සඳනිට වෙච්ච වැඩක්

සුචී කියන්නේ දඟකාර, විසේකාර කෙල්ලක් විතරක්ම නෙමෙයි වෙලාවකට හරිම පණ්ඩිතයි. කාගෙවත් ඔවදනක් මායිම් නොකරන ඇයට පණ්ඩිත කම නිසාම මුහුණ දෙන්න වෙන අකරතැබ්බයන්ගේ කෙලවරක් නැහැ. ඉතින් මේ සුචී ගේ පණ්ඩිත වැඩ කිඩ ටික දැක ගැනීමට නම් මේ දිනවල චැනල් වන් ඔස්සේ විකාශය වන ‘සෙල්ෆි’ ටෙලි නාට්‍ය නරඹන්නම වනවා. සුචීට පණ පොවන සඳනි පතිරණගේ ගේ නව තොරතුරු දැන ගන්නට අද තරුවක් සමග පිළිසඳර තුළින් හැකි වේවි.

 

ඇත්තටම සඳනිත් සුචී වගේ දගකාර පණ්ඩිත කෙල්ලක්ද?

පණ්ඩිත නම් නැහැ. ටිකක් විතර දඟකාරයි.

ඒ නිසාද පුංචි තිරයේ දඟකාරී කියලත් නම පට බැඳුණේ?

වෙන්නත් ඇති. කොයිම වෙලාවකවත් කටට නිවනක් නැහැනේ මොනවා හරි කියව ගත්ත ගමන්මයි.

සුචි නිසා මේ දවස් වල හරි බිසී ඇති නේද?

සුචි නිසාම නෙමෙයි. තවත් ටෙලි නාට්‍ය හතරකම ෂූටින් කරගෙන යනවා. තව ගීත රූප රචනා කිහිපයකටත් දායක වුණා.

ක්ෂේත්‍රයේ ඔබට සමීපතමයා කවුරුන්දැයි මා ඇහැව්වොත්?

ගොඩක්ම කිට්ටු ශනුද්‍රි ඇය මට මිතුරියක් සේම මගේ නංගි කෙනෙක් වගේ. ඒ හැරුණු විට හැමෝම එක්ක හොඳින් ඉන්න තමයි මං උත්සහ කරන්නේ.

ඔබේ මිතුරිය ගැන පසු ගිය කාලේ තරමක කතා බහක් ඇති වුණා?

ඔව්. ඒ වෙලාවේ ඇගේ යෙහෙළිය විදිහට ඇය හිටපු මානසිකත්වයෙන් ගොඩ ගන්න මං ඇය ළඟින්ම ඉඳලා පුළුවන් විදිහට උදව් කළා.

පෙම්වතියගේ චරිතයට ලැබෙන ආරාධනා තවමත් අඩුයි ද?

නැහැ. මේ වෙනකොට නම් ආරාධනා ලැබෙනවා. ඉස්සර මගේ පෙණුම පොඩී පාට නිසා තමයි මට ඒ චරිත ලැබුණේ නැත්තේ. අනේ මන්දා තවමත් හැබැයි ඒ පොඩි පාටම එහෙමමයි. වයස කිව්වට සමහරු විශ්වාස කරන්නෙත් නැහැ.

ඇත්තටම දැන් සඳනිගේ වයස කීයද?

දැන් විසි දෙකයි.

ගුරු සිහිනය ළඟදිම හැබැ වේවිද?

මේ වසර අග වෙද්දී ඒ හීනේ හැබැ කරගන්න පුළුවන් වේවි.

ඒ සිහිනය නිසා රංගනයට සීමා පැනවිලා තියෙනවාද?

අනිවාර්යෙන්ම ඔව්. හැබැයි ඒ මා විසින්ම මට පනවා ගත් සීමා. මොකද දැන්ම ඉඳන් මගේ වෘත්තියට හානියක් නොවී ඊට ගැළපෙන දේ පමණයි කරන්නේ.

ඔය ළාමක පෙණුම ගුරු වෘත්තියට අවාසියක් වෙයිද?

මීට කලිනුත් එහෙම සිදුවීමක් නම් වුණා. මං උසස් පෙළ කරළා ඉවර වුණු ගමන්ම ටීචිං වලට අවස්ථාවක් ලැබුණා. ඉතින් දවසක් 6 වසර ළමයෙක් ඇවිත් මගෙන් අහනවා..“මේ ඔයා ඇත්තටම ටීචර් කෙනෙක්ද?“ කියලා. ඒ වගේ දේවල් ආයෙත් වේවිද දන්නේ නැහැ.

සඳනි ආදරය පිළිබඳ මම නොඅසා ඉන්නද?

අනේ අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මට කියන්න වෙන්නේ මං තවම පෙම්වතියක් නොවේ කියලා තමයි.