මං ගායකයෙක් නෙමෙයි

“රම්බරී කියපන් උඹෙ නොම්බරේ” ගීතය අවුරුදු හත අටේ දරුවන්ගේ සිට හැත්තෑව, අසූවේ වැඩිහිටියන් දක්වාම විනෝදාත්මකව රසවිඳින ගීතයකි. එහි හිමිකරුවා වන්නේ ‘ලා සිඤ්ඤෝ’ හෙවත් ලහිරු පෙ‍රේරා ය. ශබ්ද පරිපාලන විෂය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම්වලින් සන්නද්ද ඔහු, තවත් අතකින් ඒ පිළිබඳපාඨමාලාවක් පවත්වාගෙන යන ගුරුවරයෙකි. ශබ්දය, නාදය, රූපය, ප්‍රතිරූපය ඔස්සේ ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලාවන් පිළිබඳ සිහින මවන ඔහු , මෙරට විනෝදාස්වාදන මාධ්‍ය, නවමු ඉසවු සොයා යා යුතු බව ද පවසයි.

සංගීතය පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කෙබඳුද?

නාදය උපයෝගී කරගෙන ගොඩනගන දෙයකින් කාගේ හරි හැඟීම් දැනට තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකට පත්කළ හැකිනම්, හෘදසාක්ෂියට එකඟව එය සංගීතය ලෙස මා විශ්වාස කරනවා.

ඔබගේ නිර්මාණ ගොඩනගන්නේ ඒ පදනමේ සිටිමින්ද?

සංගීත නිර්මාණය කියන්නේ මගේ වෘත්තීය. එක් අතකින් ,ඒක සංගීත නිර්මාණය ලෙසින් දැනට පවතින හුදු ලේබලය නොවෙයි. මම විස්තර කරන මාදිලිය, අප සමාජයට දෙන දෙය ,සමස්තයක් විදිහට බලලා හඳුනාගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. මගේ සංගීත රූපාවලියන් දැකීමෙන් හා ඇසීමෙන් කෙනකු සැහැල්ලු වෙනවානම්, සතුට, විනෝදය ලැබෙනවා නම්, මම සාර්ථකයි කියලා හිතනවා.

ඔබ ජීවත්වෙන්නේ මේ නිර්මාණවලින් කියලද කියන්නේ?

දැනට ඉදිරිපත්කර ඇති මගේ ගීත කීපය නිසාම මට ආදරය කරන, මාව පිළිගන්න රසික රසිකාවියෝ පිරිසක් සිටිනවා. ඒ නිසා ම ප්‍රාසාංගික වේදිකාවට මට ආරාධනා ලැබෙනවා. මම දැනට වසර දෙකකට පමණ පෙරදී හඳුන්වා දුන් ‘ලා සිඤ්ඤෝ’ කියන ප්‍රතිරූපයට බොහෝ දෙනෙක් හරිම කැමතියි. නිර්මාණ කාරයකුගේ කාර්ය වෙන්නේ, තමන් කරන දේ මඟින් රසිකයන් පිනවීම කියලයි මම හිතන්නේ.ඒක හොඳට වෙනවානම් , මගේ ආදායමත් හොඳවෙනවා. මේ ‍ක්ෂේත්‍රයට එන විට තරුණයකු විදිහට මටත් හීන තිබුණා. මම ඒවා ජය ගත්තේ මගේ නිර්මාණවලින් ලැබෙන ආදායමින්. වැඩිය නෙමෙයි. කාලා, ඇඳලා, හොඳින් ජීවත් වෙන්න වගේ ඒ ආදායම ප්‍රමාණවත් වුණා.

‘ලා සිඤ්ඤෝ ‘කියන්නේ වෙළෙඳ උපක්‍රමයක්ද?

ඉදිරියේදී ‘ලා සිඤ්ඤෝ’ නමින් මගේ ගීතයක් ඉදිරිපත් කිරීමට සැලැසුමක් තිබෙනවා. ගීතය වඩාත් ජනප්‍රිය වෙළෙඳ උපක්‍රමයක් ලෙසින් ගෙනයාමේ අවශ්‍යතාව නිසා ‘ලා සිඤ්ඤෝ’ කියන චරිතය ගොඩනැඟුවා. ‘සිඤ්ඤෝ’ කියන්නේ නූතන පරපුරේ ආරච්චිලා කෙනෙක්. එයා පනාවක් ඔළුවේ ගහගෙන ඉන්නවා. පිත්තල බොත්තම් ඇල්ලූ නවීන පන්නයට සකස් කළ නමුත් ,පැරැණි ආරච්චිලා ඇන්ද හැඩයේ ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. මේ චරිතය දැනටම බොහෝ දෙනෙත් අතර ජනප්‍රියයි. මේ ගීතය ඒ නිසා බොහෝ අය වැළඳ ගත්ත ගීයක් බවට පත්වේවි කියලා මං හිතනවා.

ලා සිඤ්ඤෝ කියන්නේ පැහැදිලිවම වෙළෙඳ ප්‍රතිරූපයක් තමයි. ජාත්‍යන්තරයට ගිය ශිල්පීන් බොහොමයක් එවැනි උපක්‍රම ඔස්සේයි ජනතාව අතරට ගියේ. මා එය අත්හදා බලමින් සිටිනවා.එය මේ වනවිට බොහෝ දුරට සාර්ථකයි. ලහිරු පෙරේරා වේදිකාවට නගිනවට වඩා, ‘ලා සිඤ්ඤෝ’ට තිබෙන ප්‍රතිචාර ඉහළයි. දැන් මගේ ආදායමත් ඒ නිසාම ඉහළ යමින් තිබෙනවා.

ඔබ ජාත්‍යන්තරය ජයගැනීමත් පිළිබඳ සඳහන් කළා.

මම හිතනවිදිහට අප ජාත්‍යන්තර ජයගත්තා කියලා කියන්න වෙන්නේ අපි ගයන සිංහල ගීතයක් විදේශිකයෙක් ගායනා කරන, මුමුනන තැනට ගොඩනැඟීමය’. ‘වයිදීස් කොලවරි කොලවරි’ අද වෙනසක් නැතිව ලෝකයම රසවිඳින ගීතයක්. ඒ වගේ හැමෝටම දැනෙන ගීත මඟින් ශ්‍රී ලංකාවේ නම ලෝකයටම ගෙනියන්න පුළුවන්. මම කියන්නේ ලෝකය ජය ගැනීමේ හොඳම මාධ්‍ය ගීතය කියලයි.

මිනිස්සුන්ට දැනෙනවානම් ඒ අය පහසුවෙන් රස විඳිනවා කියලා. ඒ වගේම ඒකඩොලර් දහස් ගණනින් ආදායම් උපයන මාධ්‍යයක් බවටත් පත් කරන්න පුළුවන්. ඒ සඳහා හැකියාව, දක්ෂතා ඇති පිරිසක් මේ ක්ෂේත්‍රයට පාතබා සිටිනවා. අපට ජාත්‍යන්තරය ජයගත හැක්කේ ඉංග්‍රීසි බසින් ගීත ගැයීමෙන් නෙමෙයි. සිංහල භාෂාවෙන්, අපේ ඌරුව ඇතුළත් නිර්මාණ බිහි කිරීමෙන් පමණයි.

මයිකල් ජැක්සන් ප්‍රාසාංගික කලාවේ නව ආධිපත්‍යයක් ගොඩනැඟුවා. ඔහු ඒ සඳහා බාහිරින් සුවිශේෂී ප්‍රතිරූපයක් සකස්කර ගත්තා. ඔබ උත්සාහ කරන්නේ එවැනි දෙයකටද?

මයිකල් ජැක්සන් තුළ වෙළෙඳ උපක්‍රමය ලෙසම ගොඩ නඟාගත් ප්‍රතිරූපයක් තිබුණා. ඔහු ජාත්‍යන්තර මට්ටමට ගියේ ඒ ප්‍රතිරූපය හරහායි. ලංකාව ගැන අපේ අනන්‍යතා ගැන අපි මොන විදිහේ පුරසාරම් කීවත්, මේලෝකයේ ජීවත්වෙන අයගෙන් අප ගැන දන්නේ ඉතාමත් ම අල්ප පිරිසක්. එය ව්‍යාප්ත කිරීම අපගේ වගකීමයි. ඒ සඳහා කාටවත් දොස් කිවයුතු නෑ. ඊට අවශ්‍ය මඟ සකස් කරගත යුතු වන්නේත් අපි අපිමයි.

මයිකල් ජැක්සන් ජාත්‍යන්තරය ජයගත්තේ ප්‍රතිරූප නිසා පමණක් ම නෙමෙයි. ඔහු එරට ආදිවාසීන් (රතු ඉන්දියානු)ගේ සංගීතය පිළිබඳ හැදෑරීම් කර තිබුණා. ඔහුගේ නිර්මාණවලට ඒවා එකතු කළා. එවැනි හැදෑරීම් කොතෙක් දුරට වැදගත් යැයි ඔබ හිතනවාද?

නාද මාලා , අපේ පැරැණි හඬවල් , සිංහල භාෂාව පිළිබඳ, හොඳ හැදැරීමක් අවශ්‍ය බව මම විශ්වාස කරනවා. මා ඉදිරිපත් කරන මේ ව්‍යාපෘතිය මගේ වූණත්, එය වටා එක් වූ විශාල පිරිසක් සිටිනවා. ඒ අධ්‍යයනය අපි හැමෝටම වැදගත් බව මම දන්නවා.

නිර්මාණයක් කිරීමේදී අප ඒ සඳහා වසර කීපයක් ගත කරනවා. ඒ පිටුපස ඔබ කියන ඒ හැදෑරීම් තිබෙනවා.

නිර්මාණයක් සකස් කිරීමේදී ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය ගැන පැහැදිලි කළොත් ?

මුලින් මගේ කටයුත්ත වෙන්නේ මෙලඩියක් සකස් කිරීමයි. ඒ කටයුත්ත වෙනත් කෙනකුගේ නෙමෙයි , මගේමයි. මම මුලින්ම හිතනවා ඒ මෙලඩියේ මොනවගේ රසයක් ද ඉදිරිපත් විය යුත්තේ කියලා. ප්‍රේමයද, විරහවද, ආදරය, සතුට, මාපිය සෙනෙහස ද මීට ඇතුළත් වෙන්නේ කියා හිතනවා. මේ තනුව නිර්මාණය කරන විට ‘මනුරංග’ මා සමීපයේ සිටිනවා. මොනවගේ පදමාලාවක්ද ඊට ගැළපෙන්නේ කියලා ඔහු දන්නවා. ඉන් පසුවයි ගීතයක් ලෙස සකස්වෙන්නේ‍ . ඒ අතරම ගීතයට ගැළපෙන රූපාවලියක් සකස්කිරීමේ කටයුතු සිදුකෙරනවා. මෙහිදී මම ඒ සඳහාද සුවිශේෂී දක්ෂතා ඇති කෙනකුට , වීඩියෝ එකේ කටයුතු බාර දෙනවා.

ශ්‍රව්‍ය ද්‍රශ්‍ය නිර්මාණයක් ලෙසට අවසානයේ ඉදිරිපත් කෙරෙන ඔබගේ මොඩලයේ නිර්මාණ බොහොමයක ගායනය යටපත්වෙලා රූපය ඉස්මතු වෙනවා.

එවැනි අවස්ථා තිබෙනවා සමස්තයක් ලෙස ඒ තුළ ආකර්ෂණයක් තිබේ නම්, මා සලකන්නේ එය වඩාත් වැදගත් බවයි. ගායකයෙක් හැටියට නෙමෙයි මම මාව හඳුන්වන්නේ. විනෝදාස්වාදය ලබාදෙන්නෙක් හැටියටයි. ඇත්තෙන්ම අප පිළිබඳ බොහෝ වැරැදි, මැන කිරා බැලීම් සිදුවෙන්නේ එකම මිම්මකින් මැනීම නිසයි. මං මුලින්ම කී ආකාරයට මා ඉදිරිපත් කරන දෙය රසිකයන් සතුටට, විරහවට, යම් සංවේදනාවකට, සැහැල්ලුවට පත්වේනම්, එයයි මට වැදගත්.

ශ්‍රී ලංකාව තුළ ඔබට සිටින රසිකයන් පරාසය පිළිබඳ ඔබට තිබෙන්නේ මොනව වගේ තක්සේරුවක්ද?

රටේ ජනගහනය මිලියන දෙකක්. මේ අතරින් හැම කෙනකුම සිංදු අහන්නෙත් නෑනේ. ඒ අය අතරිනුත් අප වගේ අයගේ ගීත අහන පිරිසක් සීමා වෙනවානේ. ඒ පිරිස අ‍‍තරෙ අවුරුදු 08 සිට 80 දක්වා අය සිටින බව මම හඳුනාගෙන තිබෙනවා. කොහොම වුණත් අප ශ්‍රී ලංකාව තුළට පමණක් සීමා වීම ප්‍රමාණවත් නෑ.

කලාව කියන්නේ මුදල් ඉපයිය හැකි හොඳ ම මාර්ගය බව ඔබ පැවසුවා?

මගේ තාත්තට ඔහුගේම කියලා බේකරි ව්‍යාපාරයක් තිබෙනවා. මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. ඒ ව්‍යාපාරය හොඳින්ම දියුණු කරගෙන ඉදිරියට යාමේ පසුබිමක් මට තිබුණා. ඒත් මම කැමැති වුණේ නෑ ඒ දේට. උසස් ‍පෙළට ඉගෙනගත්ත විෂය කරුණුවලට මම කොහෙත්ම කැමැති වුණේ නෑ.මම කළේ ගණිත විෂයයන්. විභාගය සමත් වුණත්, ඒ කාලේ මම කැමැති වුණ, ඒ වගේම මගේ හිත ඇදිලා ගියේමගේ පෙම්වතියට පමණයි. ඊළඟට ජීවි‍තේ මම කැමැතිම දෙය සංගීතය. මම කැමැති දෙය තමයි ලෝකේ මුදල් ඉපයිය හැකි හොඳ ම මාර්ගය බවට පත්වෙලා තිබෙන්නේ. රිද්මයක් ඇසුරින් සතුටුවීම, සැහැල්ලු වීම අනාදිමත් කාලයක ඉඳලා, මිනිසුන් කරන චර්යාවක්. ඒ නිසා ලෝකයේ බොහෝ දෙනකුට දැනෙන එවැනි නිපැයුම් කළ හැකිනම්, අපට එයම විදේශ විනිමය ලැබෙන හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්.

කලාව හා වෙළඳාම එකක් බවද ඔබ පවසන්නේ?

විකිණීම සඳහා කලාව සකස් කළ යුතු බවයි මම පවසන්නේ. අද ලෝකයම සිටින්නේ එතැන. අපට පේනවා උසස් යැයි සම්මත නිර්මාණ කළ කලාකරුවෝ කිසිවක් නැතිව ජීවිතේ අවසන් කාලයේ දුක සේ ගත කරනවා. ඔවුන්ට රජයෙන් නැතිනම් වෙනත් කෙනකුගේ පිහිට වුවමනා වෙනවා. එසේ නොවීමට නම් අප මේ වෙළෙඳ පොළ ක්‍රමය ජයගත හැකි අන්දමේ නිර්මාණ කළ යුතුයි. මම කැමැතියි දවසක එවැනි දුප්පත් ජීවිත ගත කරන අය වෙනුවෙන් අරමුදලක් හදන්න. අරමුණක් ඇතිව කටයුතු කරනවානම්, එවැනි අයට විශ්‍රාම වැටුපක් වුණක් දෙන්න පුළුවන්.

ඔබ හදන්නේ පරමාදර්ශී චරිතයක් වෙන්නද?

සමහරවිට ඒක ගීතයක් වගේ පේන්නත් පුළුවන්. මම මේ ක්ෂේත්‍රයේ ගෞරවයෙන් සැලකූ පුද්ගලයන් අතර සුනිල් පෙරේරා ප්‍රධානයි. මම ඔහු පිළිබඳ සමීපව දන්නවා. මම ඔහුගේ ජිප්සීස් වාදක මණ්ඩලයේ මාස හයක කාලයක් කටයුතු කළා. අදටත් සුනිල් පෙරේරා ඔහු ගායනය කරන ගීත ,ලියනලද රචකයන්ට මාසිකව ගෙවීමක් කරනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදවු වෙනවා. මාසිකව ඔහු ළඟට ඇවිත් බෙහෙත් වියදම ලබාගන්නා පිරිසක් සිටිනවා. මමත් කැමැතියි මගෙත් එක්ක ඉන්න අයට ඒ වගේ සලකන්න. මගේ අදහස ඒ හැමදෙනාම ඉක්මනින් වැඩ අත්හැරිය යුතුය් කියලයි.

සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ජනප්‍රිය කර ගැනීම සඳහා මාධ්‍ය ආයතන වෙත මුදල් ලබාදීම් සිදු කරනවාද?

නැහැ. මම කවදාවත් ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකාවලට මුදල් ගෙවීම් කරන්නේ නෑ. ඒත් එලෙස ජනප්‍රිය කරවීමේ ක්‍රමවේදයක් පවතින බව මා දන්නවා.

ඔබ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එන්නේ ශිෂ්‍යත්වය සමත් වෙලාද?

ඔව්.ම‍ගේ ගම ගම්පහ උඩුගම්පොළ. මගේ කනිටු පාසල වුණේ ගම්පහ ශ්‍රී බෝධි විදුහල. ශිෂ්‍යත්වයෙන් තමයි ඩී. එස්. ආවේ. පුංචි කාලේ සංගීතය ගැන ඒ තරම් උනන්දුවක් තිබුණේ නෑ. තාත්තා බලෙන් වගේ පංතියකට ඇදගෙන ගියේ. මම සාමාන්‍ය පෙළට සංගීත විෂය හැදෑරුවා.

ලා සිඤ්ඤෝ භූමිකාව සමඟ දිගටම රැ‍ඳෙන්නද කල්පනාව

මේ ප්‍රතිරූපය දේශීය වගේම ජාත්‍යන්තරව බොහෝ දුරක් යා හැකි බව හැඟෙනවා. මේ නූතන ආරච්චිලා ප්‍රතිරූපය වීරයෙක් තත්ත්වයට ඉහළට එසවීමය මගේ අරමුණ . ඒ වෙනුවෙන් ඉදිරියේදී කාටූන් පොතක්, කාටූන් චිත්‍රපටයක් කිරීමටත් සැලැසුම් කර තිබෙනවා. අපට අපේම කියලා සුපිරි වීරයෝ නෑනෙ. සුපර් මෑන්, බෙන්ටෙන් වගේ අනාගතේ දවසක දරුවෝ “ලා සිඤ්ඤෝ” ගැන කතා කරයි. ඇත්තෙන්ම මෙය එක්තරා ව්‍යාපෘතියක්.

25-mama-02 25-mama-03 25-mama-04

සකාච්ඡා සටහන බුද්ධිකා බ්‍රාහ්මණගේ

ඡායාරූප සුසන්ත විජේගුණසේකර