව යටතේත් පහුගිය මාස දොළහ තුළ වුණාය කියලා මතයක් සමාජගතව තියෙනවා?

පොදුවේ සමස්තයක් විදිහට ගත්තහම ඔබ ඔය කියන විදිහේ දේවල් පහුගිය කාලේ වුණේ නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒත් ප‍්‍රමාණාත්මකව ගත්තට පස්සේ ඒක අරට වඩා සෑහෙන අඩුයි. අපේ වගේ දේශපාලන සදාචාරය මැනවින් වර්ධනය නොවුණු සංස්කෘතියක් ඇතුළේ ඔබ කිව්ව විදිහේ නිෂේධනාත්මක තත්ත්ව මුළුමනින්ම නතර කරන්න අමාරුයි. ඒක කටුක යථාර්ථයක්. ඒවා නැති කරන්න නම් ක‍්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි. පුද්ගලයා විතරක් නෙවෙයි, ක‍්‍රමයත් වෙනස් විය යුතුයි කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වෙ ඒකයි. ක‍්‍රමය වෙනස් කරද්දී දේශපාලන නායකයන්, පූජ්‍ය පක්ෂය, රටවැසියන් යන මේ සියලූ කොටස් අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතුයි. ඒක නිර්මාණය වීමට ටික කාලයක් යනවා. අට වන දා වන විට අන්ත දූෂිතව පැවති රටක් නව වැනිදා වෙද්දී ප‍්‍රජාතන්ත‍්‍රීය රටක් වෙන්නේ නැහැ. නමුත් මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකතු වී ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරමින් ඉන්නවා. එහි ප‍්‍රතිඵල ලබා ගන්නට තව කාලයක් අපි ඉවසිය යුතුයි.

 

x ජනාධිපතිවරණ සමයේ දී මෙගා ඞීල්, ආලපාළු ආර්ථික ගැන කතා කළාට අවුරුද්දක් ගතව තිබියදීත් අල්ලපු තෝරු මෝරු නැහැ නේද? ඒ කියන්නේ එදා යහපාලන වේදිකාවේ උස් හඬින් ඇහුණ ඒ කතා බොරුද?

අපි මොන විදිහේ චෝදනා එල්ල කළත් ඕනෑම දෙයක් ඔප්පු කළ යුතුයි. ඒක කරද්දී අර රාජපක්ෂ මහත්තයා, සරත් ෆොන්සේකා මහත්තයට සලකපු විදිහට, ශිරාණි බණ්ඩාරනායක මැතිණියට සලකපු විදිහට කූඩුව ඇතුළට දාලා, වරදකරු කරලා හේතු හොයන ක‍්‍රමයක් නෙවෙයි යහපාලනයෙන් පොරොන්දු වුණේ. අපි පොරොන්දු වුණේ වැරැදි කරපු කෙනාට, වැරැදි විදිහට දඬුවම් දෙන්න නෙවෙයි. වැරැදි කරපු කෙනෙක්ට හරි විදිහට දඬුවම් දෙන්න යද්දී යම් සාධාරණ කාලයක් යනවා. මේ වන විට බොහෝ දේවල් ගැන මූලික පරීක්ෂණ ආරම්භ වී තියෙනවා. ඉදිරියේ දී මොකද වෙන්නේ කියලා බලන්න.

 

x ඔබ නිතරම වගේ කාලය ගැන කතා කළා. කාලය දෙන්න කියලා ඔබ ඉල්ලන්නේ තව අවුරුද්දක්ද, දෙකක්ද නැත්නම් පහක්ද?

ඒක අහවල් කාලයක්ය කියලා කියන්න මට අමාරුයි. ඒත් අවුරුද්දක් ඇතුළත ඒක කළ යුතුයි කියන්න බැහැ. අවුරුද්දක් කියන්නේ බොහොම කෙටි කාලයක්. දුන් පොරොන්දු සියල්ල ඉෂ්ට කරන්න අවුරුද්දක් මදි. ඇත්තටම මෙතැන දි වඩා වැදගත් වෙන්නේ අද අපි ඉන්න තැන නෙවෙයි. අපි ගමන් කරමින් සිටිනුයේ කොහේටද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. මම විශ්වාස කරන විදිහට අපි හරි දිශාව කරා ගමන් කරමින් සිටිනවා. ඒකෙ වේගය අපි අපේක්ෂා කළ ආකාරයට නොවෙනවා වෙන්න පුළුවන්. දැන් අපි ඒ වේගය වැඩි කළ යුතුයි. නීතිය ක‍්‍රියාත්මක වෙනවා විතරක් නෙවෙයි, නීතිය කාර්යක්ෂම බව පෙන්වීමේ අභියෝගය, මේ අවුරුද්දෙදි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ සමස්ත යහපාලන ආණ්ඩුවට තියෙනවා.

 

x ජනවාරි අට වන දා බලය හුවමාරු වූ අවස්ථාවේ නොසිටි කණ්ඩායමක් මේ වෙද්දී ආණ්ඩුව තුළ ඉන්නවා. ඒ සමහරු බරපතළ චෝදනා එල්ල වූවන්. යහපාලනය තුළ දේශපාලන පැවැත්ම වෙනුවෙන් එහෙම කරන්න පුළුවන්ද? යහපාලන ගමනේ වේගය මන්දගාමී වුණේ එතැනින් නෙවෙයිද?

හොරුන් හොයද්දී ඒක තෝරාගත් පිරිසක් වෙනුවෙන් පමණක් කරන්න බැහැ. දේශපාලන න්‍යාය පත‍්‍රයන් අනුව හොරු අල්ලන එකට මම විරුද්ධයි. මේ ආණ්ඩුවේ වේවා ගිය ආණ්ඩුවේ වේවා කවුරු හොරකම් කළත්, ඒ අයට තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. නීතියේ ආධිපත්‍යය ක‍්‍රියාත්මක විය යුතුයි කියලා අගමැතිතුමා නිතර පුන පුනා කියනවා. එතැන දී එයා මේ ආණ්ඩුවේ කෙනෙක්ද, මේ ආණ්ඩුව පිහිටුවන්න උදව් කළාද, ගිය ආණ්ඩුවේ කෙනෙක්ද කියන එක අදාළ නැහැ. අපි යා යුත්තේ එතැනටයි. අපි ගමන් කරමින් ඉන්නේ එතැනටයි. ඒක තව ටිකක් වේගවත් කරන්න ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට වගකීමක් තියෙනවා. මෙතැනදිත් අපි කාලයට ඉඩ දීම වැදගත් කියලා මම හිතනවා.

 

x සාමාන්‍ය ජන ජීවිතයට අදාළ වෙනස්කම් පිළිබඳ කතා කිරීමේ දී ගිය ආණ්ඩුව අධිවේගී පාරවල්, ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුවා. ඒ විදිහට මිනිස්සුන්ගේ ඇඟට දැනෙන දේවල් ගොඩක් කළා. නමුත් ඒ වෙනුවට පහුගිය අවුරුද්දක කාලය පුරා ‘යහපාලකයන්’ කළේ කයිවාරු ගහන එක විතරයි කියලා සමහරු කියනවා?

ඇඟට දැනෙන වැඩ කියලා ඔය පෙන්නපු වැඩවල ප‍්‍රතිඵල අද භුක්ති විඳිනවනේ. මේ ආණ්ඩුව බාරගත්තේ හිස් භාණ්ඩාගාරයක්. පෙනෙන්නට ඇති අන්දමට අද ආර්ථිකය හසුරුවන්නේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා. රට ආර්ථික වශයෙන් බලවන්ත කිරීම වෙනුවෙන් එතුමාට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් වැඩපිළිවෙළක් තිබෙනවා. ඇත්තටම පහුගිය අවුරුද්දෙ දී කළේ ගිය ආණ්ඩුව කරපු වැරැදි නිවැරැදි කරපු එක. ඒ වෙනුවෙන් කළ වැඩවල ප‍්‍රතිඵල භුක්ති විඳින්න තව කාලයක් යාවි. ප‍්‍රපාතය කරා ගමන් කරමින් තිබුණු රටක් එතැනින් ගැලවුණාය කියන සතුට මේ මොහොතේ අපට තියෙනවා. ඒක ලොකු දෙයක්. තව අවුරුද්දක් දෙකක් පල්ලෙහාට ගියා නම්, ගොඩ ඒමක් පිළිබඳ හිතන්නවත් බැහැ.

ඔබ වෙනස ගැන අහපු නිසා මේකත් කියන්න හිතුණා. දැන් අගමැතිතුමා දිහා බලන්න. එතුමා තාමත් තමන්ගේ හිටපු ගෙදරමයි ඉන්නේ. අරලියගහ මන්දිරය නිවස හැටියට පාවිච්චි කරන්නෙ නැහැ. එතුමා තමන්ගේ ඥාතීන්ට තනතුරු දීලා තියෙනවා කියලා හරි කාවහරි ඉස්සරහට ගෙනත් තියෙනවාය කියලා හරි, ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? එතුමා සීය දෙසීය පිරිවරාගෙන පිටරට ගිහින් තියෙනවාද? ඊළඟට තමන්ගේ විරුද්ධවාදීන්ව කනෙන් ඇදගෙන ඇවිත් හිරේ දාලා තියෙනවද? තමන්ගේ පක්ෂ නායකත්වයට අභියෝග කළ අයගෙන් පළිගෙන තියෙනවාද? එතුමා එහෙම කරලා නැහැ. මෑත ඉතිහාසයේ වෙන කිසිම දේශපාලනඥයෙක්, එහෙම හැසිරීමක් පෙන්නලා තියෙනවාද? මේ රට දියුණු කරන්න එතුමාට තියෙන උවමනාව එතැනින්ම පෙනෙනවා. අටවන දාට කලින් අපි කතා කළ වංචාවට, දුෂණයට, නාස්තියට, ඥාති සංග‍්‍රහයට එරෙහිව එතුමා ඇප කැප වී වැඩ කරමින් ඉන්නවා.

x අගමැතිතුමා ගැන ඔහොම කතා කරන්න පුළුවන් වුණාට මේ ආණ්ඩුවේ බහුතරයක් ගැන ඔහොම ‘සහතික’ නිකුත් කරන්න බැහැ නේද?

අගමැතිතුමාටත් තියෙන ප‍්‍රශ්නෙ ඒක තමයි. අගමැතිතුමාට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ තමන්ට ලැබී තියෙන කණ්ඩායමත් එක්කයි. එහෙම නැතිනම් එතුමා අලූත් කණ්ඩායමක් හැදිය යුතුයි. ඒක අවුරුද්දකින් කරන්න බැහැ. අලූත් කණ්ඩායමක් හදද්දී අලූත් දේශපාලන සංස්කෘතියක් හදන්න හදද්දී තමන් ළඟ ඉන්න සියලූ දෙනාම එළවලා ඒක කරන්න බැහැ. එතකොට එතුමාට වෙන්නේ 2004 දි වුණ දේ. එදා එතුමා බොහොම නිර්භීතව වැඩක් කරන්න උත්සාහ කළා. නමුත් අන්තිමට මොකද වුණේ?
හැම දෙනාම එකතු වී එතුමාව එළියට දැම්මා. අපිට තැනකට යන්න තියෙනවා. එතැනට යද්දී මුල ඉඳන්ම හරි දේ කරගෙන යනවද නැත්නම් සමහර දේවල්වලට ඉඩ දීලා හරි තැනට යනවද කියලා තීරණයක් ගත යුතුව තියෙනවා. සමහර දේවල්වලට ඉඩ දීලා ඉදිරියට යන්න එතුමා තීරණය කර ඇති වගක් පෙනෙන්නට තියෙනවා. අර තැනට ගිය පසු වෙනස ඇති කළ හැකියි කියලා එතුමා හිතන බවක් පෙනෙන්නට තියෙනවා. එහෙම නැතුව මුල සිට අරගල කළොත් යන්න අවශ්‍ය තැනට යන්න ලැබෙන්නෙ නැහැ. ඒ ගමන සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබා දීම අපේ යුතුකමක්.

 

x අද රටේ නිදහසක් තියෙනවාය කියලා ඔබ බොහොම ආඩම්බරයෙන් කියනවා. ඒත් අපි කොහොමද ඒක පිළිගන්නේ. ටෙලිකොම් ආයතනයේ ලොකු පුටුවකට පත් කරපු ඔබට එතන ඉන්නවත් නිදහසක් තිබුණෙ නැහැනේ…?

මම ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉඳිද්දී, ප‍්‍රතිපත්තිමය කාරණා කිහිපයක් මුල් කරගෙන ඉහළ කළමනාකාරීත්වය අතර මත ගැටුමක් ඇති වුණා. ඒ අවස්ථාවේ දී එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. ඒ අනුව අපි ඊට හිස නවමින් ඉවත් වුණා. ඊට පස්සේ එතුමා අලූත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළා. අර මතවාදී අරගලය තුළ වෙනත් මතයක් මම දැරුවා. ඒත් එහෙම කළාය කියලා ?ට සුදු වෑන් එකක් මාව හොයාගෙන ආවේ නැහැ.

 

x සුදු වෑන් හොයාගෙන ආවේ නැති වුණාට ඒක ඔබව නොසලකා හැරීමක්ය කියලා හිතෙන්නේ නැද්ද?

මට එහෙම දැනෙන්නෙ නැහැ. මම දේශපාලන තීන්දු තීරණ ගන්නේ මට ලැබෙන වාසි දිහා බලලා නෙවෙයි. මේ වගේ ලොකු විප්ලවයක් රටේ සිදුව තියෙද්දී ඇත්තම කිව්වොත්, ක‍්‍රිෂාන්ත කුරේ කියන පුද්ගලයාගේ ප‍්‍රශ්න එතැනට අදාළ වෙන්නෙ නැහැ. සිද්ධ වුණ විප්ලවයත් එක්ක බලද්දී මම බොහොම පොඩි කෙනෙක්. ඒ වුණත් ඒ සමහර සිද්ධීන් ගැන පොඩි කනගාටුවක් මට තියෙනවා. ප‍්‍රතිපත්තිමය කාරණයක් වෙනුවෙන් පෙනී සිටීම මත කාටහරි තමන් දැරූ ධුරයකින් අයින් වෙන්න වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. දේශපාලනඥයන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත් කළාට ඒ වගේම පත් කරන අයව ඉවත් කිරීමේ බලයක් තිබුණට, ඒ අධ්‍යක්ෂවරු හැසිරෙන ආකාරය, ඔවුන් වෘත්තීයමය වශයෙන් ඉදිරිපත් කරන මත පාලනය කිරීමට, දේශපාලනඥයන්ට ඉඩ දුන්නොත්, ඒ ආයතන ස්ථිරවම අසාර්ථක වෙනවා. ඒ නිසා මෙහෙම දේවල් නොවෙන්න වග බලා ගැනීම වෙනුවෙන් සිවිල් සමාජය හැටියට අපි පටන් ගත් ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව තියෙනවා.

 

x ඔබ ඔය දීපු උත්තරේ පිට අයගේ හිත හදන්න කියන කතාවක් මිසක් අවංකවම කියන කතාවක් නෙවෙයි නේද?

අඩු ගානේ මීට කලින් එහෙම ස්ථාවරයක්වත් ගන්න ඉඩ තිබුණෙ නැහැ කියලා මම අවංකවම කියනවා.

 

x ඔබව ටෙලිකොම් ආයතනයට පත් කළේ මංගල සමරවීර ඇමැතිවරයා. මංගල වෙනුවට විදුලි සංදේශ ඇමැති ධුරයට පත්වුණ හරීන් ප‍්‍රනාන්දු කියන්නේ ඔබේ ඥාතියෙක්. ඒ එක්කම ඔබ යූඇන්පීයේ මාධ්‍ය අංශයේ ප‍්‍රධානියා වගේම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. එබඳු පසුබිමක් සහිත ඔබ වගේ කෙනෙක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම බොහෝ දෙනකුට ප‍්‍රශ්නාර්ථයක්?

මම විශ්වාස කරන විදිහට හරීන්ගේ ඥාතිකම මෙතැන දි අදාළ නැහැ. ඥාතියෙක් වීම නිසා එතුමා මා වෙනුවෙන් පෙනී සිටිය යුතුය කියලා කවුරුහරි කියනවා නම්, ඒක මම ප‍්‍රතික්ෂේප කරනවා. එතුමා තීන්දු තීරණ ගත යුත්තේ යමෙකුගේ හැකියාව දිහා බලලයි. මගේ විශ්වාසය අනුව මම මගේ කාර්යභාරය කළා කියලා හිතනවා. මම ඔබට තව දෙයක් කියන්නම්. හරීන් ප‍්‍රනාන්දු මහත්මයා මගේ ඥාතියෙක් වූ නිසාම ඇමැති ධුරයට පත් වුණ වෙලාවෙම එතුමා මුණගැසී මම ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අයින් වෙන්න අවසර ඉල්ලූවා. මාව පත් කළේ තමන් නොවන නිසා කිසි ප‍්‍රශ්නයක් නැහැ කියලා එතුමා ඒ වෙලාවේ කිව්වා. ඒ එක්කම ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය ගැන තමන් කළ ඇගැයීමක දී මම පිළිබඳ සභාපතිතුමා ඇතුළු අනෙක් අය තුළ ඉතා සුබවාදී මතයක් තිබෙන බැවින්, තවදුරටත් මේ ධුරයේ රැුඳී ඉන්න කියලා, හරීන් ප‍්‍රනාන්දු මහත්තයා ඉල්ලීමකුත් කළා.

මම අයින් වෙන්නම් කියලා කිව්වේ එහෙම තත්ත්වයක් තිබියදියි. කොහොමටත් රාජකාරියක් කරද්දී ඥාතිකම හෝ වෙනත් සම්බන්ධතාවල එල්ලිලා රාජකාරි කරන්න මම සූදානම් නැහැ. මම මගේ රාජකාරිය අකුරට කරන කෙනෙක්. අකුරට රාජකාරි කරද්දී, මිලක් ගෙවීමට සිදු වන විත්තිය මම දැනගෙන හිටියා. පහුගිය රජය කාලේ එහෙම කරලා ගෙවන්න වුණ මිල දිහා බලද්දී මේක ඉතා සුළු මිලක්. ඒ නිසා තනතුරු නැති වීම ගැන මට කිසි ප‍්‍රශ්නයක් නැහැ. අන්තිමට මිනිහෙක්ට ඉතුරු වෙන්නේ තමන්ගේ අභිමානය හා ආත්මගරුත්වය විතරයි. මම ඒක රැකගත්තා.

 

x ඔබ වෙනුවෙන් එතැනදි පක්ෂ පෙනී සිටීමක් කළාද?

අගමැතිතුමා මම වෙනුවෙන් පෙනී හිටියා. තව ඇමැතිවරු ගණනාවක් මට කතා කළා. නමුත් මේ වගේ පොඩි ප‍්‍රශ්නයක් නිසා අපි අමාරුවෙන් පත්කර ගත්ත ආණ්ඩුව අසීරුතාවට පත් වෙනවා දකින්න මම කැමැති වුණේ නැහැ. විශේෂයෙන්ම අගමැතිතුමා අසීරුතාවකට පත් වෙනවා දකින්න මට අවශ්‍ය වුණේ නැහැ.

 

x ජනවාරි අට වන දා වෙනසට මුල පිරුවේ තමන්ය කියලා හරීන් ප‍්‍රනාන්දු මහත්තයා නිතර කියනවා. ඔබ අතනදී ප‍්‍රතිපත්තිමය තීන්දුවක හිටියා නම් ඔහුට ඔබව ආරක්ෂා කරන්න බැරි වුණේ ඇයි?

ඒක එතුමාගේ ප‍්‍රශ්නයක්. ඒ නිසා ඔය ප‍්‍රශ්නය මගෙන් අහන එක සාධාරණ නැහැ. ඕක හරීන් ඇමැතිතුමාගෙන් අහන්න.

 

x ඥාති සංග‍්‍රහය පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා ඔබ අයින් වෙන්න හැදුවට, ඊට පස්සේත් එතැන වුණේ ඒකම නේද? පසුව මොබිටෙල් ආයතනයේ ප‍්‍රධානියා වුණේ ඔබේ වගේම හරීන්ගෙත් ඥාතියෙක් නේද?

දැන් මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කර තියෙන්නේ අවුරුදු ගණනාවක් එම ආයතනයේ සේවය කළ කෙනෙක්. ජ්‍යේෂ්ඨත්වය අතින් එතුමා එම ආයතනය තුළ ඉදිරියෙන්ම සිටි කෙනෙක්. එතුමා දේශපාලන බලය මත එම තනතුරට පත් වුණ කෙනෙක් නෙමෙයි. තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අවුරුදු විසිපහක විතර අත්දැකීම් ඔහුට තිබෙනවා. මොබිටෙල් ආයතනය තුළ අවුරුදු 15ක විතර අත්දැකීම් ඔහුට තියෙනවා. ඔහු එම ආයතනය තුළ වැඩක් කර පෙන්නපු කෙනෙක් මිසක් ඇමැතිවරයාගේ ඥාතියෙක් වීම නිසාම එතැනට පත් වුණ කෙනෙක් නෙවෙයි. ඔහු ඒ තනතුර දැරීමට නියම සුදුස්සෙක්.

 

x අධිවේගී ධාවනකරුවකු වීම නිසා ඔබට එක තැනක වැඩි කාලයක් ඉන්න බැහැ කියලා මතයක් තියෙනවා. ඔබේ වේගය එක්ක අනිත් අයගේ වේගය ගැළපෙන්නේ නැති නිසා මෙහෙම වෙනවාය කියලා සමහරු කියනවා. ඒ ගැන මොකද කියන්නේ?

ඇත්තටම ඒක යන ස්පීඞ් එකට වඩා ඩිරෙක්ෂන් එක පිළිබඳ ප‍්‍රශ්නයක්. ඔබේ ප‍්‍රශ්නයට මට කියන්න තියෙන්නේ එච්චරයි.

 

x ආණ්ඩුවේ අනාගතය ගැන මිනිස්සු දැන් කතා කරන්න පටන්ගෙන තියෙනවා. ආණ්ඩුවට ගොඩක් දුර යන්න බැහැ කියලා මිනිස්සු හිතන්න පටන්ගෙන තියෙනවා. විපක්ෂය කියන්නේ ආණ්ඩුව ඉක්මනින්ම වට්ටනවාය කියලයි. ඔබ හිතන විදිහට ඉස්සරහට මොකක් වෙයිද?

ඔය මොන දේ කිව්වත් ශක්තිමත් විපක්ෂයක් අද මේ රටේ නැහැ. විපක්ෂය බොහොම දුර්වලයි. එජාපයේ පළමු පෙළ තුළ ජ්‍යේෂ්ඨයන් ගණනාවක්ම ඉන්නවා. දැන් දෙවැනි පෙළේ ඉන්න අයව ඉස්සරහට ගන්න කාලය ඇවිත් තියෙනවාය කියලා මම හිතනවා. දක්ෂ, තරුණ හා හැකියාවෙන් යුත් කණ්ඩායමක් එජාපයට ඉන්නවා. ඒ කණ්ඩායම ඉදිරියට ගත යුතුයි. එහෙම ඉස්සරහට ගත්තොත් එජාපයට අලූත් දෙයක් කිරීමේ හැකියාව ලැබෙනවා. අද ශ‍්‍රීලනිපය දෙකට වී හමාරයි. ඒ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්න සෑහෙන කාලයක් ඔවුන්ට යාවි. අද පැහැදිලි නායකයෙක් ඉන්න, පැහැදිලි දර්ශනයක් සහිත පක්ෂ ව්‍යුහය යූඑන්පීය විතරයි. ඒ නිසා ඉදිරියේ දී එජාපය ශක්තිමත් වීම යනු නොවැළැක්විය හැකි තත්ත්වයක්.

එජාපය ශක්තිමත් වෙනවාය කියන්නේ රනිල් වික‍්‍රමසිංහ ශක්තිමත් වීමයි. රනිල් වික‍්‍රමසිංහ ශක්තිමත් වනවාය කියන්නේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙනවාය කියන එකයි. අගමැතිතුමා ඒ වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ ශක්තිය මේ වන විට යොදවා තියෙනවා. ඒක යහපත් මෙන්ම දිරිය වඩවනසුලූ සංඥාවක්. මම කලිනුත් කිව්ව වගේ ජනවාරි අට වන දා මිනිස්සු ඉල්ලූවේ දේශපාලන වෙනසක්ම විතරක් නෙවෙයි. ආර්ථික සංවර්ධනයකුත් ජනතාව අපේක්ෂා කළා. දේශපාලන වෙනසේ දී අපි යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටිනවා. ආර්ථික වෙනසට තවම කල් මදි. ඒත් ඒකට අවශ්‍ය මූලිකාංග දැන් ගොඩනැගෙමින් තියෙනවා. ඒ තත්ත්වය තුළ ඉදිරියේ දී දැවැන්ත සමාජ, ආර්ථික පිම්මක් පැනීමේ හැකියාව අපට ලැබේවි.

krishantha

සාකච්ඡාව : ප්‍රදීපා වීරසේකර