සංඝරත්නයට ඇඟිලිගැසීමට ආණ්ඩුවට නීත්‍යනුකූල බලයක් නෑ

තරුණ භික්ෂුන් වහන්සේලාගේ ගැටළු විසඳීම සඳහා කමිටුවක් පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (02)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තරුණ භික්ෂුන් හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

සංඝරත්නයේ කටයුතුවලට ඇඟිලිගැසීමට ආණ්ඩුවට නීත්‍යනුකූල බලයක් නොමැති බවත්, එහෙත් සංඝරත්නය විසින් සංඝාධිකරණයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවහොත් එය පනතක් ලෙස පාර්ලිමේන්තු‍වේ සම්මත කරදීමට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ලංකාව ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කරන බවත්,භික්ෂුන්ට විදේශීය භාෂා ඥානය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ භික්ෂුන් සමාජ ප්‍රගමනයට දායක කරගන්නා බවත්, තිරසාර සංවර්ධනය හා පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් සඳහා මෙන්ම ජාතික සංහිඳියාව වර්ධනය කරලීම සඳහා භික්ෂු දායකත්වය ලබාගැනීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය.

ranil