වංචා සොයන්න ගුවන් සේවා අධිකාරිය වටලයි

සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ වසර ගණනාවක් තිස්සේ සිදුවී ඇති රුපියල් කෝටි සිය දහස් ගණනක බරපතළ මූල්‍ය වංචා දූෂණ සහ අක්‍රමිකතා සෙවීමට පහළොස්දෙනකුගෙන් පමණ සමන්විත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන කණ්ඩායමක් ඊයේ දහවල් එම අධිකාරිය තුළ විශාල වැටලීමක් සිදු කෙළේ ය.

කිසිදු දැනුම්දීමකින් තොරව එම ස්ථානය වැටලූ විමර්ශන කණ්ඩායම පසුගිය කාලයේ සිදුවූ මූල්‍ය ගනුදෙනු, විදේශ සංචාර, බඳවාගැනීම්, වැටුප් වැඩිකිරීම්, විදේශ ශිෂ්‍යත්ව, උත්සව ඇතුළු බොහෝ දේවල්වලට අදාළ ලිපිගොනු විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, අධ්‍යක්ෂක මුදල්, අධ්‍යක්ෂිකා මානව සම්පත් කළමනාකරණ ඇතුළු එහි ප්‍රධාන නිලධාරින් කිහිපදෙනකුගෙන් ද අල්ලස් විමර්ශන නිලධාරීහු මෙහිදී ප්‍රශ්න කිරීම් සිදු ‍කළේ ය.

පසුගිය කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුවී ඇති බරපතළ මූල්‍ය වංචා ගණනාවක් සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය සිදුකළ පරීක්ෂණ වාර්තා ද සමඟ පැමිණිලි ගණනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබුණි. එම බරපතළ මූල්‍ය අක්‍රමිකතා දූෂණ වංචා වහාම නිවැරදි කරන ලෙසට රාජ්‍ය විගණනයද අවස්ථා ගණනාවකදී දැනුම්දී තිබුණි. සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ අමාත්‍යංශ මට්ටමින් ඒවා අඩු කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබිණි.

ඇතැම් නිලධාරින්ට වැටුප් දෙකක් ගෙවීම, රාජකාරියට නොපැමිණ වැටුප් ගෙවීම, හිතවත් සේවකයන්, නිලධාරින් රුපියල් ලක්ෂ ගණන් වියදම් කර කිසිදු පදනමක් නොමැති විදෙස් සංචාරවල යෙදවීම, හිටපු අමාත්‍යවරයා සහ ඔවුන්ගේ පවු‍ෙල් කිහිපදෙනකු දින තුනක ගුවන් කරණම් සංදර්ශනයක් නැරඹීමට රුපියල් ලක්ෂ 25ක් වියදම් කිරීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවත්වාගෙන යාමට මාසික කුලිය ලක්ෂ 38ක ගොඩනැගිල්ලක් ලබාගෙන එම ගොඩනැගිල්ල රුපියල් කෝටි දෙකකට වැඩි රජයේ වියදමකින් නවීකරණය කිරීම, එම අධිකාරියේ සියවස් සැමරුම නියමිත වසරට වඩා වසර දෙකකට පසු සැමරීමේ එක් දින උත්සවයට රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක පමණ මුදලක් වැය කිරීම, අධික වැටුප්වලට විවිධ හිතවත් පුද්ගලයන් බඳවා ගැනීම, වාහන අක්‍රමිකතා ඇතුළු බරපතළ වංචා දූෂණ විශාල ප්‍රමාණයකට අදාළ ලිපිගොනු මෙහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය.

පැය ගණනාවක් තිස්සේ එම නිලධාරින් සිදු කරන ලද එම මෙහෙයුමෙන් අනතුරුව අදාළ ලියකියවිලි ද රැගෙන පිටව ගිය අතර ඉදිරියේදී එම දූෂණ වංචාවලට සම්බන්ධ ඉහළ සහ පහළ නිලධාරින් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

se

විජයානී එදිරිසිංහ