ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර්

ළමයකු ප්‍රයිවට්‌ ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක්‌ තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නට කාලයක්‌ නොතිබීමය. දෙවැන්න එසේ සොයා බැලීමට තරම් දැනුමක්‌ නොතිබීමය. තෙවැන්න එසේ සොයා බැලීමට ඕනෑකමක්‌ නොතිබීමය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් 1940 ගණන්වල මුලදී ලිවීමට පටන්ගෙන 1944 දී මුද්‍රණද්වාරයෙන් එළිදැක්‌වූ ගම්පෙරළිය පොතෙහි එන කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ පවුලට ද මේ ප්‍රශ්නය තිබිණ. මුහන්දිරම්ගේ දියණියක වූ නන්දාට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය. එහෙත් ඒ දැනුම ඇයට දීමට මුහන්දිරම්ට හෝ ඔහුගේ බිරියට හෝ එක්‌කෝ දැනුමක්‌ නොතිබිණි; එසේත් නැත්නම් වෙලාවක්‌ නොතිබිණි. මේ නිසා ඔවුහු පියල් නමැති ‘ටියුෂන් ගුරුතුමා’ නිවසට කැඳවීය. මෙහිදී පියල් විසින් නන්දාට ඉංග්‍රීසි උගන්වනු ලබන්නේ මුදලට ද නැද්ද යන ප්‍රශ්නය පැන නොනගී. ඔහු නන්දාට උගැන්වීම සඳහා රාජ්‍ය මට්‌ටමින් නොව පෞද්ගලික මට්‌ටමින් මැදිහත් වන ගුරුවරයෙකි. එනම් ටියුෂන් ගුරුවරයෙකි. අන්තිමේදී පියල් නමැති ගුරුතුමා සහ සිසුවිය අතර ප්‍රේම සම්බන්ධයක්‌ හටගනී. මෙය අද සිදු වූයේ නම් අවසන් ප්‍රතිඵලය විය හැකිව තිබුණේ හෝටල් කාමරයක්‌ තුළදී කෙල්ල ගුරුතුමා වෙතින් අනාථ වීමය. මෙම ලිපි පෙළෙහි ඊළඟ ලිපියකදී මෙවැනි නූතන උදාහරණ කිහිපයක්‌ විස්‌තර කරනු ලැබේ.

ප්‍රයිවට්‌ ටියුෂන් සංකල්පය කර්මාන්තයක්‌ හැටියට විස්‌ථාපනය වන්නේ නවලෝක අනුක්‍රමය (New World Order) සහ ගෝලීයකරණය (Globalization) යන සංකල්ප දෙක ලෝකය දෙබෑ කරමින් හමා යන්නට පටන් ගැනීමත් සමඟය. මෙය බොහෝ වේගවත් වන්නේ 1973 න් පසුවයි. ගෝලීයකරණයත් සමඟම අධ්‍යාපනය ඉතාම තරගකාරී විය. මේ නිසා සංවර්ධනය වන රටවල් කිහිපයක ප්‍රයිවට්‌ ටියුෂන් කර්මාන්තය හිස ඔසවන්නට විය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, වියට්‌නාමය වැනි එවකට නොදියුණුව පැවැති ආසියාතික රටවල් පමණක්‌ නොව, ජපානය, දකුණු කොරියාව සහ ඇමරිකාව යන දියුණු රටවල් ද මේ රැල්ලට හසුවිය. මේ ක්‍රමය තුළදී අධ්‍යාපන ක්‍රමය විසින් පාසලටවත් දරා ගැනීමට නොහැකි තරම් විශාල වූ විෂය මාලාවක්‌ ළමයා මත පටවන ලදී. පාසලට උගන්වා ගත හැකි වූයේ සෑම විෂයයකින් ම 30% කි. ඉතිරි 70% ඉගැන්වීම භාර ගත්තෝ ටියුෂන් ගුරුවරු ය. උදාහරණයක්‌ වශයෙන් 1973 දී සමගි පෙරමුණ රජය විසින් පාසලට හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ක්‍රමය ගනිමු. එතෙක්‌ පැවැති විෂයයන් 8 වෙනුවට නව ක්‍රමය යටතේ විෂයන් 10 ක්‌ ළමයාට උගන්වන ලදී. එම විෂය මාලාව තුළ තිබූ නව ගණිතය විෂය දෙමාපියන්ට නොතේරුණ අතර, ගුරුවරුන්ට පමණක්‌ තේරිණ. දෙමාපියන් එය තේරුම් ගැනීමට නම් විෂය නිර්දේශය අමුතුවෙන් අධ්‍යයනය කළ යුතුව තිබිණ. එහෙත් දෙමාපියන්ට ඒ සඳහා කාලයක්‌ දැනුමක්‌ හෝ අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. එම විෂය මාලාවට අයත් සමාජ අධ්‍යයනය යනු එතෙක්‌ පැවැති ප්‍රජාචාරය සහ භූගෝලය යන විෂයයන් දෙකෙහි නව දිගුවකි. එය දෙමාපියන්ට නොතේරිණ. එම විෂය මාලාවේ සිංහල විෂය, සාහිත්‍යයෙන් ඉවත් වූ, ව්‍යාකරණ පමණක්‌ කියාදුන් පාඩමකි. දෙමාපියන්ට පෙනුණේ එහි කිසි ගතියක්‌ හෝ විභවයක්‌ නැති බවය. මේ රික්‌තය තුළ තිබූ අධ්‍යාපන වෙළෙඳපොළ දුටු ප්‍රයිවට්‌ ටියුෂන් ගුරුවරයා එම විෂය මාලාව හදාරා ළමයාගේ නොව දෙමාපියන්ගේ පිහිටට ආවේය. “අපිට ඔය අලුත් Subjects තේරෙන්නේ නැතැයි” කියූ මාපියෝ ළමයි ටියුෂන් පන්තිවලට ගාල් කරන්නට වූහ. අද වන විට ජනප්‍රිය පාසල් හා සමාන, ජනප්‍රිය ටියුෂන් ගුරුවරු සිටිති. මෙහිදී ‘පාසල’ යන සංකල්පය සමාන වන්නේ ගුරුවරයාටය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරයා යනු යෝධ ප්‍රපංචයකි. යෝධ ආයතනයකි. ජනප්‍රිය පාසලක ගුරුවරු හත් අටසීයයක්‌ සමඟ ළමයි තුන්හාරදහසක්‌ සිටිති. ජනප්‍රිය ගුරුවරයා නමැති ආයතනයට සිටින එකම ගුරුවරයා ඔහුම පමණි. එහිද ළමයි තුන්හාරදහසක්‌ උගනිති. ළමයි ටියුෂන් යෑවීමට නූතන මධ්‍යම පන්තික දෙමාපියන්ට වත්කමක්‌ ද ඇත. එයට හේතුව ආදායම වර්ධනය වීමය. වසර 1995 දී මෙරට ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඩොලර් 720 ක්‌ (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂයක්‌) පමණ විය. 2006 දී මේ ගණන ඩොලර් 1421 (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂ 2 ක්‌ පමණ) විය. 2013 දී මේ ගණන ඩොලර් 3279 ක්‌ (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂ 4.5 ක්‌ පමණ) විය. එහෙත් අප මෙහිදී වැදගත් කරුණක්‌ මතක තබා ගත යුතුය. එනම් රුපියල් ලක්‍ෂ 4.5 මාස 12 න් බෙදූ විට එක්‌ මාසයකට හිමි මුදල රුපියල් 40000 නො ඉක්‌මවන බවයි. මෙය 5 දෙනකුගෙන් යුතු පවුලක ආදායම සේ සලකතොත් එක්‌ සාමාජිකයකුට වෙන්වන මුදල වන්නේ රුපියල් 8000 කි. එම මුදලින් දරුවකුට පාසල් ගොස්‌ ගමන් වියදම් ගෙවා, ආහාර වියදම් ගෙවා, ඇඳුම් පැළඳුම්වලට ද වැය කර ටියුෂන්වලට ද ගෙවිය නොහැක. මේ නිසා එම ළමයා එක්‌කෝ පාසල් යැම කපා හැර අනෙක්‌ දේ කළ යුතුය. නැත්නම් ටියුෂන් යැම කපා හැර ඉතිරිවා කළ යුතුය. එසේත් නැත්නම් බස්‌ එකේ නොගොස්‌ පයින් ගොස්‌ ඉතිරිවා කළ යුතුය. නො එසේ නම් කෑම වියදම් කපා හැර නොකා නොබී අනෙක්‌ ඒවා කළ යුතුය.

*** **** *** ***

ගුරුවරයා යනු පරමාදර්ශී චරිතයකි. එහෙත් ගුරුවරු අතර අමනුස්‌සයෝ ද වෙති. මෙතැනදී පාසල් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා අතර වෙනසක්‌ නැත. යකාගේ භූමිකාව කොතැනදීත් එකයි. මහනුවර පැත්තේ තිබෙන සති අන්ත විද්‍යා ටියුෂන් පන්තියක ගුරුවරයකු ක්‍ෂණයකින් යකෙකු බවට පත් වී සිසුන් සිසුවියන් අටසියයක්‌ පමණ ඉදිරිපිටදී කුණුහරුපයෙන් බණින ආකාරය පිළිබඳ වීඩියෝවක්‌ මෙයට අවුරුද්දකට පමණ පෙර අන්තර්ජාලයට නිකුත් වී තිබිණි. එය සිදුවන්නේ මෙසේය.

ගුරුතුමා තම පන්තියේ සිටින (එය ශබ්ද වාහිනී යන්ත්‍ර ආධාරයෙන් උගන්වන සුවිශාල ශාලාවක තිබෙන පන්තියකි) අතර ඔහු දෙපැත්ත කැපෙන විහිළු කරන්නට විය. ගුරුවරයාගේ වල් කතා ඇසූ සිසු සිසුවියෝ විටින් විට මහ හඬින් සිනා සුනහ. එසේ සිනහවන අවස්‌ථාවලදී එම වල් කතාවලට විරුද්ධ වූ සිසුවෙක්‌ ඉතා තියුණු හීනි හඬින් හූව බැගින් තැබීය. තුන්වන හූවේදී ගුරුතුමාට මළ පිනූ අතර (මෙය අර්ශස්‌ නොහොත් භගන්දරා රෝගයේ උපරිම අවස්‌ථාවකි. මෙම අවස්‌ථාවේදී රෝගියා මහත් සේ කෝපයට පත් වෙයි). ඔහු මෙසේ කෑ ගසන්නට විය. “ඔය හූ කියපු අවජාතකයා කවුද කියලා මම දන්නවා.වල් පරයා. උඹ ජාතක වුණේ වන රොදක. උඹේ අම්මා…. තාත්තා…… දැන ගනින් පරයා මට පුළුවන් ඔතැනට ඇවිත් උඹව ඇදල අරගෙන ඇඳුම් ගලවල ඔලුවෙ ඔතල යවන්න. වනචරයා දැනගනින් මම කලිසම් ඇන්දට මහත්තයෙක්‌ නොවන බව. මෙතන ඉන්න ඕනෑම බඩුවක්‌ ඕනෑම තැනකට ගෙනියන්න මට පුළුවන්. හරි දැන් පන්තිය පටන් ගනිමු. පරයා මම උඹව මරණවාමයි….. දැන් ඒක ඉවරයි. පන්තිය පටන් ගනිමු…………. එක කාලකණ්‌ණියෙක්‌ නිසා අනෙක්‌ ළමයින්ට පාඩුයි. වල් බුරුවෝ. උඹ හූ කිව්වේ කටින්ද නැත්නම් වෙන තැනකින්ද? මුන් වගේ උන් ඉපදෙනකොටම මරලා දාන්න ඕනෑ.. හරි දැන් ළමයි පොත් ගන්න. අපි කොතැනද නැවැත්තුවේ. පරයා එනවා මෙතන හූ කියන්න………..”

අප ඉහතින් සඳහන් කළේ තම නව යොවුන් ගෝල බාලයන් ඉදිරිපිට තිරිසනකු සේ හැසිරුණු ටියුෂන් ගුරකු ගැන ය. මෙවැනි තිරිසනුන් අතර දෙවිවරුන් වැනි ටියුෂන් ගුරුවරු ද සිටින බව කියමු. ඔවුන් ගැන ද අපි ඉදිරියේදී ලියමු.
gu
විශේෂ ලියුම්කරුවකු විසිනි

divaina