14 වියැති පුතු වෙනුවෙන් කනත්තේ ඉදි වූ කෝටි එකහමාරේ ස්මාරකය

බේස්ලයින් පාරත් බෞද්ධාලෝක මාවතත් එකට මුණ ගැහෙන තැන බොරැල්ල කනත්ත වට රවුමය. මාර්ග දෙකක් මුණගැහෙන කනත්ත වටරවුම අපේ ජීවිතයේ අවසාන රවුමද සිහිපත් කරන බිමක් යැයි මට සිතේ.

කනත්ත වටරවුමේ විදුලි ආලෝක සංඥා හමුවේ මොහොතක් නතරවන අයකුට පෙනෙන්නේ ජීවිතයේ අවසානයට රතු එළි දැල්වෙන බොරැල්ල කනත්තය. හැරත් කනත්ත වටරවුම මගහැර ගියද ජීවිතයේ අවසාන වටරවුම මග හරින්නට කිසිවෙකුට නොහැකි නිසාය. ඒ අමරණීය කිසිවෙකු මෙලොව නැති බැවිනි. එනමුත් බොරැල්ල කනත්තේ අමරණීය සිහිවටන රැසක් ඇත්තේය. එය නැරඹීමට යා යුත්තේ කනත්තේ ප්‍රධාන දොරටුවෙනි. ඒ දොරටුවේ ඉහළින් ඇත්තේ අපූරු කතාවකි.
මළගිය ඇත්තෝ ජීවතුන්ට උගන්වති
ජීවතුන්ට උගන්වන කොළඹ කනත්තේ ඉතිහාස කතාවේ අක්මුල් සුද්දාගේ කාලය දක්වා විහිද තිබේ.
මීට සියවස් දෙකකට ඉහතදී බොරැල්ල කනත්ත පිහිටි බිම හැඳින් වූයේ කූඹි කැ‍ලේ යනුවෙනි. එකල කූඹි කැ‍ලේට බෞද්ධාලෝක මාවතේ බොහෝ දුරක් අයිතිව තිබුණි. ඒ බිමේ අක්කර පනහක් සුද්දාගේ කාලයේ වෙන් වූයේ කනත්තටය.
කනත්තේ ‍ලේඛන සටහන් කර ඇති පරිදි එහි පළමු වරට මෘත දේහයක් භූමදානය කර ඇත්තේ 1866දීය. එනමුත් පෙර සිටම කොළඹ අගිස්ස වූ කූඹි කැලය  කනත්තක් ලෙස  ඉංග්‍රීසීිහු භාවිතා කළෝය. 1800 දී නිර්මාණය කළ සොහොන් කොත් අදද බොරැල්ල කනත්තේ දක්නට ලැබේ. පාළුවට ගොස් හුදකලා, මූසල බවක් ඉසිලූ බොරැල්ල කනත්ත අද මලින් පිරුන උද්‍යානයක සිරි ගනී. නමුත් එය පිටතින් බලන විට පේන්නේ මහා රූස්ස ගස් යට කළු ගල් තාප්පය හා යකඩ  වැටය. පිටතින් බැලුවහොත් ඒ බිම ගුප්තය. අඳුරුය. මූසලය.  1987 වසරේ සෙල්ල කතරගම ගම් උදාවට හදපු වැට ගලවා ප්‍රේමදාස ජනාධිපතිවරයා බොරැල්ල කනත්තේ තාප්පයට සවි කළේ කළු ගල් තාප්පය බාගයක් කඩා දැමීමෙන්ය. 19 වැනි ශත වර්ෂයේ සිට සුසාන භූමි හා භූමිදාන ආඥා පනත යටතේ කනත්ත පාලනය කරන්නේ කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවය. ඊට කොළඹ ඇති ජාවත්ත, කිරුළපන හා මාදම්පිටිය සුසාන භූමිද අයත්ය. එනමුත් කොළඹ පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ කනත්ත බොරැල්ලය. කනත්තේ මළවුන් බෙදන්නේ ආගම අනුවය. ලෝක සම්මත නීතිය එයය. ඕනෑම අයකු මියගිය කල්හි  ඔහුගේ ආගම අනුව අවසන් කටයුතු කිරීම ලෝක සිරිතය. ඒ සිරිතට අනුව බෞද්ධ, හින්දු, රෝමානු, කතෝලික, ජපන්, ජර්මන්, ප්‍රංශ, එංගලන්ත හා ‍පොදු ක්‍රිස්තියානි සඳහා කනත්ත වෙන්ව තිබේ. ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ යුද සොහොන් පිටියත් බොරැල්ල  කනත්තේ තවමත් දක්නට ඇත්තේය. කනත්ත තුළ ඇති මිනී වළවල්වල විස්තර හා සටහන් ඇතුළත් සිතියමක් වසර 150 පමණ පැරණිය. තවමත් එයින් තොරතුරු ගෙන පැරණි වළවල් සොයාගත හැකිය. මීට වසර 100 පමණ පෙර කනත්තේ මිනී වළකට ඔප්පුවක් දී ඇත්තේ රුපියල් 41 වැනි මුදලකටය. ජීවත්ව ඉන්නා කාලයේදී ඉඩම් ගන්නවා සේම කනත්තේද මුදල් ගෙවා සිය පවුල් වෙනුවෙන් ඉඩ වෙන් කරගන්න අය බොරැල්ල කනත්ත තුළ බොහෝ සිටිති.
altසමහර වළවල් සිමෙන්තියෙන් බැඳ නොමැත. ඉඩමක් ගෙන ගෙයක් නොසාදා ඉන්නවා යැයි කියාද එය සිතන්නට පුළුවන. එහෙත් ඒ ස්ථානයට ඔප්පුවක් තිබේ. නමුත් අද වන විට එලෙස ඔප්පු දීම නවතා තිබේ.
ලංකාවේ පැරණිම මෙන්ම විශාලතම ආදාහනාගාරය පිහිටා ඇත්තේද බොරැල්ල කනත්තේය. 1850 දී පමණ ගෑස්පහ හන්දියේ සිට භූගතව ගෑස් ගෙන ආ ගෑස් නළයක් අදටත් ‍පොළොව යට පවතියි. එයත් කනත්තේ ඇති සුවිශේෂී ලක්ෂණයකි.
ලෝකයේ ඉන්න ඕනෑම අයකු අවසන් ගමන් ගිය කල්හි ඔහුට සාමදානයේ සැතපෙන්නට බොරැල්ල කනත්තේදී හැකිය. එසේ බොරැල්ල කනත්තේදී සාමදානයේ  සැතපුණු ඥාතීන් සිහි කරන්නට ඔවුන්ගේ නෑ සිය මිතුරෝ තවමත් විදේශයන්හි සිට බොරැල්ලට පැමිණෙති.  කනත්තේ සංඛ්‍යා ‍ලේඛනවල සඳහන්ව ඇති ආකාරයට මේ බිමේ සදාකාලික නින්දට ගිය පිරිස ලක්ෂ විස්සක් පමණ වේ. ඔවුන් වෙනුවෙන් කනත්තයේ  ඉදි වූ ඇතැම් ස්මාරකවල මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වටින්නේය.
දැනට බොරැල්ල කනත්තේ වටිනාම හා ඉපැරණිම සොහොන් කොත ලෙස සැලකෙන්නේ 14 වියැති දරුවෙකු වූ හැරල්ඩ් නමැති දරුවා වෙනුවෙන් ඉදි වූ ස්මාරකයයි. 1875 මැයි මස 6 වන දින උපත ලබා 1889 දෙසැම්බර් 22 වන දින ජීවිතයෙන් සමුගත් ඔහුගේ දෙමාපියන් යුවළ වූයේ ආතර් හා එයුජින්ය. කුඩා දරුවන් මියගිය කල්හි ඔවුන් සුරංගනාවන් කරා යන බවට කතාවක් ඇත්තේය. ඒ නිසාදෝ හැරල්ඩ්ගේ සොහොන් කොතද තනා ඇත්තේ ග්‍රීක දෙවඟනුන් වයන කිරිගරුඬ වීනාවකිනි.
1822 දී ඉදිකළ තවත් කළු ගල් ස්මාරකයක වැඩ අවසන් වී ඇත්තේ 1929දීය. එය චාල්ස් හෙන්රි පෙට් පවුලට අයත් එකකි. ඒ හා සමානව පසු කලෙක කළ තවත් නිර්මාණ කනත්තේ දක්නට ලැබේ. 1889 දී තනිකරම කිරිගරු¾ඩින් නිමකළ ස්මාරකයක්් දක්නට ලැබෙන්නේ එංගලන්ත සොහොන් කොත් ඇති ප්‍රදේශයේදීය. එය අයත් වන්නේ ජොනතන් ඇලෙක්සැන්ඩ්‍රා පවුලටය. එම සොහොන් කොත භාවිතය 1929 අවසන් කර තිබේ. දේව දූතයෙකු කුරුසියක් පාමුල දණ ගසාගෙන ඇති අලංකාර සොහොන් කොතක් නිර්මාණය කර ඇත්තේ 1876 දී කුඩා දියණියක් වෙනුවෙනි. ඇය ලිලියන් කැරොලින් නම් විය. 1862 උපන් ඇය 1876 දී මෙලොව හැර ගොස් තිබුණි. නමුදු ඇය දේව දුතයන් විසින් ස්වර්ගය වෙත කැඳවාගෙන යන්න ඇති බව ඇගේ දෙමාපියන් සිතන්නට ඇත. කිරිගරුඬ කුරුසියක් වටා එතුන නැංගුරමක් සේ නිර්මාණය කර ඇති සොහොන් කොත ඉදිකර ඇත්තේ 1905 දීය. සොහොන මත ශුද්ධ  බයිබලයද තනා තිබුණි. ඒ හා සමානව කුරුසියේ වටා එතුන රෝස මල් වැලක් සේ සොහොන් කොත නිර්මාණය කර තිබුණේ 14 වියැති දියණියක්් සිහි කිරීම පිණිසය.

දේවස්ථානයක ආකෘතියකට සැකසුන සොහොන් ගැබක් නිර්මාණය කර තිබුණේ 1807 දී මේරි ස්ටේෆන් හා සැමුවෙල් ස්ටේපන් පවුල වෙනුවෙනි. හැව්ලොක් පවුල වෙනුවෙන් ඉදි කළ විශාල සොහොන් ගැබක්් දක්නට ලැබෙන්නේ ප්‍රංශ ජාතිකයන්ට අයත් වන ස්ථානයේය. එය 1853දීය. ඉදි කළ සොහොනකි. දෙවැනි තැනට බොරැල්ල කනත්තේ ඇති වටිනාම සොහොන් කොත වනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ මල් උයනේ යාච්ඤා පිළිබිඹු  කරන ස්මාරකයයි. ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට මොහොතකට පෙර මල් උයනේදී යාච්ඤා  කළේ ඊළඟ මොහොතේ සිදුවන මරණය දැන දැනමය. අදටත් කතෝලික ආගමිකයන් මරණයකදී එම අවස්ථාව සිහි කරයි. ඉතා දැවැන්ත ලෙස ඉදිකර ඇති මෙම ස්මාරකය 1860දී නිර්මාණය වූවකි.

එහි වටිනාකම රුපියල් මිලියන 10 පමණ වටිනාකමත් ඇති බවට සඳහන් වේ. 1900 දී ඉදිකර ඇති රැකවල් දේවදූතයන් දෙදෙනාගේ ස්මාරකයන් වටිනාකමින් හා කලාත්මක බවින් උසස් නිර්මාණයකි.
එය ජෝන් කේ‍ර්වුඩ් වෙනුවෙන් ඉදි කරවූවකි. ඔහු ඉංග්‍රීසින්ගේ කාලයේ ශ්‍රී ලංකාවේ සේවය කළ ඉංජිනේරුවෙකි. එම සොහොන් කොත ඉදි කර ඇත්තේද ඔහු යටතේ සේවය කළ ඉංජිනේරුවරුන්ය.  1895දී. මියගිය ඉයුජින් ඇලිස් වෙනුවෙන්ද කිරිගරුඬ සොහොන් කොතක් නිර්මාණය කර ඇති අතර එය අමුතුම ආකාරයේ ස්මාරකයකි. කළුගල් පර්වතයක දිග හැරී ඇති සංදේශයක් මත ඉයුජින්ගේ තොරතුරු සටහන් කර ඇති අයුරු දිස්වේ. එවැනි අති විශාල කිරිගරුඬ ස්මාරක රැසක් බොරැල්ල කනත්තේ දක්නට ලැබේ.

සුද්දන්ගේ පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ගේ සොහොන් කොත්වලද අපූර්ව නිර්මාණ දක්නට ලැබේ. විශාරද  මාලනී බුලත්සිංහල   වෙනුවෙන් ඉදිකළ ස්මාරකයේ ඇත්තේ තාම්පුරාවකි ඇය ජීවත්ව ඉන්නා කාලයේදී තාම්පුරාවක් වයන ඡායාරූපයක් සංගීත ලෝලීන් අතර ජනප්‍රියව පැවතුනි. එනිසාදෝ ඇගේ සොහොන් කොතද ඉදි වී ඇත්තේ ඒ ආකාරයෙනි. බොරැල්ල කනත්තට ගොස් නොගොස් සිටින කවුරුත් එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් ඉදිකර ඇති ගී සෑය කවුරුත් දන්නා දෙයකි. නිවසක් ලෙස ඉදි කර ඇති තවත් සොහොන් ගැබක් ඉදිකර තිබුණේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාය. විශාල අගුල් දෙකක් එහි යකඩ දොර මත දක්නට ලැබේ.
කොටුවේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික මවක වෙනුවෙන් එය ඉදිකර ඇත්තේ ඇගේ දරුවන්ය. සොහොන් ගැබ බෞද්ධ පවුලකට අයත්ය. එය ඉදිකර ඇත්තේ 1898 දීය. සඳකඩ පහණේ දක්නට ලැබෙන සියලුම කැටයම්වලින් කර ඇති එය දැවැන්ත සොහොන් ගැබකි. ඊට ඇතුළු වීමට විශාල දොරටුවක්ද ඇත්තේය. එය දෙපස ඇටසැකිලි මෙන් දිස්වන මුරකරුවන්  දෙදෙනකු ගලින් නෙළා තිබේ. මරණයේ අනිත්‍ය බව එයින් පැහැදිලි වනවාදෝ යැයි කියා සිතුවිල්ලක් නැගේ. නමක් ගමක් සඳහන් නැති භික්ෂුවක් වෙනුවෙන් ඉදිකළ ෙචෙත්‍යමය සොහොනක්ද බොරැල්ල කනත්තේ දැකගත හැකිවේ.
ලංකාවේ මුල්ම අගමැතිවරයා වූ දොන් ස්ටීවන් සේනානායකගේ පරපුර වෙනුවෙන්ද බොරැල්ල කනත්තේ ස්මාරකයක් ඉදිකර ඇත්තේය. ඩී.එස්.ගේ වුඩ්ලන්ඩ් මැදුර පිහිටියේද කනත්ත ආසන්නයේය. අද ඒ ගෘහය බේස්ලයින් පාරේ ඉදි වූ උස් ගොඩනැගිලිවලින් වැසී ඇති බැවින් බාහිර ලෝකයෙන් වහං වී තිබේ. එනමුත් කනත්තේ තිබෙන සේනානායකවරුන්ගේ ස්මාරකය කොයිකාටත් පෙනෙන්නට ඇත්තේය. එය ඉදි කර තිබෙන්නේ මාලිගාවක් සේය. අඩි 24 දිග  සහ පළල අඩි 12 යුක්ත වූ එය උස අඩි 20 පමණ වේ. සොහොන් ගැබට ඇතුල් වීමට විශාල ද්වාර යුගලයන් ද සවි කර තිබේ.
මළවුන් නිදන බොරැල්ල කනත්ත එක අතකින් කලාගාරයක් වැනිය. ඒ කලාගාරයේ භාරකරුවා චානක කේ. පෙරේරාය. වසර විසි අටක් පුරා කනත්තේ භාරකරුවා ඔහුය.
කනත්තෙ භාරකරුවෙක් විදියට රැකියාව කිරීම වෙනස්ම අත්දැකීමක්. හුඟක්් අය අහන්නේ කනත්තේ හොල්මන් තියෙනවද කියලයි. ඇත්තටම කනත්තේ හොල්මන් තියෙනවා. මිනිස්සු විවිධ විදියට මියයනවා. ජීවිතේ නොහිතපු විදියට අකාලයේ මියගිය අය හෝ සියදිවි හානි කර ගන්න අයගේ මිනී භුමිදාන හෝ ආදාහනය කටයුතු සිද්ධ කරන අවස්ථාවලදී කනත්තේම ස්වරූපය වෙනස් වෙනවා. තදින් සුළං හමනවා. අහස අඳුරු වෙනවා. ස්වාභාවිකව නොයෙකුත් දෑ සිදුවෙමින් කනත්ත කැළඹුණ අත්භූත අවස්ථා මගේ වසර 28 සේවා කාලය තුළදී මං අත් විඳලා තියනවා. වළ දමන්න බැරි වෙන විදියට වහිනවා. සමහර වෙලාවට වළ දැම්මට පස්සේ මිනීවලට අකුණු ගහන අවස්ථා කොතෙකුත් තියෙනවා. ඒ දේවල් අපි ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනවා කියලයි මම හිතන්නේ.
බොරැල්ල කනත්තට පැමිණ එහි කලා නිර්මාණ නරඹන්න ලංකාවේ ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙම නරඹන්න ගියාම අපට ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔහු කියන්නේය. අපි බොරැල්ල කනත්තෙන් සමුගන්නට සැරසෙමු. අපි පැමිණි පාර අයිනේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ සොහොන් කොත හමුවුණි. එහි සඳහන්ව තිබුණේ මෙසේය.
මේ සොහොන් ගැබ තුළින් තනා නව ලොවක්
නැවත හමුවෙමු අපි යළිත්
xc
අකිලා නදීශානි බණ්ඩාර

ඡායාරූප:- නාලක කළුවිතාරණ