බ්‍රිතාන්‍ය යුගයේ කඩවීදී වෙළෙඳ-ගෘහය

1815 වසරේදී සිදුවූ මහනුවර කන්ද උඩරට රාජධානියේ බිඳවැටීමත් සමගම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ අනුග්‍රහයට ලක්‌වැසියන් නතුකරගැනීමේ ව්‍යායාමයේ ආරම්භය සනිටුහන් විය. කෝල්බෲක්‌ සහ කැමරන්ගේ (Colebrooke & Cameron) 1832-1833 වර්ෂයන් තුළදී ක්‍රියාවට නැංවුන ආර්ථික ප්‍රතිසංස්‌කරණයන් මෙරට සමාජ-ආර්ථික සන්දර්භයන් නූතන ධනවාදී බටහිර රාමුවක්‌ තුළට තල්ලු කිරීමට සමත්වී යෑයි කීම සාධාරණය. වැඩවසම් ක්‍රමය තහනම් කොට සෑම කුල පසුබිමකටම ධනවාදී අර්ථක්‍රමය විවෘත කළ වාතාවරණයක්‌ තුළ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත ව්‍යාපාරයේ කොටස්‌කරුවන් වීමට යටත්විජිතවාසී ලක්‌වැසි ජනතාවට නැවුම් අවස්‌ථාවක්‌ ලැබිණි.

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් 1796 වසරේ ඕලන්දයින්ගෙන් වෙරළබඩ ප්‍රදේශයන් අත්පත් කරගත් කාලවකවාණුවේ සිටම අනාදිමත් කාලයක්‌ පුරාවට නොවෙනස්‌ව පැවැති සමාජයීය සහ අර්ථක්‍රමයක සංක්‍රාන්තියක්‌ උදෙසා වෙරදරා තිබිණ. 1833 වසරේ මල්ඵල ගැන්වුණේ මෙම දූරදර්ශී ව්‍යායාමයයි. 1803 වසරේ සිටම කොළඹ සහ මහනුවර යාකල මහා මාර්ගයක දැඩි අවශ්‍යතාවයක්‌ යටත්විජිත පාලනය තුළ වූ බව එම වසරේ වෙරළබඩ පාලනය කළ ෆෙඩ්රික්‌ නෝර්ත් (Feddrik North) ආණ්‌ඩුකාරවරයා විසින් කන්ද උඩරට රජුට සිය රාජධානිය හරහා වැටුණ කොළඹ-ත්‍රිකුණාමල මාර්ගයක්‌ සෑදීමට කළ තර්ජනාත්මක බලපෑම වැනි කරුණු තුළින් සාධනය වේ. කෙසේ වෙතත් 1830 දශකය වනවිට දිවයිනපුරා වූ සෑම වැදගත් නගරයක්‌ම කොළඹ හා මහනුවර නගරයන් ද්විත්වය හා මහාමාර්ගයන් තුළින් සබැඳීමට බ්‍රිතාන්‍ය පාලනය සමත්වී තිබිණ. 1822 වසරේ සිට ක්‍රියාතAමක වූ තැපැල් සේවය මුල්ම වරට මෙම කොළඹ-මහනුවර අක්‌ෂය යාකිරීම අරඹා තිබුණේ හංවැල්ල, රුවන්වැල්ල, සීතාවක සහ ඇටම්පිටිය හරහාය. නූතන ඝනයේ අධි විනයකින් යුක්‌ත වූ හමුදාවක්‌ මෙහෙයවීම උදෙසා උත්සුක වූ ඉහත ව්‍යායාමයේ ආනුභාවයෙන් කොළඹ මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රාදේශීය අගනගරයන්හි ප්‍රධාන බ්‍රිතාන්‍ය යුදහමුදා සේනාංකයන් පිහිටුවනු ලැබූ අතරම, මෙම ප්‍රධාන නගරයන් අතර වූ අවශේෂ නගරයන් තුළ අනුසේනාංකයන් ස්‌ථානගතවිය. මෙලෙසින් දේශපාලනිකව තම බලය ස්‌aථාවර කරගත් වාතාවරණයකදී, යටත්විජිතවාදයේ ප්‍රධානතම අන්තර්ගතය වූ ආර්ථික පැතිකඩ ගැන සිතීමට අධිරාජ්‍යවාදීන්ට කාලය උදාවිණ. 1796 වසරේ සිට යටත්විජිත රජයේ වියදම් පියවීම උදෙසා ආදායමක්‌ උපයාගැනීමට ජනතාව මත බදුබර පැනවූ බ්‍රිතාන්‍යයින්, 1830 දශකය කරා ආගමනයේදී නව ක්‍රමවේදයක්‌ තුළිsන් ආදායම් ඉපයීමෙන් ආර්ථික සමෘද්ධිය උදාකරගැනීමේ තලයට පත්වීමේ පිපාසාවකින් පෙළින. 1810 වසරේ සිටම, තම අන් යටත්විජිතයන්හිදී ක්‍රියාත්මක කළ අයුරින්ම වැවිලිකරුවන්ගේ පන්තියක්‌ (planter class) ස්‌ථාපනය කිරීමට වග බලාගත් බ්‍රිතාන්‍ය පාලනය, 1835 පමණ වනවිට එංගලන්ත මව් රටෙන් පැනවූ බදු සහනාධාරවල ආනුභාවයෙන් ලෝක වෙළඳපොල යන මහා ධනවාදී සාගරයේ ‘සිලෝන්’නම්වූ (Ceylon) යාත්‍රාව අභිනවයෙන් දියත් කිරීමට සමත්ව තිබිණ. 1822 වසරේදී ගම්පොලින් ඇරඹි කෝපි වගාව 19වන සියවසයේ අගභාගය වනවිට තේ වගාව කරා ව්‍යාප්තව තිබුණේ සුලි සුළඟක මෙන් වේගයකිනි.

1834 වසරේ පැනවුන මුඩුබිම් පනතත්, 1801 වසරේ සිට යුරෝපීය ජාතීන්aට කොළඹින් පිටත දේපළ දැරීමටවූ අයිතියට තිබූ තහනම ඉවත් වීමත්, 1832-1833 ප්‍රතිසංස්‌කරණයන්ගෙන් අනතුරුව වේතන කප්පාදුවට ලක්‌වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවකයන් වතු ක්‌ෂේත්‍රයේ ආයෝජනයට දිරිමත් කිරීමත්, වතු ක්‌ෂේත්‍රයේ කම්කරු වෘත්තියේ නියෑළීමට සිංහලයන් දැක්‌වූ උදාසීන භාවයට පිළියමක්‌ ලෙස දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ආනයනයට පියවර ගැනීමත් ආදී කරුණු කාරණාවන් රාශියක්‌ මෙලෙස දිවයිනේ කඳුකර ප්‍රදේශයන් ආශ්‍රිතව වතු කර්මාන්තයේ නැගීම දිරිමත් කරවීය.

ස්‌වයංපෝෂිත කෘෂි ආර්ථිකයකට පාරම්පරිකව යොමුව තිබූ ජනතාවක්‌ ධනවාදී අර්ථක්‍රමයක්‌ වෙතට ඇදගැනීම උදෙසා ඔවුන් මත බදු බර පැටවූ බ්‍රිතාන්‍ය යටත්විජිත රජයේ බලාපොරොත්තු ඒ අයුරින්ම සාක්‌ෂාත් කරගත නොහැකි විය. මීට හේතුවූයේ ලක්‌වැසියන් බහුතරයක්‌ම තම වතු ආශ්‍රිත වගාවන් ලෙස ආර්ථික භෝග (cash crops) වැවීම මගින් උපයාගත් මුදල් බදු ගෙවීමට භාවිත කිරීම හෝ තම ශ්‍රමයෙන් වතු, මහාමාර්ග, පොදු ගොඩනැගිලි තැනීම වැනි ව්‍යාපාරයන් හට දායක වීම තුළින් යටත්විජිත ධනවාදී උගුලෙන් දිගින් දිගටම ගැලවී සිටීමට සමත්ව තිබීමයි. මේ අතරම පාරම්පරිකව කුල ක්‍රමය වැනි සංස්‌කෘතික සාධකයන් නිසාවට පීඩාවට පත්ව විසූ ඇතැම් ජනකොටස්‌, යටත්විජිත රජය විසින් ලබාදුන් ව්‍යාපාරික අවස්‌ථාවන්ගෙන් උපරිම වශයෙන් මල්ඵල නෙලා ගැනීමට සමත්වී යෑයි කීම නිවැරදිය. කුමාරි ජයවර්ධනයන් සිය Nobodies to
Somebodies:The Rise of the Colonial Bourgeoisie in Sri Lanka (2007) කෘතියේ ද, මයිකල් රොබර්ට්‌ස්‌ Michael Roberts) ish Caste conflict and Elite Formation: The Rise of a Karava Elite in Sri Lanka, 1500-1931 (1994) යන කෘතියේ ද, කරාව, දුරාව, සලාගම නම් වූ පහතරට කුලයන් ත්‍රිත්වයේ සහ තවද කුලයන් කිහිපයකම කඩිනම් අභිවෘද්ධිය පෙන්වා දෙයි. කොළඹ-මහනුවර අක්‌ෂය ස්‌ථාපනය කිරීමත් සමගම මහනුවර නගරයේ මෙන්ම වතු ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවීමේ ක්‍රියාවලිය තුළ දී ඉහත කුලයන් ත්‍රිත්වයට විශේෂ ස්‌ථානයක්‌ ලැබුණි. පෘතුගීසි සහ ලන්දේසි පාලන සමයන් තුළදී ද එම පාලන තන්ත්‍රයන් හා එක්‌ව ක්‍රියාකිරීම තුළින් යම් සමාජ තත්ත්වයක්‌ මේ වනවිට ද ලබාසිටි මෙම ජන කොට්‌ඨාශයන්ගේ ඇතැමුන්, ඉහත විස්‌තර වූ ලෙස උරදුන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත රජය ඒවනවිට අත්විඳිමින් පැවති ප්‍රාග්ධන අර්බුදය හමුවේය. පහතරට සිට උඩරටට තවලම් ආකාරයෙන් භාණ්‌ඩ ප්‍රවාහනය කාලයක සිටම සිදුකරගෙන ආ මෙම සුළු ධනේෂ්වරයින්, බ්‍රිතාන්‍ය යටත්විජිත රජය සහ වතු හිමියන් උදෙසා දර, දිය, ආහාර පාන මෙන්ම ගොඩනැඟිලි ද්‍රව්‍ය පවා කොන්ත්‍රාත්තු පදනම යටතේ සපයා දුන් බව සිය 1994 වසරේ එලිදැක්‌වුණු Decolonizing Ceylon:Colonialism, Nationalism and the Politics of Space in Sri Lanka නම් කෘතියේ නිහාල් පෙරේරා පවසා සිටියි. මෙලෙස තමා වෙත ලැබුණු මහඟු අවස්‌ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගත් මෙම කුල පසුබිම්වලට අයත් පවුල් ගණනාවක්‌ම ඉතා සුළු කාලයක්‌ තුළ කැපී පෙනන ලෙස විශාල ප්‍රාග්ධනයක්‌ රැස්‌කර ගැනීමට සමත්විය. වැඩිකල් නොගොස්‌ම මෙම ප්‍රාග්ධනයෙන් කොටසක්‌ අරක්‌කු-රේන්ද (Arrack-renting) වැනි වඩා ආර්ථිකමය වශයෙන් වාසිදායක වූ කර්මාන්තයන් උදෙසා ආයෝජනයට පෙළඹුණ මොවුන්, සිය ආර්ථික කූඨප්‍රාප්තිය හමුවේ යම් ප්‍රාග්ධන කොටසක්‌ වතු කර්මාන්තය කරාද යොදවන ලද්දේ සිය ‘කළු සල්ලි’ සුජාතකරණය (legitimization) උදෙසා බව නොරහසකි. වතුකරය ආශ්‍රිත තේ වැනි වගාවන්ට පරිබාහිරව පහතරට ප්‍රදේශයන්හි පොල් සහ වෙනත් ආර්ථික භෝගයන් නිෂ්පාදනය කරාද විවිධාංගීකරණය (diversity) වන මෙම නව ධනේෂ්වරයින්, සුදු ජාතීන්ගේ තරගයක්‌ නොමැති ඉහත වගා මාදිලීන්ගේ ඒකාධිකාරය (monopoly) ලබාගැනීමට පසුබට නොවීය. ඉහත ආර්ථික අභිවෘද්දීන් හමුවේ 1863 වසරේ කොළඹ හා වතුකරය යාකරමින් දුම්රිය මාර්ගයක්‌ සෑදීමේ අසීරු කර්තව්‍ය ආරම්භ වී 1867 වසරේ මහනුවර දක්‌වා එහි වැඩ නිමවන තුරුම, ගවයින් බැඳි ගැල ලංකාව තුළ කොළඹ සහ අනෙකුත් නගර යාකරන එකම ප්‍රවාහන ක්‍රමවේදය ලෙස පැවතුනි. ඉතාමත්ම දුෂ්කර වූ නොදියුණු මාර්ග පද්ධතියක සිදුවූ මෙම සේවාව වනපෙත් හරහා කඳු, මිටියාවත් පසුකරමින් කෙමෙන් ව්‍යාප්ත වී තිබිණ. මෙම ව්‍යාප්ත වීම 1820 වසරේ සිට යටත්විජිත රජය විසින් දියත්කළ මහාමාර්ග සහ පාලම් වැනි යටිතල පහසුකම් නගාසිටුවීමේ මහා ව්‍යායාමය හා සමගාමීව සිදුවීම කැපීපෙනේ. ෙ-. ෆර්ගියුසන් (J.Furgoson) පවසන පරිදි, පේරාදෙණිය සහ යටියන්තොට වැනි ස්‌ථානයන්හි ගංගා මතින් ඉදි වූ දැවමය හෝ යකඩ බාල්ක-ගරාදි (girder iron lattice) පාලම්, 1870 වන විට දිවයිනේ සියලුම ප්‍රධාන ගංගාවන් ආවරණය කොට තිබුණි. මොහු විසින් රචිත Ceylon in 1903: Describing the Progress of the Island since 1803, its present Agricultural and Commercial Enterprises, and its Unequalled Attractions to visitors, with useful statistical Information; A Map of the Island, and Upwards of One Hundred Illustrations යන කෘතියේ මෙවන් නූතන ප්‍රභෝධයන් මොනවට සනිටුහන් කරයි. මින් පෙර මහනුවර රාජධානි සමයන්හිදී රජවරුන් විසින් සිය ආරක්‌ෂාව තහවුරු කිරීම උදෙසා අනුගමනය කර තිබුණේ ප්‍රති-මහාමාර්ග (anti-road) ප්‍රතිපත්තියකි. බ්‍රිතාන්‍ය පාලනය හා සමගාමීව ඇති වූ ලාංකික නාගරීකරණය ප්‍රාදේශීය අගනගරයන්හි සිට මහාමාර්ගයන් ඔස්‌සේ රඛීය (linear) ලෙස කඩිනම් වර්ධනයක්‌ පෙන්නුම් කරනට විය. වතු වගා කටයුතුවල ආරම්භයත් සමගම 19 වැනි ශතවර්ෂය මැදභාගය වන විට දිවයින පුරාවටම කුඩා නියම්ගම්හි (townships) ස්‌ථාපනය වීමක්‌ දක්‌නට ලැබේ. කොළඹ-මහනුවර අක්‌ෂය ඔස්‌සේ මෙන්ම කොළඹ-ගාල්ල-මාතර අක්‌ෂය ඔස්‌සේ ද මෙම ඝනයේ සංවර්ධනයක්‌ බෙහෙවින් දක්‌නට ලැබෙන අතර, මින් පරිබාහිරව දිවයින පුරාවටම ද විවිධ මට්‌ටම්වලින් හා තීව්‍රතාවයන්ගෙන් වාණිජ නගරයන්ගේ (commercial towns) පිබිදීම සනිටුහන් විය. විවිධ මාදිලීන්ගේ වානිජ කටයුතු රාශියක්‌ එක්‌තැන් කළ මෙවැනි නගරයන්හි කඩවීදින් ආශ්‍රිතව නව වාණිජ-ගෘහ මාදිලියක්‌ බිහිවීම නොවැලැක්‌විය හැකිවිය. ලාංකික යටත්විජිත සමාජ ස්‌ථරායණයේ දෙවැනි ආරෝහන මට්‌ටමකට උරුමකම් කී සුළු ධනේෂ්වර(petty bourgeoisie) පන්තියක්‌ 19 වැනි සියවස මැද භාගය වනවිට ඇතිව තිබිණි. බහුතරයක්‌ වූ සාමාන්‍ය වැඩකරන ගොවි-කම්කරු ජනතාවට (working class) සාපේක්‌ෂව සංඛ්‍යාත්මකව අල්ප වූ මෙම ජනකොටස යම් සුළු ප්‍රාග්ධනයකට හිමිකම් කීමට සමත්ව තිබිණ. මොවුන්ගෙන් කොටසක්‌ රාජ්‍ය සේවයේ යෙදීම ඔස්‌සේ ලද වරප්‍රසාදයන් හරහා මෙම සමාජ තත්ත්වයට එළැඹගෙන සිටි අතර, සෙසු කොටස්‌ විවිධ වාණිජ කටයුතුවල යෙදීම ඔස්‌සේ මෙලෙස උඩුකුරු සමාජ චල්‍යතාවයකට භාජනවී තිබිණ. වාණිජ කටයුතුවල යෙදීම කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක්‌ ප්‍රිය කළ සිංහලයාට පාරම්පරිකව උරුම නොවූ වෘත්තියක්‌ වූ බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. මෙලෙසින් නව වාණිජමය මුහුණුවරක්‌ ගන්නා මෙම ජන කොට්‌ඨාසයේ අර්ථ ක්‍රමය යටතේ මොවුන් අන් පෙර බ්‍රිතාන්‍ය යටත්විජිත වැසියන් සේම නූතනත්වය හා ධනවාදය කරා නිතැතින්ම ආකර්ෂණය වන්නට ඇත. මෙලෙසින් සිදුවූ ආකල්පීය වෙනස සමාජ-ආර්ථික රාමූන් කෙරෙහි බලපෑම් කොට, ඒ ඔස්‌සේ වාස්‌තුවිද්‍යා සන්දර්භය තුළින්ද ප්‍රකාශනය වීම ඇරඹෙන්නට ඇත. මින් පෙර කිසිදා තම ජීවිකාව හා නිවහන අතර සෘජු සම්බන්ධතාවක්‌ නොපෙන්වූ ජන කොටසක්‌, එක්‌වරම මෙම ක්‍රියාවන් ද්විත්වය එක්‌තැන් කළ වාස්‌තුවිද්‍යා නිර්මාණයක පිහිට පැතීමට තරම් පරිණාමයකට භාජන වූයේ ඉතාමත්ම සුළු කාලයක්‌ තුළයි. 1977 වසරේ විවෘත ආර්ථික අතුල් පහරට ලක්‌ව සංවර්ධනයේ නාමයෙන් කෙමෙන් විනාශ මුඛයට යන්නට මත්තෙන් දිවයින පුරා අතිසුලභ දසුනක්‌ වූ කඩ වීදීන්හි වෙළඳ-ගෘහයේ ආරම්භය මෙලෙස සනිටුහන් විය.

ghy

ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග
වරලත් වාස්‌තුවිද්‍යාඥ