ඇඹිලිපිටියේ මියගිය සුමිත්ගේ හොඳම මිතුරා කරන හෙළිදරව්ව!

පසුගිය දා රටේම අවධානය යොමු කරගත් ඇඹිලිපිටිය සිදුවීමේ දී මියගිය සුමිත් ප්‍රසන්නගේ හොඳම මිතුරා වූ අනිල් සංජීව ජාතික පුවත්පතක් වෙත එදින සිදුවීම පිළිබඳ පැහැදිලි කර තිබේ.

අනිල්ගේ ප්‍රකාශය පහතින්.

“ප්‍රසන්නයි මමයි එක වයසේ. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ අපි ඉගෙනගත්තේ ඒ, බී පන්ති දෙකේ. පුංචි කාලේ ඉඳලා අපි යාළුවෝ. ප්‍රසන්න ළඟ බොහොම හොඳ ගතිගුණ තිබුණා. එක මග ගිහිල්ලා මොකක්‌හරි වුණොත් මැරුණත් දාලා යන්නේ නෑ. ඒත් කිසිම කෙනෙක්‌ එක්‌ක ගහ මරා ගන්න ගියේ නෑ. රට ගිහින් සල්ලි ටිකක්‌ හම්බ කරගෙන ඇවිත් අයියගේ ව්‍යාපාරවලට දාලා මාසිකව ආදායමක්‌ අරගෙන පාඩුවේ ජීවත් වුණා. ප්‍රසන්නගේ යහපත් ගතිගුණ නිසාම ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයො දුර ගමනක්‌ යනකොට ඩ්‍රයිවර් විදිහට ප්‍රසන්නව අරගෙන යනවා. ප්‍රසන්නට ඒ වෙනුවට කුලියක්‌ ගෙවනවා. ප්‍රසන්නගේ අයියගේ බිල්ඩින් එකයි, සාදය පැවති මෙන්ඩිස්‌ මාමාලගේ තෙමහල් ගොඩනැඟිල්ලයි තියෙන්නේ මුහුණට මුහුණලා. මම ස්‌ටුඩියෝ එක කරගෙන යන්නේ මෙන්ඩිස්‌ මාමාගේ ගොඩනැඟිල්ලේ තෙවැනි මහලේ පුංචි කාමරයක. එදා උත්සවය සම්පූර්ණයෙන් විඩියෝ කළේ මමයි. උදේ 7. 30 ට තමයි නැකත තිබුණේ. ඒ වේලාවේ ඉඳල මම පාටි එක වීඩියෝ කළා. රෑ 11 ට විතර මාමා කෙනෙක්‌ ඇවිත් ‘වරෙං මොනව හරි බොන්න’ කියලා මාව ඇදගෙන ගියා. ඒ යනකොට අරක්‌කු ඉවර වෙලා. පස්‌සේ මම බියර් එකක්‌ බොන්න ගත්තා. මම වාඩි වෙච්ච ටේබල් එකට තවත් මගේ යාළුවෙක්‌ බියර් එකක්‌ අරගෙන ඇවිත් වාඩි වුණා. අපි දෙන්න බියර් දෙක බීලා මම සින්දුවක්‌ කියන්න බෑන්ඩ් එක ළඟට ගියා. එතකොට 11.45 ට විතර ඇති.

මම සින්දු දෙකක්‌ කියලා ඉවර වෙනකොට පොලිස්‌ ජීප් එකක්‌ පහළ නතර කරලා තියෙනවා දැක්‌කා. යුනිෆෝම් ඇඳ ගත්තු පොලිස්‌ නිලධාරීන් හතර දෙනෙක්‌ හිටියා. තුන් දෙනෙක්‌ ජීප් එකෙන් බැහැලා පඩි පෙළ නඟින්න ආවා. පඩි පෙළ ළඟ මෙන්ඩිස්‌ මාමයි, පුතාලයි තව කිහිප දෙනෙක්‌ හිටියා. පොලිසියේ තුන්දෙනයි මෙන්ඩිස්‌ මාමාලයි අතර කතාබහක්‌ යනවා දැක්‌කා. ඊට ටික වේලාවකට පස්‌සේ කතාව ගුටි කෙළියක්‌ දක්‌වා දුර දිග ගියා. පස්‌සේ පොලිසියේ අය එතන හිටපු අයට ගහන්න පටන් ගත්තා. ටික වේලාවක්‌ එක පොදියට පොර බැදුවා. එක පොලිස්‌ නිලධාරියකුගේ අතේ තිබුණු වෙපන් එකත් වැටුණා. පස්‌සේ පොලිසිය අය යන්න යනකොට එතන හිටපු මල්ලි කෙනෙක්‌ වෙපන් එක ඇහිඳලා ගිහින් පොලිසියේ කෙනෙකුට භාර දුන්නා. ඒ පොලිස්‌ නිලධාරියා වෙපන් එක අතට ගත්ත ගමන් උඩට වෙඩි තුනක්‌ තිබ්බා. පස්‌සේ පොලිස්‌ නිලධාරීන් පහළ ඉඳගෙන අමු තිත්ත කුණුහරුපයෙන් බැන්නා. ඒ එක්‌කම එක පොලිස්‌ නිලධාරියෙක්‌ කෝල් කරනවා දැක්‌කා. ඊට ටික වෙලාවකට පස්‌සේ පොලිස්‌ නිලධාරීන් තිහක්‌ විතර ආවා. මෙන්ඩිස්‌ මාමාවයි, එයාගේ පුතාලා දෙන්නවයි තව කිහිපදෙනකුව ජීප් එකට දාගෙන අරගෙන ගියා. මමත් අවුරුදු දෙකක්‌ පොලිසියේ රාජකාරි කරපු කෙනෙක්‌.

 

එක පාරටම පොලිසියේ තිහක්‌ ඇවිත් බැස්‌සා කියන්නේ ඊළඟට වෙන දේ මට හිතා ගන්න පුළුවන්. අනිත් එක මම ලෙඩෙක්‌. ඇක්‌සිඩන්ට්‌ එකක්‌ වෙලා මගේ ඔලුව ඇතුළට එබිලා තියෙන්නේ. මට දුවන්නවත් බෑ. ඒ නිසා මම මගේ ෂොප් එකට ගියා. මමත් එක්‌ක තව මගේ යාළුවකුයි, පහළ ආයතනයක වැඩ කරන සිකුරුටි කෙනෙකුත් ආවා. තෙවැනි මහලේ තිබුණු මගේ කඩේ ඇතුළට ගිහින් ඇතුළෙන් දොර ලොක්‌ කරගෙන කඩේ ලයිට්‌ නිවාගෙන බිම වාඩි වුණා. ඒ එක්‌කම යට වීදුරු කුඩු වෙන ශබ්දය ඇහුණා. මහ හයියෙන් කුණුහරුප කියලා කෑගහන ශබ්දය ඇහුණා. ‘බුදු මහත්තයෝ ගහන්න එපා… එපා…’ කියන ශබ්ද ඇහුණා. උඩට දුවන අඩි ශබ්ද ආවා. අපිත් හොඳටම බය වුණා. ඒ එක්‌කම අපිත් එක්‌ක හිටපු පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ‘අනිල් මට ප්‍රශ්නයක්‌ නෑ. මම පහළට යනවා…’ කියලා දොර ඇරියා. එතකොට මෙන්ඩිස්‌ මාමාගේ පුතා චමින්ද අයියා ලේ පෙරාගෙන දොර ළඟ වැටිලා හිටියා. ආරක්‍ෂක නිලධාරියා පහළට බැස්‌සා විතරයි උඩට කෙනෙක්‌ දුවගෙන එනවා ඇහුණා. ඊට ටිකකට පස්‌සේ තව කෙනෙක්‌ එතැනට ආවා. ‘මූට මොකද වෙලා තියෙන්නේ’ ඒ ආපු කෙනා අනිත් කෙනාගෙන් අහනවා ඇහුණා. ‘මූ වැඩක්‌ නෑ. ලේ පෙරාගෙන වැටිලා ඉන්නේ’ කියලා එතනට මුලින් ආපු කෙනා පඩිපෙළ බහින ශබ්දය ඇහුණා. ඒ එක්‌කම පස්‌සේ ආපු කෙනත් පහළට බැස්‌ස. අපි කඩ කාමරය ඇතුළේ පැයක්‌ විතර හිටියා. ශබ්දය අඩු වුණාට පස්‌සේ බැහැලා යනකොට සුමිත්ව ඉස්‌පිරිතාලේ අරගෙන ගිහින්…

දෙවැනි පාරට පොලිසිය එනකොට මඟුල් ගෙදර හිටපු ගොඩක්‌ම පිරිමි එහෙට, මෙහෙට දිව්වා. ගෑනුයි අයයි, පිරිමි කීප දෙනෙක්‌ විතරයි ඉතුරු වුණේ. ප්‍රසන්න දුවලා නෑ. එයාගේ වයිෆ් එක්‌ක බත් කකා හිටිද්දී තමයි පොලිසියේ අය ප්‍රසන්නව ඇදලා අරගෙන ගහලා උඩට ඇඳගෙන ගිහින් තියෙන්නේ. ප්‍රසන්නව තට්‌ටුවෙන් බිමට තල්ලු කරලා ඉස්‌පිරිතාලෙකට ගෙනියන්න දෙන්නෙ නැතුව විනාඩි විස්‌සක්‌ විතර පොලිසිය එතැන ඉඳලා තියෙනවා. ප්‍රසන්නගේ ඇඟේ කැපුම් තුවාල 180 ක්‌ තිබිලා තියෙනවා. ප්‍රසන්න මැරිලා තියෙන්නේ ලේ ගිහිල්ලමයි. විනාඩි දහයකට ඉස්‌සර වෙලා ඉස්‌පිරිතාලේට ගෙනවා නම් බේරගන්න තිබුණා කියලා ප්‍රසන්නව පරීක්‍ෂා කරපු ඩොක්‌ටර්ස්‌ලා කියලා තිබුණා. ප්‍රසන්නට ගහනවා, තල්ලු කරනවා ඇසින් දුටු සාක්‍ෂි තව තියෙනවා. ඉදිරියේදී ඒ අය එළියට එයි. එදා උදේ ඉඳං මඟුල් ගෙදර කිසිම ආරවුලක්‌ ඇති වුණේ නෑ. එදා රෑ වුණත් හැමෝම එක අම්මාගේ දරුවො වගෙ කාලා බීලා විනෝද වුණේ. 119 ට කෝල් කරලා කියන්න තරම් ඝෝෂාවක්‌ සාදයේ තිබුණේ නෑ. අවට ගෙවල්වල අය හිටියෙත් මඟුල් ගෙදර. සාදය අතරතුර රණ්‌ඩු සරුවල් ඇති වුණා, 119 ට කෝල් කරලා කිව්වා කියලා පොලිසිය කියන්නේ අමූලික බොරු. පොලිසිය ඇවිත් තමයි සාදය භීෂණයක්‌ කළේ. මම ජීවිතේට දැකලා නෑ පොලිසිය ඒ විදිහට හැසිරෙනවා. හරියට එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන් සිංහල ගම්මානවලට පැනලා ගහනවා වගෙයි මිනිස්‌සුන්ට ගහන්න පටන් ගත්තේ. මරණ බයටම තමයි මම ෂොප් එකේ හැංගුනේ…’

ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට අනිල් තවමත් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. නොදුරු දිනකදී දුටු දේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහු සැදී පැහැදී සිටින්නේය.

1 8995140f55c77f8a14145aa6b76a865f_L

(දිවයින ඇසුරිනි)